නිරිතදිග මෝසම යනු ලංකාවේ මුළු වර්ෂාපතනයෙන් 30%ක් පමණ ලැබෙන මැයි සිට සැප්තැම්බර් දක්වා වසරේ වැඩිම කාලයක් පවතින වැසි සමයයි. ලෝකයේ විශාලතම දේශගුණ සංසිද්ධිය වන මෝසම සාමාන්‍ය දේශගුණ තත්වයන් යටතේ මැයි මස සිව්වන සතියේ පමණ සිට ලංකාව හරහා ස්ථාපිත වීම දකින්න පුළුවන්. පසුගිය වසරේ(2023) පැවති එල්නීනියෝ තත්වයත් සමගම තරමක් පමා වී මෝසම ජුනි දෙවන සතියේ ආරම්භ වූ අතර එම වසරේ නිරිතදිග මෝසම් වැසි නිරිතදිග ප්‍රදේශ වගේම වයඹ සහ නැගෙනහිර පළාත්වල සාපේක්ෂව වැඩි වැසි ප්‍රමාණයන් ලෙසත් මධ්‍යම සහ උතුරු පළාත්වල සාපේක්ෂව අඩු වැසි ප්‍රමාණයන් ලෙසත් වාර්තා වින.

රූපය 01: 2016 වසරේ මැයි මාසයේ ලැබුන අධික පෙර මෝසම් වැසි හේතුවෙන් නාය යාමකට ලක්වූ අරණායක සාමසරකන්ද. උපුටා ගැනීම "The telegraph"

ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශවලින් ආරම්භ වන මෝසම් සුළන් ප්‍රවාහය අප්‍රිකා මහාද්වීපය ආසන්නයෙන් දක්ෂිණාවර්තව හැරී අරාබි මුහුද හරහා ගොස් දිවයින වෙත කිලෝමීටර් 4000කට වැඩි දුරක් ගෙවාගෙන විශාල ජලවාෂ්ප ප්‍රමාණයක් රැගෙන පැමිණෙන මෝසම් සුළං මධ්‍යම කඳුකරයේ වැදී ඉහළ ගොස් වලාකුළු නිර්මාණය වීමෙන් ප්‍රධාන වශයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි ලැබේ.(03 රූපය)

රූපය 02: කොළඹ ප්‍රදේශයට ලැබුණු අධික වැසි හේතුවෙන් 2010 මැයි 17 දින පැවති ජල ගැලීම් හේතුවෙන් නිවාස ජලයෙන් යටවී තිබු අයුරු. උපුටා ගැනීම "The San Diego Union-Tribune"

ගංවතුර සහ නාය යාම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී නිරිතදිග මෝසම සහ මැයි මාසයේ පෙර මෝසම් වැහි බොහෝ අවස්ථාවන්හිදී එම ආපදාවන්ගේ මුලික වැසිවල හිමිකාරිත්වය දරයි. මෝසම සක්‍රීය වීමේදී සාමාන්‍යයෙන් දකින්න ලැබෙන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපයන් සහ පසුව ක්‍රමයෙන් වර්ධනය වන සුළිකුණාටු තත්ත්වයන් මේ සඳහා මග පාදයි.
රූපය 03: 1991 සිට 2020 දක්වා වර්ෂාපතන දත්ත මගින් නිරූපණය වන නිරිතදිග මෝසමේ සාමාන්‍ය වැසි ප්‍රමාණයන්(මිලිමීටර් වලින්). දත්ත - කා.වි.දෙ.

