ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ ලෝක කාලගුණ සංවිධානය විසින් නිකුත් කරනලද වාර්තා උපුටා දක්වමින් 2026 ඉදිරි කාලයේ දේශගුණික තත්ත්වය කෙරෙහි වඩාත් බලපෑමක් ඇතිවිය හැකි එල්-නීනියෝ තත්වයක් ගැන තොරතුරු ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල මේ දිනවල සුලබයි. මොකද්ද මේ තත්ත්වය ? මේක කලින් අත් නොදුටු නවතම තත්ත්වයක්ද? ලංකාවෙ කාලගුණයට මේකෙන් වෙන්න පුළුවන් බලපෑම මොන වගේද? මේ ලිපිය යටකී ගැටළු සඳහා දත්ත ඇසුරින් පිළිතුරු සෙවීමට දරනලද උත්සහයක් වේ.

මොකද්ද මේ තත්ත්වය ?

ගෝලීය දේශගුණය වසරේ විවිධ කාලවලදී ඍතු වශයෙන් වෙනස් වීම සාමාන්‍ය තත්ත්වය.  සුර්යාලෝකය, වැස්ස, හුළඟ වගේ සාධකවල නිශ්චිත වෙනස්කම් එක් එක් ඍතු අනුව දකින්න පුළුවන්. කෙසේ වෙතත් මෙම ඍතුවල පවතින පෙර කී පරමිතීන්ගේ අනපේක්ෂිත වෙනස්කම් හේතුවෙන් ඇතැම් අවස්ථාවල ජලගැලීම් හෝ නියං වැනි ආන්තික(extreme) තත්වයන් පැනනැගී ඇතිබව පසුගිය දත්ත විශ්ලේෂණය කිරීමෙන් හඳුනා ගන්න පුළුවන්. 

මෙවැනි ආන්තික තත්වයන් ඇතිවීම සඳහා පැසිෆික් සාගර කලාපයේ නිර්මාණය වන එල්-නීනියෝ දක්ෂිණ දෝලනය (El Niño Southern Oscillation - ENSO) ගෝලීය වශයෙන් දායකවන සංසිද්ධියක් බව තහවුරු කර ඇත. මෙමගින් ප්‍රධාන වශයෙන් සමකාසන්න කලාපයත්, සමස්තයක් ලෙස ගෝලීය දේශගුණයත් විවිධාකාර වෙනස්කම්වලට භාජනය කරයි. ENSO හි ප්‍රධාන ආකාර තුනක් හඳුනාගෙන ඇති අතර ඒවා එල්-නීනියෝ, ලා-නීනියා සහ නිෂ්ක්‍රීය (Neutral) ලෙස වර්ග කර ඇත. (ENSO මගින් ලංකාවෙ වැසි සහ උෂ්ණත්වය වෙත සිදුකරන මාසික බලපෑම ගැන දැනගන්න මේ ලිපිය කියවන්න)


ENSO විතරද ලංකාවෙ ඍතු කෙරෙහි බලපාන්නෙ ?

නැහැ. සමකාසන්නව, ඉන්දියන් සාගරයේ පිහිටීම හේතුවෙන් ඉන්දියන් සාගර ඩයිපොල (Indian Ocean Dipole - IOD) තත්වයද දිවයිනේ එක් එක් ඍතු කෙරෙහි බලපෑම් ඇතිකරයි. මෙය ENSO වැනිම තත්වයක් වන අතර එහි ධන(+) ඍණ(-) සහ නිෂ්ක්‍රීය ලෙස ආකාර තුනක් ලෙස වර්ගකර ඇත.

