වසරේ මාස පහක් පමණ කාලයක් පුරා පවතින නිරිතදිග මෝසම් කාලයේ තෙවන මාසය වනුයේ ජුලි මාසයයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයට අමතරව දිවයින හරහා පවතින තද සුලන් ස්වභාවයන් නිරීක්ෂණ කල හැකි වෙයි. ජුලි සාමාන්‍ය කාලගුණික ස්වභාවය ගැන දැක්වෙන ලිපිය මේ සබැඳියෙන් කියවන්න පුළුවන්.

මෙම ලිපියෙන් උත්සහ කරනුයේ, ප්‍රධාන වශයෙන් ENSO, ගෝලීය දේශගුණ විචලක සංසිද්ධිහි ලා-නීනියා මුහුණුවර මගින් අතීතයේ ලංකාවේ දේශගුණයට බලපෑම් කළ ආකාරය අධ්‍යයනය කිරීමෙන් ලබා ගන්නා ලද තොරතුරුත්, එම සංසිද්ධීන්ගේ නවතම තත්ත්වය සහ අනාවැකි දත්තත් භාවිතා කරගනිමින් 2024 ජුලි මාසයේ පැවතිය හැකි කාලගුණික ස්වභාවය පිළිබඳව යම් දළ අදහසක් ලබා ගැනීමටයි. ලිපිය කියවා අවබෝධ කරගැනීමට මිනිත්තු 10-15 ක් පමණ වැය විය හැකියි. 

01 රූපයේ දැක්වෙන්නේ 1991 සිට 2020 දක්වා වසර 30ක ජුලි මාසයේ වර්ෂාපතන එකතුව සම්බන්ධ දත්තවල සාමාන්‍ය අගයන් මි.මී වලින් සිතියම් ගත කිරීමයි. එහි දැක්වෙන ආකාරයට මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම් ප්‍රදේශවල සාපේක්ෂව වැඩි වැසි ප්‍රමාණයන් ජුලි මාසයේ නිරීක්ෂණය වී ඇතිබව පෙනෙන අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශ හැරුණකොට සෙසු ප්‍රදේශවල වැසි තත්ත්වය ජුලි මාසයේදී අවම ස්වභාවයක් ගන්නා බව දකින්න පුළුවන්.

01 රූපය: 1991-2020 වසර 30ක ජුලි මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය. (දත්ත-කා.වි.දෙ.)

දීර්ඝකාලීනව මෝසම් වැසි අධ්‍යයනය කිරීමේදී ගෝලීය වශයෙන් මෝසම කෙරෙහි බලපාන සාධක අතර එල්-නීනියෝ දක්ෂිණ දෝලනය (El Niño-Southern Oscillation - ENSO) විශේෂ වෙයි. වසරේ විවිධ කාලවලදී එමගින් ලංකාවේ දේශගුණික තත්ත්වය කෙරෙහි විවිධාකාර බලපෑම් ඇති කරයි. 

නවතම අනාවැකි අනුව 2024 ජුලි මාසය ENSO හි ලා-නීනියා ආකාරය වෙත නැඹුරු වෙමින් අගෝස්තු වනවිට ලානීනියා මුහුණුවර ගනු ඇතිබව ගෝලීය මොඩලයන් අනාවැකි පළකර සිටියි. එබැවින් මෙම ලිපියේ 2024 ජුලි මාසයේ පැවතිය හැකි කාලගුණික තත්ත්වය පිළිබඳව අදහසක් ලබා ගැනීමට පසුගිය ජුලි මාසවලදී පැවති ලා-නීනියා පරිච්ඡේදයන්හි දත්ත විශ්ලේෂණය පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ.

European Centre for Medium-Range Weather Forecasts (ECMWF) ආයතනයේ පසුගිය වසර 70ක පමණ වැසි සහ උෂ්ණත්ව දත්ත අනුව පසුගිය වසරවල ජුලි මාසයේ ENSO හි ලා-නීනියා තත්ත්වය නිරීක්ෂණය වී ඇති අවස්ථාවන්වලදී දීර්ඝ කාලීන මධ්‍යයනයට සාපේක්ෂව එම වර්ෂාපතන අගයන් කොතරම් අඩු හෝ වැඩි වී ඇතිද(Anomaly) යන්න 02 සහ 03 රූප සටහන්වලින් දැක්වේ.

02 රූපය : 1951-2022 ECMWF මොඩල දත්ත අනුව ජුලි මාසයේදී ලානීනියා ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්.