පැසිෆික් සාගරයේ El Niño Southern Oscillation (ENSO) සහ ඉන්දියන් සාගරයේ Indian Ocean Dipole (IOD) යන සංසිද්ධීන් ද්විත්වය කලාපීය වශයෙන් මෝසම කෙරේ බලපෑම් ඇති කරනු ලබන අතර දිවයින තුල මෝසම් දේශගුණයද විචලනයකරනු ලබයි. නවතම අනාවැකි අනුව 04 සහ 05 රූප සටහන්හි දැක්වෙන පරිදි මෙවර මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුලදී පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින ලා නීනියා (La Niña) තත්ත්වය සහ ඉන්දියන් සාගරයේ පවතින ධන(+) ඉන්දීය සාගර ඩයිපෝලය(Indian Ocean Dipole - IOD) නිරිතදිග මෝසම් වැසි කෙරේ බලපානු ඇති. ලානීනියා තත්වය පිළිබඳව ගෝලීය අනාවැකි තරමක අඩු එකඟත්වයක් පල කලත් IOD හි ධන ස්වභාවය සම්බන්ධයෙන් සියලුම ආකෘති පාහේ අනාවැකි දක්වයි.


රූපය 04: National Oceanic and Atmospheric Administration (NOAA) ආයතනය විසින් 2024 මැයි 09 නිකුත් කරන ලද පැසිෆික් සාගරයේ nino 3.4 කලාපයේ ENSO හි ඉදිරි අනාවැකි. 

රූපය 05: Bureau of Meteorology (BOM) ආයතනය විසින් නිකුත් කරන ලද ඉදිරි IOD අනාවැකි.


( ලා නීනියා (La Niña) සහ ධන ඉන්දීය සාගර ඩයිපෝලය( Positive IOD) කියන්නෙ මොනවද?

මධ්‍යම පැසිෆික් සාගරය සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ අසමතුලිත උණුසුම් වීම හේතුවෙන් El Niño Southern Oscillation (ENSO) සංසිද්ධිය ඇතිවන අතර එහි ප්‍රධාන ආකාර දෙකක් වෙයි. එල්නීනියෝ සහ ලානීනියා ලෙස එම අවස්ථා දෙක හඳුන්වනු ලබයි. ලංකාවේ දේශගුණික තත්වයන් කෙරෙහි මෙහි බලපෑම ලෙස, ලා නීනියා අවස්ථාවේ දී දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ සුළං රටාව මත බස්නාහිර දෙසින් සුළං ප්‍රවාහයක් එකතු කරයි. එසේම එල් නීනියෝ ත්ත්වයේදී එහි විරුද්ධ ආකාරයට නැගෙනහිර දෙසින් සුළං ප්‍රවාහයක් එකතු කරයි.


ENSO යනු කුමක්ද සහ ලංකාවේ දේශගුණය කෙරෙහි එහි බලපෑම මේ සබැඳියෙන් කියවන්න.


ENSO ආකාරයටම ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වන ඉන්දීය සාගර ඩයිපෝලය (Indian Ocean Dipole - IOD) හඳුන්වාදිය හැකියි. මෙම සංසිද්ධියේත් ධන(+) සහ ඍණ(-) ලෙස ආකාර දෙකක් පවතී. ඉන්දීය සාගර කලාපයේ රටවල් වල දේශගුණයට මෙමගින් බලපෑම් ඇති වන බව සොයාගෙන තිබේ. IOD ධන(+) අවස්ථාවේදී ලංකාවේ පහළ වායු ගෝලයට නැගෙනහිර දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහයක් එකතු කරන අතර (-) අවස්ථාවේදී බටහිර දෙසින් එන සුළං ප්‍රවාහයක් එකතු කරයි.)


ලා නීනියා සහ IOD ධන(+) ආකාරය මෝසම තුළ ක්‍රියාත්මක වීම මෙවර නිරිත දිග මෝසමට කොහොම බලපාවිද?


