පළමු අන්තර්මෝසමේ දෙවැනි, නැතහොත් අවසන් මාසය අප්‍රේල් මාසයයි. සංවහන වැසි ඇතිවීම හේතුවෙන් අකුණු අනතුරු බහුල මාසයක් වන අතර උෂ්ණ ස්වභාවය වැඩිවීම මත සෞඛ්‍ය අවදානම් සහිත අවස්ථාවන් පැවතීම අප්‍රේල් සාමාන්‍ය තත්ත්වයන් බවට පත්ව ඇත.

දිවයින හරහා විශේෂ සුළං රටාවක් නොමැති වීම මත මෙම මාසයේදීත් වැසි ලැබෙනුයේ ප්‍රධාන වශයෙන් සංවහන වැසි මගිනි. මෙම වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතිවිය හැකි වුවත් පසුගිය වර්ෂා දත්ත අනුව පෙනෙනුයේ සබරගමුව සහ මධ්‍යම පළාත් ආශ්‍රිතව සාපේක්ෂව වැඩි වැසි ප්‍රමාණයන් පැවත ඇති බවයි. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට අවම වැසි ප්‍රමාණයන් නිරීක්ෂණය වී ඇති බව 01 රූපය අනුව දැකගත හැක.

01 රූපය - අප්‍රේල් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය

දිවයිනේ උෂ්ණත්ව ව්‍යාප්තිය අප්‍රේල් මාසයේදීත් ප්‍රධාන වශයෙන්ම භුමියේ උන්නතාංශය සමග වෙනස් වන ආකාරයක් දකින්න පුළුවන්. වසරේ සාමාන්‍ය උෂ්ණත්ව අගයන් අතර වැඩි අගයන්ගෙන් යුක්ත මාසයක් ලෙසත් අප්‍රේල් හැඳින්විය හැකියි. දිවයිනට සුර්යා මුදුන් වීමත් සමගම උෂ්ණ ස්වභාවයේ සැලකිය යුතු වැඩි වීමක් අප්‍රේල් මාසයේ පවතින අතර විශේෂයෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වල සාපේක්ෂව වැඩි උෂ්ණත්ව අගයන් නිරීක්ෂණය වී ඇතිබව 02.රුපයෙන් හඳුනාගත හැක.

02 රූපය - අප්‍රේල් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )

මාර්තු මාසයට සාපේක්ෂව තරමක් වැඩි, නිරිත සිට ගිනිකොණ දක්වා වන දිශාවලින් හමා එන සුළං රටාවක් හඳුනාගත හැකිමුත් දිවයින අභ්‍යන්තරයේ තවදුරටත් සුළං අවම තත්ත්වයක් පවතී.  මාර්තු මාසයේ පැවති අයුරින්ම දහවල් කාලයේ මුහුදු සුළං සහ රාත්‍රී කාලයේ ගොඩ සුළං ලෙස සුළං රටාව ප්‍රමුඛතාවයක් ගනී. ක්ෂණිකව වැඩිවිය හැකි සුළං වේගයන්ද අවම අගයන්වල පවතී. කෙසේ වෙතත් අප්‍රේල් මාසයේදීත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී වර්ධනය වන කැටි වැහි වලාකුළු මගින් පහලට, එනම් පොළොව මතට පැමිණිය හැකි අධික වේගයෙන් යුක්ත යටි සුළං ධාරා මගින් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය වේ. 

03 රූපය - සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්)

04 රූපය - සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )

කාලගුණ සහ දේශගුණ තත්ත්වයන්ගේ විචලනයන් හේතුවෙන් අප්‍රේල් මාසයේ පැවතිය හැකි ආපදා පිළිබඳව අවදානය යොමු කිරීමේදී වඩාත් අවදානය යොමුකළ යුතු තත්ත්වයන් ලෙස ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථා වලදී ඇතිවන අකුණු අනතුරු, තාවකාලික යටිසුලන් ධාරාවන් සහ ඇතැම් අවස්ථාවල ඇතිවිය හැකි ටොනේඩෝ තත්ත්වයන් වගේම අධික ඌෂ්න ස්වභාවයන් හඳුනා ගත හැක. මෙම අවදානම් අවස්ථා සහ ඇතිවිය හැකි සෞඛ්ය ගැටළු මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. වඩාත් උෂ්ණ සහ වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනයට පත් වීම් වලක්වා ගැනීමට, වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍ය වේ. පළමු අන්තර්මෝසමේ ඇතිවියහැකි පිළිබඳව දැනුවත් වීමට සහ ආපදා අවම කරගැනීමට මෙම සබැඳියේ ලිපිය කියවන්න.