ENSO සහ IOD යනු සාමාන්‍යයෙන් ඍතුවක වෙනස්කම් කෙරෙහි බලපෑම් ඇතිකරන සංසිද්ධි වෙයි. මේවාට අමතරව මෝසම් කාලයේදී කෙටි-කාලීනව (දින කිහිපයක සිට මාස එකහමාරක් පමණ දක්වා ඇතිවන සංසිද්ධි) ලංකාවෙ කාලගුණය කෙරෙහි බලපාන සංසිද්ධීන් විශාල ප්‍රමාණයක් පවතී. ඒ අතරින්, මැඩන් ජුලියන් දෝලනය(MJO), කැළඹිලි ස්වභාවයන් (අඩුපීඩන කලාප/සුළිකුණාටු තත්ව වැනි), දුර්වල මෝසම නිසා ඇතිවන අකුණු වැහි ප්‍රධානයි. 

ඇතැම් අවස්ථාවක ගෝලීය එල්-නීනියෝ බලපෑමට යටත්ව දිවයිනේ කාලගුණය පවතින අවස්ථාවක උවත් ඍතුවේ වැස්ස සැලකියයුතු මට්ටමකින් වෙනස් කිරීමට කෙටි කාලීනව දින කිහිපයක් තුළ නිර්මාණය වී අවසන් වන සුළිකුණාටුවකට හැකියාව ඇත.

මොකද්ද නිරිතදිග මෝසම කියන්නෙ ?

01 රූපය : 1991-2020 දේශගුණ දත්ත අනුව නිරිතදිග මෝසම් වර්ෂාපතයයේ එකතුකළ අගයන්.

නිරිතදිග මෝසම ලංකාවෙ ප්‍රධානතම මෝසම ලෙස හඳුනාගන්නා අතර වසරේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් 30%ක් පමණ එමගින් ලැබෙන බව කා.වි.දෙ. දත්ත අනුව පැහැදිලි වෙයි. සමකයට වඩාත් කිට්ටුවෙන් පිහිටුම නිසා මෝසම් ප්‍රවාහය ස්ථාපිත වන ආරම්භක රටක් ලෙස මැයි සිට සැප්තැම්බර් දක්වා මාස පහක් වැනි දීර්ඝ කාලයක නිරිතදිග මෝසම ක්‍රියාත්මක වෙයි.

දකුණු අර්ධගෝලයෙන් ආරම්භවන මෝසම් සුළං 02 රූපයේ දැක්වෙන ආකාරයට අප්‍රිකානු මහාද්වීපයේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරු අරාබි මුහුද වෙත ගොස් චක්‍රීයව දකුණු දෙසට ගමන් කර නැගෙනහිර ප්‍රදේශවලට ගමන් කරන අතරතුර ලංකාව හරහා හමා යයි. කිලෝමීටර් 6000-7000ක පමණ ඈත ගමන් මාර්ගය හේතුවෙන් මෝසම් සුළං බොහෝ විට ඉතා ඉහළ ජලවාෂ්ප සංයුතියක් සහිත වෙයි. සාමාන්‍ය මෝසම් වැසිවලට අමතරව මෝසම් ප්‍රවාහය කෙරෙහි භාදකයක් ලෙස ක්‍රියාත්මක වන  ලංකාවෙ මධ්‍යම කඳුකරය නිසා ඉහළ වායුගෝලය වෙත මෝසම් සුළං යොමු කිරීම විසින් වලාකුළු නිර්මාණය වී ඉතා තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට ලැබීම මේ කාලයේ සුලබ වෙයි.

02 රූපය : දිවයිනේ නිරිතදිග මෝසම ස්ථාපිත වනවිට ගෝලීය සුළං රටාවෙහි ස්වභාවය.

අනාවැකි අනුව ENSO සහ IODවල ඉදිරි තත්වය මොකක්ද?

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශගුණ සහ සමාජ පර්යේෂණ ජාත්‍යන්තර ආයතනය (International Research Institute for Climate and Society, Columbia University - IRI) විසින් නිකුත්කරන ලද ගෝලීය සංයුක්ත අනාවැකි (03 සහ 04 රූප සටහන්) අනුව පැසිෆික් සාගර කලාපයේ ENSO එල්-නීනියෝ දක්වා වර්ධනය වීමේ 50%ක පමණ හැකියාවක් මැයි මාසය සඳහා පවතී. සෙසු මාසවල එය තවදුරටත් ඉහළ හැකියාවක් බවට වර්ධනය වන බව  සඳහන් කර ඇත.