මෝසම් සුළං සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 18000ක් පමණ වායුගෝලයේ ඉහලට ව්‍යාප්ත වෙයි. මෙම මෝසම් සුළං දිවයින හරහා ආසන්න වශයෙන් නිරිත/බටහිර දෙසින් එන ආකාරයට ගමන් කරයි. මෝසම් වැහි අපට ලැබෙන්නේ මෙසේ අති විශාල දුරක සිට පැමිණෙන ජලවාෂ්පවලින් පොහොසත් සුළං මගින් නිර්මාණය වන වලාකුළු මගිනි.  එසේ නම් මෝසම් වැසි නිසි පරිදි ලැබීමට මෝසම් සුළං ප්‍රවාහය සක්‍රියව පැවතීම අත්‍යවශ්‍ය කාරණයක්.


වර්තමාන ගෝලීය සංසිද්ධීන්ගේ හැසිරීම පිලිබඳ අනාවැකි අනුව සහ ඒවා මගින් සාමානයෙන් සිදු කරන බලපෑම් අනුව ලානීනියා මගින් මෝසම් සුළං වැඩි කිරීමත් (+) IOD තත්ත්වය මගින් දුර්වල කිරීමත් හඳුනා ගන්න පුළුවන්. කෙසේ වෙතත් IODට සාපේක්ෂව ENSO හි බලපෑම තරමක් වැඩි බව පසුගිය දත්ත අනුව පැහැදිලි වන බැවින් නිරිතදිග මෝසමේ සාමාන්‍ය මට්ටමට වඩා තරමක වැසි වැඩි වීමක් හෝ සාමාන්‍ය ආකාරයට වැසි ලැබීමක් පෙර දත්ත අනුව දකින්න පුළුවන්.


2010, 2016 සහ 2024 ලානීනියා

වසරේ විවිධ කාලවල ලානීනියා සහ (+) IOD තත්ත්වයන් ඇතිවිය හැකි අතර එම  සංසිද්ධීන්ගේ ආරම්භක කාලය සහ එහි තීව්‍රතාව අනුව ලෝකයේ විවිධ රටවල්වල ඇතිවන දේශගුණ තත්වයන් එකිනෙකින් වෙනස්  වේ. අතීත තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී, පසුගිය වසරේ මැයි මස ආරම්භ වූ එල්නීනියෝ අවස්ථාවට මේ වසරේ මැයි වනවිට නිෂ්ක්‍රීය මට්ටම දක්වා පැමිණෙමින් ලානීනියා මුහුණුවර දෙසට ගමන් කරමින් පවතින බව ගෝලීය ආකෘති අනාවැකි දක්වයි. ENSO හි හැසිරීම මෙවැනි අකාරයටම විචලනය වූ අවස්තාවන් ලෙස 2010 සහ 2016 වසරවල් හඳුනාගත හැකියි. 06 රූපයෙන් මේ බව වඩාත් පැහැදිලි ලෙස දකින්න පුළුවන්. කෙසේ වෙතත් එම වසරේ දී මෙවර මෝසම් කාලයේදී මෙන් (+) IOD තත්වයක් නිරීක්ෂණය වී නොමැති බවත් සිහි තබාගත යුතුවෙයි. ඒ අනුව 2010 සහ 2016 වසරවල නිරිතදිග මෝසමේ හැසිරීම සොයා බැලීම මගින් මෙම වසරේ(2024) නිරිත දිග මෝසම් දේශගුණය පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිවෙයි.



06 රූපය - වසර කිහිපයක "Oceanic nino index - ONI" අගයන්. නිල් - 2009 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා ONI අගයන්. කළු- 2015 ජනවාරි සිට 2016 දෙසැම්බර් දක්වා ONI අගයන්. රතු- 2023 ජනවාරි සිට 2024 මාර්තු දක්වා ONI අගයන්. source : www.origin.cpc.ncep.noaa.gov



2010 වසර දෙස හැරී බැලීමක්.

2010 වසරේ පෙර-මෝසම් තත්වයන් මත දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී අවසානයේ සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය. මෙය ලයිලා සුළි කුණාටුව ලෙස හඳුන්වනු ලැබූ අතර එම පද්ධතියේ වක්‍ර බලපෑම මත බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ජලගැලීම් වාර්තා විය. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිත හානි 20ක් වාර්තා වූ බව වැඩිදුරටත් සඳහන් වේ.


