2024 මෝසම සහ ගංවතුර අවදානම.
පැසිෆික් සාගරයේ El Niño Southern Oscillation (ENSO) සහ ඉන්දියන් සාගරයේ Indian Ocean Dipole (IOD) යන සංසිද්ධීන් ද්විත්වය කලාපීය වශයෙන් මෝසම කෙරේ බලපෑම් ඇති කරනු ලබන අතර දිවයින තුල මෝසම් දේශගුණයද විචලනයකරනු ලබයි. නවතම අනාවැකි අනුව 04 සහ 05 රූප සටහන්හි දැක්වෙන පරිදි මෙවර මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුලදී පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින ලා නීනියා (La Niña) තත්ත්වය සහ ඉන්දියන් සාගරයේ පවතින ධන(+) ඉන්දීය සාගර ඩයිපෝලය(Indian Ocean Dipole - IOD) නිරිතදිග මෝසම් වැසි කෙරේ බලපානු ඇති. ලානීනියා තත්වය පිළිබඳව ගෝලීය අනාවැකි තරමක අඩු එකඟත්වයක් පල කලත් IOD හි ධන ස්වභාවය සම්බන්ධයෙන් සියලුම ආකෘති පාහේ අනාවැකි දක්වයි.
රූපය 04: National Oceanic and Atmospheric Administration (NOAA) ආයතනය විසින් 2024 මැයි 09 නිකුත් කරන ලද පැසිෆික් සාගරයේ nino 3.4 කලාපයේ ENSO හි ඉදිරි අනාවැකි. ( ලා නීනියා (La Niña) සහ ධන ඉන්දීය සාගර ඩයිපෝලය( Positive IOD) කියන්නෙ මොනවද?
මධ්‍යම පැසිෆික් සාගරය සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ අසමතුලිත උණුසුම් වීම හේතුවෙන් El Niño Southern Oscillation (ENSO) සංසිද්ධිය ඇතිවන අතර එහි ප්‍රධාන ආකාර දෙකක් වෙයි. එල්නීනියෝ සහ ලානීනියා ලෙස එම අවස්ථා දෙක හඳුන්වනු ලබයි. ලංකාවේ දේශගුණික තත්වයන් කෙරෙහි මෙහි බලපෑම ලෙස, ලා නීනියා අවස්ථාවේ දී දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ සුළං රටාව මත බස්නාහිර දෙසින් සුළං ප්‍රවාහයක් එකතු කරයි. එසේම එල් නීනියෝ ත්ත්වයේදී එහි විරුද්ධ ආකාරයට නැගෙනහිර දෙසින් සුළං ප්‍රවාහයක් එකතු කරයි.
ENSO යනු කුමක්ද සහ ලංකාවේ දේශගුණය කෙරෙහි එහි බලපෑම මේ සබැඳියෙන් කියවන්න.
ENSO ආකාරයටම ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වන ඉන්දීය සාගර ඩයිපෝලය (Indian Ocean Dipole - IOD) හඳුන්වාදිය හැකියි. මෙම සංසිද්ධියේත් ධන(+) සහ ඍණ(-) ලෙස ආකාර දෙකක් පවතී. ඉන්දීය සාගර කලාපයේ රටවල් වල දේශගුණයට මෙමගින් බලපෑම් ඇති වන බව සොයාගෙන තිබේ. IOD ධන(+) අවස්ථාවේදී ලංකාවේ පහළ වායු ගෝලයට නැගෙනහිර දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහයක් එකතු කරන අතර (-) අවස්ථාවේදී බටහිර දෙසින් එන සුළං ප්‍රවාහයක් එකතු කරයි.)
ලා නීනියා සහ IOD ධන(+) ආකාරය මෝසම තුළ ක්‍රියාත්මක වීම මෙවර නිරිත දිග මෝසමට කොහොම බලපාවිද?