05 රූපය - අප්‍රේල් මාසයේ  සාමාන්‍ය අකුණු ව්‍යාප්තිය


ඉහත 05.රූපයේ දැක්වෙන පරිදි අප්‍රේල් මාසයේ සාමාන්‍ය අකුණු ව්‍යාප්තිය පිළිබඳව අවදානය යොමු කිරීමේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වල සාපේක්ෂව ඉහල අවදානමක් ඇති අතර කුරුණෑගල, අනුරාධපුර, මොනරාගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් අවදානම් සහිතබව දැකිය හැකියි. 06 රූපයේ දැක්වෙන පරිදි අප්‍රේල් මාසයේදීත් අකුණු ඇතිවන දිනක වඩාත් වැඩි විදුලිකෙටුම් සහිත වැඩි අවදානම් කාලය ලෙස සවස 2.00 සිට සවස 06.00 දක්වා කාලය හඳුනා ගත හැක.

06 රූපය - අප්‍රේල් මාසයේ සාමාන්‍ය දවසක් තුල අකුණු නිරීක්ෂිත කාලයේ ව්‍යාප්තිය.


වායුගෝලීය උෂ්ණත්වය සහ මිනිසුන් හට දැනෙන උෂ්ණත්වය වෙනසක් පවතින බව පර්යේෂකයින් විසින් සොයා ගැනීමෙන් අනතුරුව මිනිසුන් හට දැනෙන උෂ්ණත්වය ගණනය කිරීමට භාවිතා කරන දර්ශක හඳුන්වා දෙන ලදී. එම දර්ශක අතර European Centre for Medium-Range Weather Forecasts (ECMWF) ආයතනයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දෙන ලද සාර්ව උණුසුම් දේශගුණ දර්ශකය (Universal Thermal Climate Index - UTCI) වඩාත් බහුලව භාවිතා වෙයි. 07 රූපයේ දැක්වෙන්නේ එම දර්ශකයෙන් ගණනය කරන ලද උෂ්ණත්ව අගයන් සහ අනුයාත වර්ණයන් ය.

07 රූපය - සාර්ව උණුසුම් දේශගුණ දර්ශකය (UTCI) කාණ්ඩ අගයන්හි වර්ණයන් සහ උෂ්ණත්ව අගයන් (සෙල්සියස් අංශක)

මාර්තු මාසය සමග අප්‍රේල් මාසයේ UTCI අගයන් සංසන්දනය කිරීමේදී පැහැදිලි වැඩි අගයන් නිරීක්ෂණය වන අතර මධ්‍යම පළාත හැරුණකොට මුළු දිවයිනම පාහේ අධික උණුසුම් මට්ටමේ පැවත ඇති බව දිස්වේ. වඩාත්ම අවදානම් කලාප ලෙස උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වගේම  කුරුණෑගල දිස්ත්‍රික්කය හඳුනාගත හැකි අතර දහවල් 12.30 සිට 02.30 දක්වා කාලය එහි උච්චතම අවස්ථා දක්වයි.

08 රූපය - අප්‍රේල් මාසයේ දහවල් කාලයේදී ගණනය කරන ලද සාර්ව උණුසුම් දේශගුණ දර්ශකයේ(UTCI) අගයන්. (දහවල් 12.30 අවස්තාව, දහවල් 01.30 අවස්තාව, දහවල් 02.30 අවස්තාව සහ දහවල් 03.30 අවස්තාව දක්වා ඇත.)


මෙම තොරතුරු අනුව අප්‍රේල් මාසය තරමක වියලි ස්වභාවයක් ගත්තත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව සබරගමුව පළාතේ තරමක් වැඩි වැසි ප්‍රමාණයක් පැවතිය හැකි අතර වැසි ප්‍රධාන වශයෙන් සංවහනය නිසා හටගනී. අකුණු අනතුරු සහ උෂ්ණ තත්වයන් නිසා ඇතිවියහැකි සෞඛ්‍ය ගැටළු මෙම මාසයේ සුලබ විය හැකි බැවින් ඒ සඳහා සුදුසු පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

රූපසටහන් සඳහා යොදාගත් දත්ත.

01 සිට 04 දක්වා රූපසටහන් – ECMWF’s ERA-5 Reanalysis data (1979-2019) (https://www.ecmwf.int)

05 සහ 06 රූපසටහන් - GLD 360 lightening strokes data over the years 2015 - 2018 from the Department of meteorology, under the Finnish Meteorological Institute under the Severe Storm Warning Services for Sri Lanka (SSWSS) project

07 සහ 08 රූපසටහන් - ECMWF’s UTCI calculations based on ERA-5 Reanalysis data (1979-2021) (https://www.ecmwf.int)

Software 
Calculations - CDO                    
Plotting - GrADS    



0 Comments