03 රූපය :  2026 වසරේ ඉදිරි කාලය තුළ පැසිෆික් සාගර කලාපයේ එල්-නීනියෝ තත්වයක් නිර්මාණය වීමේ සම්භාවිතාව (රතු වර්ණයෙන් දක්වා ඇත)


04 රූපය :  ලෝකයේ විවිධ කාලගුණ ආයතන විසින් ගණනය කරනලද ENSO අනාවැකි සහ ඒවායේ සාමාන්‍ය අගයන්. 

ඕස්ට්‍රේලියාවේ කාලගුණවිද්‍යා බියුරෝව (Bureau of Meteorology - BOM) මගින් ලබාගත් නිරීක්ෂන සහ ගණනය කිරීම් අනුව ඉදිරි මාස කිහිපය IOD හි ධන ආකාරයක් ගනු ඇති බව දකින්න පුළුවන්. 
05 රූපය : BOM මගින් නිකුත් කරන ලද IOD හි ඉදිරි මාසවල අනාවැකිය.

යාවත්කාලීන අනාවැකි අනුව මැයි මාසයේ ආසන්න වශයෙන් ධන IOD සහ එල්-නීනියෝ තත්ත්වයක් වගේම නිරිතදිග මෝසමේ සෙසු මාස කිහිපයත් වඩාත් ඉහළ හැකියාවකින් එම තත්ත්වයම තවදුරටත් පැවතිය හැකි බව සිතන්න පුළුවන්.

මේක කවදාවත් නොතිබුන තත්වයක්ද? මොකද වෙන්න පුළුවන්?

වායුගෝලය කියන්නෙ දේශගුණ පද්ධතියෙ එක් සංකීර්ණ ක්ෂේත්‍රයක්. වචනාර්ථයෙන් ගත්තම එකම දේ නැවතත් වෙන්නෙ නැහැ කියල හිතන්න පුළුවන්. නමුත් ආසන්න වශයෙන් ඓතිහාසික දත්ත සොයා බැලීමේදී එල්-නීනියෝ සහ ධන ඉන්දීය සාගර ඩයිපොලය එකවිට පැනනැගී ඇති අවස්ථා පෙරදීත් පැවති බව දකින්න පුළුවන්. 1950 සිට වර්තමානය දක්වා දත්ත පිරික්සීමේදී නිරිතදිග මෝසම් කාලයේ මෙවැනි අවස්ථා 6කට වැඩි ගණනක් සොයා ගත හැකියි.

මෝසම් කාලයේ එක් එක් මාසවල එල්-නීනියෝ සහ ආසන්න ධන IOD එකවිට වාර්තා වී ඇති අවස්ථාවල දිවයිනේ මාසික සාමාන්‍ය වර්ෂාපතනයේ සහ උෂ්ණත්වයේ විචලනය සොයා බලමු. මේ සඳහා 1950 සිට 2025 දක්වා දත්ත යොදා ගනිමින් මුළු දිවයින සඳහා සාමාන්‍ය (Monthly Spatial Average) ගණනය කර ඇත. දත්ත ප්‍රස්ථාරගත කිරීමේදී අදාල මාසයේ සාමාන්‍ය (1950-2025) අගයන්ට සාපේක්ෂව විචලනය (Monthly spatially averaged Standardized Rainfall and Temperature values) දක්වා ඇත.

06 රූපය : 1950-2025 කාලසීමාව තුල එල්-නීනියෝ සහ ධන IOD එකවිට වාර්තා වී ඇති අවස්ථාවල දිවයිනේ මැයි මාසයේ වැසි(අළු වර්ණය) සහ උෂ්ණත්වය(කහ වර්ණය) සාමාන්‍ය තත්වයෙන් අපගමනය වී ඇති ආකාරය. 