07 රූපය: 2010 ලයිලා සුළි කුණාටුවේ ගමන් මාර්ගය. මෙය 2010 මැයි මස 17 සිට 21 දක්වා දිවයිනේ කාලගුණයට බලපෑම් කර ඇත.


පෙරමෝසම් කාලයේ පැවති සුළිකුණාටු තත්ත්වය මත වැඩිම වර්ෂාපතනයන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාත ඇතුළු නිරිතදිග ප්‍රදේශවලයි. ඉන් කිහිපයක් 08 රූපයේ දැක්වේ. ඒ අනුව ආසන්න වශයෙන් සතියක කාලයක් තුල මි.මී. 700ක පමණ වැසි ප්‍රමාණයක් කළුතර ප්‍රදේශයට ලැබීඇති අතර කොළඹට එම අගය 600කි.

08 රූපය: 2010 මැයි මස 12 සිට 21 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වී ඇති වර්ෂාපතන දත්ත. කා.වි.දෙ. 


(පහත විශ්ලේෂණ සඳහා European Centre for Medium-Range Weather Forecasts (ECMWF) දත්ත භාවිතා කර ඇත. ගණනය කිරීම සඳහා දේශගුණ මධ්‍යන අගය ලෙස 1990-2020 වසර 30 සලකා ඇත. සිතියම් සැකසීමේදී 2010 නිරීක්ෂණය වී ඇති කාලගුණික පරාමිතීන්ගෙන් දේශගුණ මධ්‍යන්‍ය අගයන් අඩුකර එම වසරේ නිරිතදිග මෝසමේ එක් එක් මාසවල නිරීක්ෂණය වූ අදාළ පරාමිතීන්ගේ අඩු හෝ වැඩි වීම ගණනය කර ඇත.)


උෂ්ණත්වය

අගෝස්තු සහ සැප්තැම්බර් මාස හැර 2010 මෝසමේ සෙසු මාස වල උෂ්ණත්ව අගයන් අඩු මට්ටමකනිරීක්ෂණය වී ඇත. ජුලි මාසයේ උෂ්ණත්වය දිවයින පුරාම පාහේ අඩුවී ඇති ආකාරයටම සැප්තැම්බර් මාසයේ උෂ්ණත්වය වැඩි වී ඇත. මෝසමේ ආරම්භක මාස දෙක තුලදීද නැගෙනහිර සහ ඌව පළාත්වල වැඩි උෂ්ණත්වයන් පැවත ඇත.




09 රූපය: 1990-2020 සාමාන්‍ය දේශගුණයට සාපේක්ෂව 2010 වසරේ වාර්තා වී ඇති උෂ්ණත්වයන්ගේ අඩු වැඩි අගයන්(සෙල්සියස් අංශක).

සුළං

මැයි, ජුනි සහ අගෝස්තු මාසවල වයඹ/බස්නාහිර දෙසින් හමන සුළං වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති අතර සැප්තැම්බර් මාසයේ සුළං දිශාව ප්‍රතිවිරුද්ධ අතට එනම් නැගෙනහිර දෙසින් පැමිණෙන ආකාරයක් ගෙන ඇත. ජුලි සැලකීමේදී සාමාන්‍ය මට්ටමට ආසන්න අගයක සුළං වේගයන් පැවතී ඇති බව දිස්වේ.




10 රූපය - 1990-2020 සාමාන්‍ය දේශගුණයට සාපේක්ෂව 2010 වසරේ වාර්තා වී ඇති සුළං වේගය සහ දිශාවන්ගේ අඩු වැඩි අගයන්(පැයට කිලෝමීටර් වලින්).