වැසි තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී දිවයින පුරාම පාහේ තරමක වැසි වැඩි ස්වභාවයක් ලා නීනියා ආශ්‍රිතව දැකිය හැකියි. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයෙන් බස්නාහිර ප්‍රදේශවල, එනම් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල සාමාන්‍ය වැසි මට්ටමට වඩා වැසි වැඩි වීම බොහෝ දුරට මෝසම් සුළගේ සක්‍රීය ස්වභාවය මත සිදු වනු ඇතැයි සිතන්න පුළුවන්.

03 රූපය : 1951-2022 ECMWF මොඩල දත්ත අනුව ජුලි මාසයේදී ලානීනියා ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්.

වසර 1950 පමණ සිට පැසිෆික් සාගරයේ නිරීක්ෂණය කර ඇති ලා-නීනියා කාලවල ලංකාවේ උෂ්ණත්ව අගයන් අධ්‍යයනය කිරීමේදී සාමාන්‍ය උෂ්නත්වයන්ට සාපේක්ෂව දිවයිනපුරාම පාහේ උෂ්ණත්වය අඩු බවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය වඩාත් වැඩි හැකියාවක් සහිත බව 03 රූපයේ පවතින දත්ත අනුව පැහැදිලි වේ.

ලංකාවේ දිස්ත්‍රික්ක අනුව මෝසම් කාලගුණයෙන් විවිධ ආකාරයේ වර්ෂාපතන රටාවන් පෙන්වන අතර නිරිතදිග මෝසමෙන් ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි නිර්මාණය කරයි. ඒ අනුව සාමාන්‍යයෙන් මෝසම් කාලයේ වැඩි වැසි සහිත දිස්ත්‍රික්ක කිහිපයක් ලෙස බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක හඳුනා ගත හැකියි.


04 රූපය : 1950-2023 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත අනුව ජුලි මාසයේ පැවති ලා-නීනියා අවස්ථාවන්වලදී, දීර්ඝ කාලීන(1950-2023) සාමාන්‍යයට සාපේක්ෂව වර්ෂාවේ විචලනය(වම්පස අක්ෂය) මි.මී. වලින් සහ වර්ෂාවේ විචලනය සාමාන්‍ය වර්ෂාවේ ප්‍රතිශතයක් ලෙස(දකුණුපස අක්ෂය.)

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින වර්ෂාපතන මධ්‍යස්ථාන දත්ත අනුව පසුගිය අවුරුදුවල ජුලි ලා-නීනියා කාලවලදී පැවති වැසි Anomaly අගයන් දෙස බැලීමේදී එම කාලය තුළ තරමක වැසි වැඩි වීමක ලක්ෂණයක් පෙන්වූවත් ලා-නීනියා අවස්ථාවක කොළඹ දිස්ත්‍රික්කයේ වැසි නිශ්චිත වශයෙන්ම වැඩිවන බව පැවසීමට තරම් එය ප්‍රභල සහ සම්බන්ධයක් සහිත නොවේ.


05 රූපය : 1950-2023 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත අනුව ජුලි මාසයේ පැවති ලා-නීනියා අවස්ථාවන්වලදී, දීර්ඝ කාලීන(1950-2023) සාමාන්‍යයට සාපේක්ෂව වර්ෂාවේ විචලනය(වම්පස අක්ෂය) මි.මී. වලින් සහ වර්ෂාවේ විචලනය සාමාන්‍ය වර්ෂාවේ ප්‍රතිශතයක් ලෙස(දකුණුපස අක්ෂය.)


06 රූපය : 1950-2023 දක්වා කළුතර දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත අනුව ජුලි මාසයේ පැවති ලා-නීනියා අවස්ථාවන්වලදී, දීර්ඝ කාලීන(1950-2023) සාමාන්‍යයට සාපේක්ෂව වර්ෂාවේ විචලනය(වම්පස අක්ෂය) මි.මී. වලින් සහ වර්ෂාවේ විචලනය සාමාන්‍ය වර්ෂාවේ ප්‍රතිශතයක් ලෙස(දකුණුපස අක්ෂය.)

බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක වන ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක දෙස බැලීමේදීද කොළඹ ආකාරයේම වර්ෂාපතන රටාවක් පෙන්නුවත් කළුතර දිස්ත්‍රික්කයේ වැසි anomaly අගයන්ගේ වැඩි වීමක ලක්ෂණයක් ඇති බව දකින්න පුළුවන්. ඒ අනුව ජුලි මාසයේ පවතින ලා-නීනියා කාලවලදී කළුතර දිස්ත්‍රික්කයේ තරමක වැසි වැඩි තත්වයන් නිරීක්ෂණය වී ඇති බව 06 රූපය අනුව පෙනී යයි.