1982, 1991, 2015, 2019, 2023, සහ 2024 වසරවල මැයි මාසවලදී අසන්න වශයෙන් එල්-නීනියෝ සහ ධන IOD අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති අතර 06 රූපයේ දැක්වෙන පරිදි ඉන් අවස්ථා තුනක සාපේක්ෂව වැඩි වැසි සහ අවස්ථා තුනක අඩු වැසි ප්‍රමාණ වාර්තා වී ඇත. එනම් ඒ එක් එක් අවස්ථාවන්වල මැයි මාසයේ ක්‍රියාත්මක කෙටි කාලීන කාලගුණික සංසිද්ධීන් වඩාත් ප්‍රමුඛ වී ඇති බවක් පෙනෙයි. විශේෂයෙන්ම පෙර මෝසම් වැසි තත්වයන් මෙම නිරීක්ෂණවලට හේතු විය හැකියි.
07 රූපය : 1950-2025 කාලසීමාව තුල අසන්න වශයෙන් එල්-නීනියෝ සහ ධන IOD එකවිට වාර්තා වී ඇති අවස්ථාවල දිවයිනේ ජුනි මාසයේ වැසි(අළු වර්ණය) සහ උෂ්ණත්වය(කහ වර්ණය) සාමාන්‍ය තත්වයෙන් අපගමනය වී ඇති ආකාරය. 

ජුනි මාසවල දත්ත අනුව පසුගිය වසර හතක(7)දී ආසන්න එල්-නීනියෝ සහ ධන IOD අවස්ථා නිර්මාණය වී ඇති අතර ඉන් 6කදී වර්ෂාපතනය අඩු වී ඇති බව දකින්න පුළුවන්. ඒ වගේම අවස්ථා 6කදී සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව තරමක වැඩි උෂ්ණත්ව අගයන් නිරීක්ෂණය වී ඇත. මෙම අවස්ථා හතේ දත්තවල පවතින ඒකමිතික බව අනුව ජුනි මාසයේ එල්-නීනියෝ සහ +IOD ප්‍රමුඛ වී ඇති බවත් ඒවා මගින් දිවයිනේ ජුනි වැස්සට බලපෑමක් කර ඇතිබවත් සිතන්න පුළුවන්.
08 රූපය : 1950-2025 කාලසීමාව තුල අසන්න වශයෙන් එල්-නීනියෝ සහ ධන IOD එකවිට වාර්තා වී ඇති අවස්ථාවල දිවයිනේ ජුලි මාසයේ වැසි(අළු වර්ණය) සහ උෂ්ණත්වය(කහ වර්ණය) සාමාන්‍ය තත්වයෙන් අපගමනය වී ඇති ආකාරය.

පසුගිය අවස්ථා 10කදී ජුලි මාසය තුල ආසන්න වශයෙන් එල්-නීනියෝ සහ +IOD එකවිට නිරීක්ෂණය වී ඇති අතර ඉන් අවස්ථා 9කදී දිවයිනේ සාමාන්‍ය වර්ෂාපතනය අඩු වී ඇති බව සහ උෂ්ණත්වය වැඩිවී ඇති බව දකින්න පුළුවන්. එනම් ජුලි මාසය කෙරෙහි ගෝලීය එල්-නීනියෝ සහ +IOD සැලකියයුතු මට්ටමකින් බලපෑම් කර ඇති බව සිතන්න පුළුවන්.
09 රූපය : 1950-2025 කාලසීමාව තුල අසන්න වශයෙන් එල්-නීනියෝ සහ ධන IOD එකවිට වාර්තා වී ඇති අවස්ථාවල දිවයිනේ අගෝස්තු මාසයේ වැසි(අළු වර්ණය) සහ උෂ්ණත්වය(කහ වර්ණය) සාමාන්‍ය තත්වයෙන් අපගමනය වී ඇති ආකාරය.