මෝසම් සුළං සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 18000ක් පමණ වායුගෝලයේ ඉහලට ව්‍යාප්ත වෙයි. මෙම මෝසම් සුළං දිවයින හරහා ආසන්න වශයෙන් නිරිත/බටහිර දෙසින් එන ආකාරයට ගමන් කරයි. මෝසම් වැහි අපට ලැබෙන්නේ මෙසේ අති විශාල දුරක සිට පැමිණෙන ජලවාෂ්පවලින් පොහොසත් සුළං මගින් නිර්මාණය වන වලාකුළු මගිනි. එසේ නම් මෝසම් වැසි නිසි පරිදි ලැබීමට මෝසම් සුළං ප්‍රවාහය සක්‍රියව පැවතීම අත්‍යවශ්‍ය කාරණයක්.
වර්තමාන ගෝලීය සංසිද්ධීන්ගේ හැසිරීම පිලිබඳ අනාවැකි අනුව සහ ඒවා මගින් සාමානයෙන් සිදු කරන බලපෑම් අනුව ලානීනියා මගින් මෝසම් සුළං වැඩි කිරීමත් (+) IOD තත්ත්වය මගින් දුර්වල කිරීමත් හඳුනා ගන්න පුළුවන්. කෙසේ වෙතත් IODට සාපේක්ෂව ENSO හි බලපෑම තරමක් වැඩි බව පසුගිය දත්ත අනුව පැහැදිලි වන බැවින් නිරිතදිග මෝසමේ සාමාන්‍ය මට්ටමට වඩා තරමක වැසි වැඩි වීමක් හෝ සාමාන්‍ය ආකාරයට වැසි ලැබීමක් පෙර දත්ත අනුව දකින්න පුළුවන්.
වසරේ විවිධ කාලවල ලානීනියා සහ (+) IOD තත්ත්වයන් ඇතිවිය හැකි අතර එම සංසිද්ධීන්ගේ ආරම්භක කාලය සහ එහි තීව්‍රතාව අනුව ලෝකයේ විවිධ රටවල්වල ඇතිවන දේශගුණ තත්වයන් එකිනෙකින් වෙනස් වේ. අතීත තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී, පසුගිය වසරේ මැයි මස ආරම්භ වූ එල්නීනියෝ අවස්ථාවට මේ වසරේ මැයි වනවිට නිෂ්ක්‍රීය මට්ටම දක්වා පැමිණෙමින් ලානීනියා මුහුණුවර දෙසට ගමන් කරමින් පවතින බව ගෝලීය ආකෘති අනාවැකි දක්වයි. ENSO හි හැසිරීම මෙවැනි අකාරයටම විචලනය වූ අවස්තාවන් ලෙස 2010 සහ 2016 වසරවල් හඳුනාගත හැකියි. 06 රූපයෙන් මේ බව වඩාත් පැහැදිලි ලෙස දකින්න පුළුවන්. කෙසේ වෙතත් එම වසරේ දී මෙවර මෝසම් කාලයේදී මෙන් (+) IOD තත්වයක් නිරීක්ෂණය වී නොමැති බවත් සිහි තබාගත යුතුවෙයි. ඒ අනුව 2010 සහ 2016 වසරවල නිරිතදිග මෝසමේ හැසිරීම සොයා බැලීම මගින් මෙම වසරේ(2024) නිරිත දිග මෝසම් දේශගුණය පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිවෙයි.
2010 වසර දෙස හැරී බැලීමක්.
2010 වසරේ පෙර-මෝසම් තත්වයන් මත දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී අවසානයේ සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය. මෙය ලයිලා සුළි කුණාටුව ලෙස හඳුන්වනු ලැබූ අතර එම පද්ධතියේ වක්‍ර බලපෑම මත බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ජලගැලීම් වාර්තා විය. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිත හානි 20ක් වාර්තා වූ බව වැඩිදුරටත් සඳහන් වේ.