07 රූපය : 1950-2023 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත අනුව ජුලි මාසයේ පැවති ලා-නීනියා අවස්ථාවන්වලදී, දීර්ඝ කාලීන(1950-2023) සාමාන්‍යයට සාපේක්ෂව වර්ෂාවේ විචලනය(වම්පස අක්ෂය) මි.මී. වලින් සහ වර්ෂාවේ විචලනය සාමාන්‍ය වර්ෂාවේ ප්‍රතිශතයක් ලෙස(දකුණුපස අක්ෂය.)

ගාල්ල දිස්ත්‍රික්කයේද දත්ත අනුව වර්ෂාපතනයේ විචලනයන්ගේ නිශ්චිත රටවක් හඳුනාගත නොහැකි උවත් සාමාන්‍ය වර්ෂාපතනය මෙන් දෙගුණයටත් (200%) එහා වැසි ඇතිවී තිබෙන අවස්ථාවන් තුනක් ලා-නීනියා තත්ත්වයන් යටතේ ලැබී ඇති බව 07 රූපයේ දැක්වේ. නමුත් මාතර දිස්ත්‍රික්කයේ මෙය එතරම් නිශ්චිත අයුරින් හඳුනාගැනීමට තරම් දත්ත ප්‍රමාණවත් නොවේ. දීර්ඝ කාලීන දත්ත දෙස බැලීමේදී මාතර දිස්ත්‍රික්කයේ ජුලි මාසයේ වැසි විචලනයේ යම් අඩුවක් 08 රූපයෙන් හඳුනාගත හැකියි.

08 රූපය : 1950-2023 දක්වා මාතර දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත අනුව ජුලි මාසයේ පැවති ලා-නීනියා අවස්ථාවන්වලදී, දීර්ඝ කාලීන(1950-2023) සාමාන්‍යයට සාපේක්ෂව වර්ෂාවේ විචලනය(වම්පස අක්ෂය) මි.මී. වලින් සහ වර්ෂාවේ විචලනය සාමාන්‍ය වර්ෂාවේ ප්‍රතිශතයක් ලෙස(දකුණුපස අක්ෂය.)

සබරගමුව පළාතේ වැසි තත්ත්වයන් සහ ලා නීනියා සංද්ධිය අතර පවතින සම්බන්ධතාවය විමසීමේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ලා-නීනියා අවස්ථාවන්වල සාමාන්‍ය වැසි ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රමාණ වලින් වැසි ඇතිවීමේ යම් සුලබ බවක් පෙනී යයි. නමුත් මෙය රත්නපුර දිස්ත්‍රික්කය සම්බන්දයෙන් එතරම් සත්‍ය නොවන බව 10 රූපය නිරීක්ෂණය කිරීමෙන් කිව හැකියි. එහි දත්ත අනුව ලා නීනියා පරිච්ඡේද වලදී පවතින වැසි විචලතාවයේ යම් අඩුවක් රත්නපුර දිස්ත්‍රික්කයේ දත්ත මගින් හඳුනා ගත හැකියි.

09 රූපය : 1950-2023 දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත අනුව ජුලි මාසයේ පැවති ලා-නීනියා අවස්ථාවන්වලදී, දීර්ඝ කාලීන(1950-2023) සාමාන්‍යයට සාපේක්ෂව වර්ෂාවේ විචලනය(වම්පස අක්ෂය) මි.මී. වලින් සහ වර්ෂාවේ විචලනය සාමාන්‍ය වර්ෂාවේ ප්‍රතිශතයක් ලෙස(දකුණුපස අක්ෂය.)



10 රූපය : 1950-2023 දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත අනුව ජුලි මාසයේ පැවති ලා-නීනියා අවස්ථාවන්වලදී, දීර්ඝ කාලීන(1950-2023) සාමාන්‍යයට සාපේක්ෂව වර්ෂාවේ විචලනය(වම්පස අක්ෂය) මි.මී. වලින් සහ වර්ෂාවේ විචලනය සාමාන්‍ය වර්ෂාවේ ප්‍රතිශතයක් ලෙස(දකුණුපස අක්ෂය.)