අගෝස්තු නිරීක්ෂණ අනුව අවස්ථා 9කදී ආසන්න එල්-නීනියෝ සහ +IOD එකවිට පැනනැගුන අවස්ථාවලින් 6කදී දිවයිනේ අගෝස්තු වැස්ස අඩු වී ඇති බව පෙනේ. මේ සෑම අවස්ථාවකදීම උෂ්ණත්වය වැඩිවීමක් වාර්තා වී ඇති බව දත්ත අනුව පැහැදිළි වෙයි.
10 රූපය : 1950-2025 කාලසීමාව තුල අසන්න වශයෙන් එල්-නීනියෝ සහ ධන IOD එකවිට වාර්තා වී ඇති අවස්ථාවල දිවයිනේ සැප්තැම්බර් මාසයේ වැසි(අළු වර්ණය) සහ උෂ්ණත්වය(කහ වර්ණය) සාමාන්‍ය තත්වයෙන් අපගමනය වී ඇති ආකාරය.
නිරිතදිග මෝසමේ අවසන් මාසය, සැප්තැම්බර් මාසයේ පසුගිය වසර 75ක කාලය තුල අවස්ථා 10කදී එල්-නීනියෝ සහ +IOD එකවිට නිරීක්ෂණය වී ඇත. ඉන් අවස්ථා 3කදී පමණක් වැසි අඩුවීමකුත් අවස්ථා 7කදී වැසි වැඩි වීමකුත් වාර්තා වී ඇත. එසේම උෂ්ණත්වයද අවස්ථා 4කදී අඩු වීමක් සහ අවස්ථා 6කදී වැඩි වීමක් දකින්න පුළුවන්. මෙය බොහෝ දුරට එල්-නීනියෝ සහ +IOD තත්වය වැසි කෙරෙහි ප්‍රභල ලෙස බලපෑමක් කර නොමැති බවට හඳුනාගත හැකි ලක්ෂණයක් වෙයි.

අමතර පර්යේෂණ තොරතුරු.

පර්යේෂකයින් පෙන්වාදෙන ආකාරයට ENSO හි බලපෑම තීරණය වන තවත් ප්‍රධාන සාධකයක් ලෙස එල්-නීනියෝ හෝ ලා-නීනියා ආරම්භ වන මාසය හඳුන්වන්න පුළුවන්. එනම් "ENSO හි එක් එක් මුහුණුවර ආරම්භවන්නෙ වසරේ කුමන කාලයේදීද?" යන්න විසින් එමගින් ඇතිකරන ප්‍රතිපල විවිධ වියහැකි බවයි. 
2026 වසරේ දැනට යාවත්කාලීන අනාවැකි අනුව මැයි මාසයේ එල්-නීනියෝ ආරම්භ වී මෝසම කෙරෙහි බලපෑම් ඇතිකළ හැකි බැවින් පෙර දත්ත අනුව එවැනි, මැයි ආරම්භවී මෝසම පුරා එල්-නීනියෝ පැවති අවස්ථා මොනවද කියල බලමු.
11 රූපය : 1950-2025 කාලසීමාව තුල මැයි ආරම්භවී මෝසම පුරා එල්-නීනියෝ පැවති අවස්ථාවලදී (1972,1982,1997,2023) මැයි සිට සැප්තැම්බර් දක්වා පිලිවෙලින් එක් එක් මාසවල උෂ්ණත්වය විචලනය වී ඇති ආකාරය.