07 රූපය: 2010 ලයිලා සුළි කුණාටුවේ ගමන් මාර්ගය. මෙය 2010 මැයි මස 17 සිට 21 දක්වා දිවයිනේ කාලගුණයට බලපෑම් කර ඇත.
(පහත විශ්ලේෂණ සඳහා European Centre for Medium-Range Weather Forecasts (ECMWF) දත්ත භාවිතා කර ඇත. ගණනය කිරීම සඳහා දේශගුණ මධ්‍යන අගය ලෙස 1990-2020 වසර 30 සලකා ඇත. සිතියම් සැකසීමේදී 2010 නිරීක්ෂණය වී ඇති කාලගුණික පරාමිතීන්ගෙන් දේශගුණ මධ්‍යන්‍ය අගයන් අඩුකර එම වසරේ නිරිතදිග මෝසමේ එක් එක් මාසවල නිරීක්ෂණය වූ අදාළ පරාමිතීන්ගේ අඩු හෝ වැඩි වීම ගණනය කර ඇත.)
උෂ්ණත්වය
අගෝස්තු සහ සැප්තැම්බර් මාස හැර 2010 මෝසමේ සෙසු මාස වල උෂ්ණත්ව අගයන් අඩු මට්ටමකනිරීක්ෂණය වී ඇත. ජුලි මාසයේ උෂ්ණත්වය දිවයින පුරාම පාහේ අඩුවී ඇති ආකාරයටම සැප්තැම්බර් මාසයේ උෂ්ණත්වය වැඩි වී ඇත. මෝසමේ ආරම්භක මාස දෙක තුලදීද නැගෙනහිර සහ ඌව පළාත්වල වැඩි උෂ්ණත්වයන් පැවත ඇත.
මැයි, ජුනි සහ අගෝස්තු මාසවල වයඹ/බස්නාහිර දෙසින් හමන සුළං වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති අතර සැප්තැම්බර් මාසයේ සුළං දිශාව ප්‍රතිවිරුද්ධ අතට එනම් නැගෙනහිර දෙසින් පැමිණෙන ආකාරයක් ගෙන ඇත. ජුලි සැලකීමේදී සාමාන්‍ය මට්ටමට ආසන්න අගයක සුළං වේගයන් පැවතී ඇති බව දිස්වේ.
වර්ෂාව
මැයි මාසයේ වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වල වැසි වැඩිවීමක් සහ සෙසු ප්‍රදේශවල අඩුවීමක් පැවතී ඇත. ජුනි වන විට වර්ෂාව නිරිතදිග ප්‍රදේශවලට වඩාත් වැඩිවී ඇති බවක් දිස්වේ. ජූලි මාසයේදී දිවයින පුරා සැලකිය යුතු මට්ටමේ වැසි විචලනයක් නැතත් අවසන් මාස දෙකේ සැලකිය යුතු මට්ටමකින් වැසි අඩු වී ඇති බව දිස්වේ. ඒ අනුව නිරිතදිග ප්‍රදේශවල ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි ලැබීම අවම වී ඇති බවක් හඳුනාගත හැක.
සමස්තයක් වශයෙන් සලකන කළ 2010 නිරිතදිග මෝසම විශ්ලේෂණය කිරීමේදී මැයි සිට ජුලි දක්වා කාලය හැරුණකොට අවසන් මාස දෙක මෝසම දුර්වල වී ඇති බවක් දකින්න පුළුවන්. ඒ අනුව අවසන් මාස දෙකේදී වැසි තත්වය සැලකිය යුතු මට්ටමකින්අ ඩුවී ඇති අතර උෂ්ණත්වය වැඩි වී ඇත.
Disaster Management Centre - www.dmc.gov.lk
Bureau of Meteorology - www.bom.gov.au
European Centre for Medium-Range - Weather Forecasts www.ecmwf.int
National Oceanic and Atmospheric Administration - www.noaa.gov











2 Comments
ඉතාමත් වැදගත් තොරතුරු රැසක් තියෙනවා
ReplyDeleteස්තූතියි!
Delete