වර්ෂාව

මැයි මාසයේ වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වල වැසි වැඩිවීමක් සහ සෙසු ප්‍රදේශවල අඩුවීමක් පැවතී ඇත. ජුනි වන විට වර්ෂාව නිරිතදිග ප්‍රදේශවලට වඩාත් වැඩිවී ඇති බවක් දිස්වේ. ජූලි මාසයේදී දිවයින පුරා සැලකිය යුතු මට්ටමේ වැසි විචලනයක් නැතත් අවසන් මාස දෙකේ සැලකිය යුතු මට්ටමකින් වැසි අඩු වී ඇති බව දිස්වේ. ඒ අනුව නිරිතදිග ප්‍රදේශවල ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි ලැබීම අවම වී ඇති බවක් හඳුනාගත හැක.


11 රූපය - 1990-2020 සාමාන්‍ය දේශගුණයට සාපේක්ෂව 2010 වසරේ වාර්තා වී ඇති වර්ෂාවේ අඩු වැඩි වීම (මිලි මීටර්).

සමස්තයක් වශයෙන් සලකන කළ 2010 නිරිතදිග මෝසම විශ්ලේෂණය කිරීමේදී මැයි සිට ජුලි දක්වා කාලය හැරුණකොට අවසන් මාස දෙක මෝසම දුර්වල වී ඇති බවක් දකින්න පුළුවන්. ඒ අනුව අවසන් මාස දෙකේදී වැසි තත්වය සැලකිය යුතු මට්ටමකින්අ ඩුවී ඇති අතර උෂ්ණත්වය වැඩි වී ඇත.


2010 නිරිතදිග මෝසම වගේම මෙවර 2024 ගෝලීය මෝසම් ලක්ෂණ කෙරෙහි යම් ආසන්න බවක් දක්වන්නේ 2016 නිරිතදිග මෝසමයි. 2010 සහ 2016 මෝසම් ද්විත්වයේ ප්‍රධාන සමානකමක් වනුයේ පෙර මෝසම වඩාත් සක්‍රීය ස්වභාවයක් ගැනීමයි. 2010දී ලයිලා සුළි කුණාටුවත් 2016 මැයි 15 පමණ ආරම්භවූ රෝණු සුළි කුණාටුවත් හේතුවෙන් විශාල ආපදාවන් ගණනාවකට මුහුණ දීමට මහජනතාවට සිදුවිය. මෙම සුළි කුණාටුවේ වක්‍ර බලපෑම මත 2016දී අරණායක සාමසාර කන්ද නාය යාමෙන් වාර්තාවූ ජීවිත හානි ගණන 100 ඉක්මවයි.

සාරාංශය 
ඍතු අනාවැකි නැතහොත් දිගු කාලීන අනාවැකි සැකසීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ දේශගුණික සාධක දිගු කාලීනව වෙනස්කම් වලට භාජනය කළහැකි සංසිද්ධීන්ගේ හැසිරීම පිළිබඳවයි. ඉන්දීය සාගර කලාපයේ රටවල් ලෙස අප විසින් ENSO සහ IOD යන සංසිද්ධීන් ඒ අනුව විශ්ලේෂණය කරමින් ඒවායේ හැසිරීම මත අනාවැකි කෙසේ වන්නේද යන්න නිගමනය කිරීම දකින්න පුළුවන්. කෙසේ වෙතත් මෙම අනාවැකි මගින් ප්‍රකාශ වනුයේ සාමාන්‍ය දේශගුණික ලක්ෂණවලට සාපේක්ෂව වැඩි, අඩු හෝ සාමාන්‍ය වීමේ සම්භාවිතාව පිළිබඳවයි. දිගුකාලීන අනාවැකි මගින් ප්‍රමාණාත්මක අනාවැකි සැකසීම ලෝකය පුරා වර්තමානයේදීත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින තත්වයක් පමණයි.

කා.වි.දෙ. මගින් නිරිතදිග මෝසම සඳහා නිකුත් කරනලද අනාවැකිය 12 රූපයේ දැක්වේ. එහි දැක්වෙන පරිදි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩිවීමේ සැලකිය යුතු ඉඩක් පවතින අතර සෙසු ප්‍රදේශවල සාමාන්‍ය ඍතු වර්ෂාවක් ලැබිය හැකි බව දක්වා තිබේ.