පසුගිය වසර 75 තුල මෙම තත්වයට වඩාත් ආසන්න අවස්ථා 4ක් හමුවෙනව. 1972 සහ 2023 ඉහල මට්ටමේ (Strong) එල්-නීනියෝ අවස්ථා, 1982 සහ 1997 ඉතා ඉහල මට්ටමේ (Very Strong) එල්-නීනියෝ අවස්ථා ලෙස සිව්වතාවක් වාර්තා වී ඇත. උෂ්ණත්ව දත්ත පිරික්සීමේදී 11 රූපයේ දැක්වෙන ආකාරයට මෙම අවස්ථා හතරේදී මැයි මාසයේ සාපේක්ෂව අඩු උෂ්ණත්වයක් සහ ජුනි, ජුලි, අගෝස්තු සැලකියයුතු උෂ්ණත්ව වැඩි වීමක් වාර්තා වී ඇති බවත් සැප්තැම්බර් විචලනයක් සහිත දත්ත වාර්තා වී ඇති බවත් පෙනේ.
12 රූපය : 1950-2025 කාලසීමාව තුල මැයි ආරම්භවී මෝසම පුරා එල්-නීනියෝ පැවති අවස්ථාවලදී (1972,1982,1997,2023) මැයි සිට සැප්තැම්බර් දක්වා පිලිවෙලින් එක් එක් මාසවල වර්ෂාපතනය විචලනය වී ඇති ආකාරය.

වර්ෂාපතන දත්ත අනුව මැයි සහ සැප්තැම්බර් මාස අවිනිශ්චිත විචලනයන් සහිත වන  අතර ජුනි, ජුලි සහ අගෝස්තු මාස වැඩි ප්‍රමාණයක් "වර්ෂාව අඩුවීමේ" එකම ලක්ෂණයක් පෙන්වයි. එනම් මැයි ආරම්භ වී මෝසම් කාලය පුරාවට පවතින එල්-නීනියෝ තත්ත්වයන්හිදී මෝසමේ දෙවන, තුන්වන සහ සිව්වන මාසවල වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩුවක් පැවතිය හැකි බවයි.


සාකච්ඡා:
  • ● අනාවැකි දත්ත අනුව මැයි මාසයේදී පැසිෆික් සාගරයේ ENSO සංසිද්ධිය ආසන්න වශයෙන් එල්-නීනියෝ මට්ටමක් දක්වාත් ඉන්දියන් සාගර ඩයිපොල අවස්ථාව ධන IOD බවටත් පත්වීමේ ඉහළ හැකියාවක් ඇත. නිරිතදිග මෝසම් කාලය පුරා මෙම තත්ත්වයන් ඒ ආකාරයෙන්ම පැවතීමේ සැලකියයුතු හැකියාවක් පවතින බව අනාවැකි අනුව සිතන්න පුළුවන්.
  •    මැයි මාසයේ වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා පැහැදිලි අඩු හෝ වැඩි වීමක් ගැන නිශ්චිත විය නොහැකි අතර මෙය අන්තර්-මෝසමේ සිට මෝසම දක්වා කාලය බැවින් බොහෝ අවස්ථාවල බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවන අඩුපීඩන කලාප/සුළිකුණාටු අවස්ථා වඩාත් ප්‍රමුඛ වෙයි. කෙසේ වෙතත් ගෝලීය තත්වයන් අනුව උෂ්ණත්වය පුරෝකථනය කිරීමේ තරමක හැකියාවක් ඇති බැවින් වෙනත් වසරවල පරිදි සාමාන්‍ය මැයි උෂ්ණත්වයට සාපේක්ෂව 2026 මැයි උෂ්ණත්වය තරමක වැඩි වීමක් විය හැකියි.
  •    ජුනි, ජුලි සහ අගෝස්තු මාස ගෝලීය ENSO සහ IOD සමග සැලකිය යුතු මට්ටමේ සහ-සම්බන්ධයක් පෙන්නුම් කරන අතර 2026 නිරිතදිග මෝසම් කාලයේදී සාමාන්‍ය මාසික වර්ෂාපතනයට සාපේක්ෂව වර්ෂාව අඩු වීමේ හැකියාවක් සහ උෂ්ණත්වය වැඩිවීමේ හැකියාවක් සහිත වෙයි.
  • නිරිතදිග මෝසමේ අවසන් මාසය, සැප්තැම්බර් යනු දෙවන අන්තර් මෝසම වෙත දිවයිනේ දේශගුණය පර්වර්තනය වන මාසයයි. එනම් නිරිතින් පැමිණෙන මෝසම් සුළං ප්‍රවාහයේ දුර්වල වීමත් සංවහන වැසිවල ආගමනයත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි තත්වයන්ගේ වර්ධනයත් හේතුවෙන් දිවයිනේ වර්ෂාපතන රටාව ගෝලීය ENSO සහ IOD කෙරෙහි හොඳ සහ සම්බන්ධයක් නිරීක්ෂණය නොවෙයි.

