ලංකාවෙ උපරිම වාර්ෂික වර්ෂාපතනය.
ලංකාවෙ උපරිම වර්ෂාපතනය වාර්තා වී ඇති ප්‍රදේශය මොකක්ද කියල ඇහුවොත් බොහෝ දෙනෙක්ගෙන් ලැබෙන උත්තර දෙකක් තියෙනව. එකක් මාලිබොඩ අනික වටවල. මෙම ස්ථාන ගැන විවිධ අයට විවිධ අදහස් සහ මතකයන් ඇති නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින නවතම දත්ත උපයෝගී කරගනිමින් සකසන ලද වාර්තාවක් මේ.
කාලගුණ දෙපාර්තමේන්තුව සතුව පවතින වර්ෂාපතන දත්ත පිලිබඳව පහුගිය දවසක විගණන වාර්තාවක් සහ COPA සාකච්ඡා උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය ආයතන විවිධ අදහස් ප්‍රසිද්ධ කරනු ලැබුවා. COPA කමිටුව සහ ඇතැම් මාධ්‍ය වර්ෂාමාන දත්ත ලබාගන්නා ආකාරය ප්‍රශ්න කල අතර එම මධ්‍යස්ථාන නිසි පරිදි නඩත්තු කර නොමැති බැවින් දත්ත නොලැබී ඇති බව පැවසුවා. ඇතැම් මාධ්‍ය ආයතන කා.වි.දෙ. විසින් අධික වියදමක් දරමින්(?) මෙතරම් වර්ෂාමාන ප්‍රමාණයක් නඩත්තු කිරීමේ අරමුණ විමසා සිටියා.
කා.වි.දෙ. සතු කාලගුණ මධ්‍යස්ථාන හැරුණකොට කා.වි.දෙ. වෙත දත්ත ලබාදෙන සැලකිය යුතු වර්ෂාමාන මධ්‍යස්ථාන ප්‍රමාණයක් සතුව, වසර 60-70කට වඩා වැඩි කාලයක් දක්වා දිවෙන දත්ත ප්‍රමාණයක් පවතී. එනම් විවිධ ආයතන සහ මිනිසුන් ඇතැම්විට වර්ෂාපතන දත්ත ලබාදීම ආරම්භ කල පුද්ගලයාගේ අභාවයෙන් පසුවත් එම ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යමින් ඔවුනට ලැබෙන ලාභයකින් තොරව අදාළ ස්ථානයේ වර්ෂාපතන දත්ත දෙපාර්තමේන්තුවට දිනපතා හෝ මාස්පතා ලබා දෙයි.
01 රූපය: කා.වි.දෙ. සතුව වර්ෂාපතන දත්ත පවතින ස්ථාන සිතියම.
කාලගුණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මේ සඳහා ලබාදුන් පිළිතුරු ජනගත නොවූ බව මගේ අදහසයි. කෙසේ වෙතත් කා.වි.දෙ. සතු වර්ෂාපතන දත්ත ඇති විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත්තේ ස්වේච්ඡාවෙන් එම දත්ත දිනපතා මනිමින් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන මහජනතාවගෙන් බව නැවත නැවතත් සිහිකළ යුතුය. එබැවින් දිනපතා සිදුකරන එම කාර්යය සම්බන්ධයෙන් සිය මුදල්, කාලය සහ ශ්‍රමය වැය කරන ආයතන සහ මිනිසුන් කෙරෙහි ස්තුතිවන්ත වෙමු!
කා.වි.දෙ. වර්ෂාපතන දත්ත පර්යේෂණ කටයුතු සඳහා යම් ප්‍රමාණයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලයේ නිකුත් කරනු ලබන අතර සාමාන්‍යයෙන් දත්ත අවශ්‍යතාව අනුව මුදල් ගෙවීමට සිදුවේ. අවශ්‍ය විස්තර මෙම සබැඳිය ඔස්සේ ලබාගන්න.
02 රූපය : උපරිම වාර්ෂික වර්ෂාපතන ප්‍රමාණයන් වාර්තා වී ඇති ප්‍රදේශ සිතියම.
ලෝක කාලගුණ සංවිධානයේ මාර්ගෝපදේශ අනුව දේශගුණික කාලයක් වසර 30ක් පමණ විය යුතු බව දක්වා ඇති හෙයින් 1961 සිට පවතින වර්ෂාපතන දත්ත වසර 30ක් බැගින් ලෙස පෙළගස්වා ඒ අතරින් උපරිම වාර්ෂික වර්ෂාපතනය වාර්තා වූ ස්ථාන සොයාබැලීම මෙහිදී සිදු කලෙමි.
02රූපයේ ත්‍රිකෝණ සටහන් මගින් දැක්වෙනුයේ සාමාන්‍යයෙන් දිවයිනේ උපරිම වාර්ෂික වර්ෂාපතනයන් ලැබෙන ප්‍රදේශයි. එම ප්‍රදේශ මහනුවර, නුවරඑළිය රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට මැදිව පවතින බව නිරීක්ෂණය කල හැකියි.
1961-1990 කාලයේදී උපරිම වාර්ෂික වර්ෂාපතනය මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 5319.7ක්. දෙවනියට සහ තෙවැනියට වැඩි අගයන් වේවැල්තලාව සහ කෙනිල්වර්ත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර ඒවා මිලිමීටර් 5262.7 සහ 5107.2 බැගින් වේ.
1971-2000 කාලය තුළ මි.මී. 5298.5ක උපරිම වාර්ෂික වර්ෂාපතනය කෙනිල්වර්ත් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන ලෙස වාර්තා වනුයේ වටවල සහ වේවැල්තලාව ප්‍රදේශයි. එම ප්‍රදේශවලින් පිළිවෙලින් මි.මී. 5130.8 සහ 4935.9 ලෙස වාර්ෂික වර්ෂාපතනය වාර්තා වී ඇත.
1981-2010 දේශගුණ කාලය තුළත් උපරිම වර්ෂාපතන ප්‍රදේශය වනුයේ කෙනිල්වර්ත් වන අතර වර්ෂාපතන අගය මි.මී. 5760 වේ. දෙවැනි සහ තෙවැනි උපරිම වර්ෂාපතන වනුයේ මි.මී. 5165.4 සහ 5017.8 වටවල සහ කෑරගල ප්‍රදේශවලිනි.
1991-2020 කාලය, එනම් නවතම දේශගුණ වසර පරාසයෙදීත් වාර්ෂික උපරිම වර්ෂාපතන අගය වාර්තා වී ඇත්තේ කෙනිල්වර්ත් වතු යායෙන් වන අතර එහි අගය මි.මී. 5665.1ක් වේ. පිළිවෙලින් වටවල සහ මාලිබොඩ යන ප්‍රදේශවලින් මිලිමීටර් 4926.9ක සහ 4904.4ක වාර්ෂික වර්ෂාපතන අගයන් වාර්තා වී ඇත.
එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින නව දත්ත අනුව ලංකාවේ උපරිම වාර්ෂික වර්ෂාපතනය වාර්තා වනුයේ කෙනිල්වර්ත් ප්‍රදේශයෙන් වන අතර එම අගය මිලිමීටර් 5665.1ක් වේ.
මෙම විශ්ලේෂණය සඳහා වාර්ෂික වර්ෂාපතන දත්ත ලබා දුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ස්තූතිවන්ත වෙමි.
මලිත් ප්‍රනාන්දු
ජාතික කාලගුණවිද්‍යා මධ්‍යස්ථානය
කොළඹ.
0 Comments