12 රූපය: 2024 නිරිතදිග මෝසම් වැසි පිලිබඳ කා.වි.දෙ. මගින් නිකුත් කරන ලද නිල අනාවැකිය.

දිගුකාලීන අනාවැකි මගින් ආවරණය නොවන කෙටිකාලීන සංසිද්ධීන්ගේ පැනනැගීම හේතුවෙන් එම අනාවැකි උඩු යටිකුරු වන අවස්ථා බොහෝ දකින්න පුළුවන්. එම සංසිද්ධීන් ලෙස Madden Julian Oscillation (MJO), Waves, Inter Tropical Convergence Zone (ITCZ), Cyclones හඳුනා ගත හැකියි.

2016 වසරේදී රෝණු සුළිකුණාටුව ආරම්භය, ඒ වනවිට වඩාත් සක්‍රීයව පැවති MJO මගින් ප්‍රධාන වශයෙන් උද්දීපනය වූ බව සහ 2010 වසරේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති තත්ත්වයන්ගේ තාවකාලික ගැලපීම් මත ලයිලා සුළිකුණාටුවේ පැන නැගීම සිදුවූ බව සිතිය හැකියි. කෙසේ වෙතත් මේවනවිටත් (2024-05-13) ඉදිරි සතියේදී එවන් තත්ත්වයක් හඳුනාගත නොහැකි බැවින් මෙවර පෙර මෝසම් කාලය තුළ සුළි කුණාටුවක පැනනැගීම අවම මට්ටමක පවතී.

2024 පෙර-මෝසමේ සුළි කුණාටුවක පැනනැගීම අඩු හැකියාවක පැවතුනත් සුළං ප්‍රවාහයේ හැසිරීම මත පෙර-මෝසම් වැසි සක්‍රීය වීම මෙවර දැකිය හැකි බැවින් විශේෂයෙන් දිවයිනේ බස්නාහිර සබරගමුව ඇතුළු නිරිතදිග ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව වඩාත් අවදානය යොමු කල යුතුවේ.

ගෝලීය අනාවැකි අනුව පැසිෆික් සාගරයේ ලානීනියා තත්ත්වයක් වර්ධනය වීම සඳහා සැලකියයුතු හැකියාවක් පවතින බවත් ඉන්දීය සාගර ඩයිපෝලය මෙවර මෝසම් කාලය පුරාවට ‘ධන’ අගයක් ගනු ඇති බවත් දැක්වේ. ඒ අනුව බලනකල මෙවර මෝසම කෙරෙහි ගෝලීය තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් මෝසමේ මුල් මාස වලදී තරමක වැඩි වැසි ප්‍රමාණයන් සහ පසුව මෝසම් වැසි අඩු වනු ඇති බව සිතිය හැකි වේ.

පසුගිය වසරේදී මෙන්ම මෙවරත් දිවයින ආශ්‍රිතව කෙටි කාලීනව වර්ධනය විය හැකි අඩු පීඩන කලාප/පීඩන අවපාත වැනි තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි වැසි නොමැති වුවහොත් මෙවර මෝසම සාමාන්‍ය තත්වයට සාපේක්ෂව වැසි අඩු වීමේ හැකියාවක් ඇති බව සිතන්න පුළුවන්.

--
මුලාශ්‍ර සහ දත්ත.
Department of meteorology - www.meteo.gov.lk
Disaster Management Centre - www.dmc.gov.lk
Bureau of Meteorology - www.bom.gov.au
European Centre for Medium-Range - Weather Forecasts www.ecmwf.int
National Oceanic and Atmospheric Administration - www.noaa.gov

2 Comments

  1. ඉතාමත් වැදගත් තොරතුරු රැසක් තියෙනවා

    ReplyDelete