එතකොට නිරිතදිග මෝසම ෆේල් ද? 
මේ ප්‍රශ්නෙට "ඔව්" හෝ "නැහැ" කියල නිශ්චිත උත්තරයක් දෙන්න තරම් නිශ්චිත දත්ත සොයා ගන්න නැහැ. කෙසේ නමුත් නිරිතදිග මෝසම දිවයිනේ කෘෂිකාර්මික කටයුතු, ජලවිදුලි නිෂ්පාදන සහ පානීය ජල අවශ්‍යතාවයන්ගෙන් විශාල ප්‍රමාණයකට අවශ්‍ය ජලය ලබාදෙන ඍතුවක් බව බොහෝ දෙනා දන්නා කාරණයක්. දැනට පවතින අනාවැකි අනුව මාස පහක් පුරා දිවෙන සම්පුර්ණ මෝසම් ඍතුව නියං තත්වයක් වේ යයි පැවසීමට තරම් ප්‍රමාණවත් නොවූවත් සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව අඩු වීමේ සැලකියයුතු හැකියාවක් පවතින බැවින්, පවතින සහ ඉදිරියේදී ලැබෙන වැසි ජලය කළමනාකරණය කරමින් ඒ සඳහා සූදානම් වීම අත්‍යවශ්‍ය වන බව මගේ අදහසයි.

ප්‍රතිපලදායක සාකච්චාවක් වෙනුවෙන්, ලිපියේ අන්තර්ගතය පිළිබඳව හෝ එළඹෙන ඍතුවේ දිශානතිය පිළිබඳව ඔබගේ අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න.

සැ.යු. මෙම ලිපිය කා.වි.දෙ. නිල නිවේදනයක් නොවන අතර මා විසින් පහතින් දක්වා ඇති  විශ්ලේෂණ සීමා යටතේ සහ නම්කරන ලද දත්ත යොදා ගනිමින් සිදුකළ විශ්ලේෂණයක් බව සලකන්න.

-මලිත් ප්‍රනාන්දු-

---

විශ්ලේෂණයේ සීමා:

සාමාන්‍යයෙන් එල්-නීනියෝ සහ +IOD සඳහා සීමාකාරී උෂ්ණත්ව ඇනොමලි අගයන් වනුයේ +0.5 සහ +0.4 උවත් "එල්-නීනියෝ සහ +IOD එකවිට පැනනැගීම" යන තත්ත්වය සපුරන වැඩි වසර ගණනක දත්ත ලබා ගැනීම පිණිස මෙම නිශ්චිත අගයන් +0.4 සහ +0.2 ලෙස තෝරා ගැනීමෙන්  විශ්ලේෂණ සිදුකරන ලදී.

දත්ත:

●නිරිතදිග මෝසම් එකතුකළ වර්ෂාපතන දත්ත සිතියම, 1991-2020 දේශගුණ කාල පරාසයට අදාළ කා.වි.දෙ. දත්ත යොදා ගනිමින් අන්තර් නිවේශනය (Interpolated) කරන ලද සිතියමක්.
● ERA5 11x11 km resolution Rainfall and Temperature monthly data over the period 1950-2025 ECMWF ආයතන දත්ත.
● ENSO data 1950-2025 - NOAA ආයතන දත්ත.
● IOD data 1950-2025 - NOAA ආයතන දත්ත.


0 Comments