පසුගිය ජුනි-24 දින ඇමෙරිකාවේ National Centers for Environmental Prediction (NCEP) ආයතනය විසින් නිකුත් කරනලද වාර්තාවේ දැක්වෙන ගෝලීය ආකෘති අනාවැකි අනුව පැසිෆික් සාගර කලාපයේ ENSO දැනට පවතින නිෂ්ක්‍රීය තත්ත්වය, ලානීනියා මට්ටම දක්වා ඉදිරි මාසවල ගමන් කිරීමේ වැඩි හැකියාවක් ඇති අතර එය ලා-නීනියා වශයෙන් ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල පැවතීමේ හැකියාව 65%ක් බව තවදුරටත් දක්වයි.

11 රූපය : 2024 ජුනි මස 20 දින International Research Institute for Climate and Society (IRI) ආයතනය විසින් නිකුත් කරන ලද ENSO අනාවැකිය.


දිවයිනේ මෝසම කෙරෙහි බලපෑම් කරන තවත් එක් වැදගත් සංසිද්ධියක් වනුයේ ඉන්දියන් සාගර ඩයිපොල (Indian Ocean Dipole - IOD) තත්ත්වයයි. කෙසේ වෙතත් 2024 ජුලි සහ ඉදිරි මාස කිහිපය සඳහා IOD නිෂ්ක්‍රීය මට්ටමේම පවතිනු ඇතිබව ඕස්ට්‍රේලියාවේ Bureau of Meteorology ආයතනය විසින් නිකුත් කරනලද අනාවැකියේ සඳහන් වේ. එබැවින් මෙවර ජුලි කාලගුණය සඳහා එහි බලපෑම අවම වනු ඇති බව සිතන්න පුළුවන්.
12 රූපය : 2024 ජුනි මස 22 දත්ත මත පදනම් වෙමින් ඉන්දියන් සාගර ඩයිපොලය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ Bureau of Meteorology ආයතනය මගින් නිකුත් කරනලද අනාවැකිය.

නවතම තත්ත්වයන්ගේ නිරීක්ෂණයන් මත යුරෝපයේ ECMWF ආයතනය විසින් ඉදිරි සති 4 සඳහා නිකුත් කරන ලද වැසි Anomaly අනාවැකි 12 රූපයේ දැක්වේ. ඔවුන්ගේ අනාවැකි අනුව ජුලි පළමු සතියේ වැසි වෙනත් වසරවල ජුලි පළමු සතියේ වැසිවලට සාපේක්ෂව අඩු මට්ටමක් විය හැකි බවත් මාසයේ සෙසු සති 3හි අනාවැකි බොහෝ විට සංඛ්යනාත්මක වශයෙන් නිශ්චිත නොවන (Statistically insignificant - සුදු පැහැ සිතියම්) බවත් දක්වා තිබේ.


13 රූපය : 2024-06-29 දත්ත අනුව ජුලි මාසය සඳහා ECMWF ආයතනය විසින් නිකුත් කරනලද සතිපතා අනාවැකිය.


නිගමන:

ENSO සහ IOD යනු ලංකාවේ දේශගුණය හැසිරීමේ විචලතාවයන් කෙරෙහි බලපෑම් කරනු ලබන ප්‍රමුඛතම සංසිද්ධීන් වේ. ඒ අනුව දිවයිනේ සාමාන්‍ය දේශගුණය ඒ ඒ සංසිද්ධීන්ගේ විවිධාකාර මුහුණුවර යටතේ අධ්‍යයන කර ඇති අතර ජුලි මාසයේ ලා-නීනියා පවතින කාල ප්‍රාන්තර වලදී ලංකාවේ වැසි තත්ත්වයේ යම් වැඩි වීමක් සහ උෂ්ණත්වයේ යම් අඩු වීමක් හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් දත්ත අනුව පැහැදිළි වනුයේ ලා-නීනියා පැවතියද ඇතැම් වසරවල ජුලි මාස වලදී වර්ෂාපතනයන් දැඩි අපගමනය වීම් වලට ලක්ව ඇති බවයි. එනම්, ඇතැම් අවස්ථාවක සාමාන්‍ය වැස්සෙන් 20%පමණ ලැබී ඇති අවස්ථා වගේම තවත් අවස්ථාවල 250%පමණ අධික වැසි ලැබී ඇති තත්ත්වයන්ද නිරීක්ෂණය වී ඇත. මෙහිදී සත්‍ය වශයෙන්ම ලා නීනියා සමගින් තවත් සංසිද්ධීන්ගේ බලපෑම යටතේ එවන් තත්ත්වයන් නිර්මාණය වී ඇති බව සිතන්න පුළුවන්. නමුත් මෙම ලිපිය එවන් "වෙනත්" තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමක් සිදු නොකරයි.

ගෝලීය දත්ත නිරීක්ෂණ සහ අනාවැකි අනුව සමස්තයක් වශයෙන් ගත්කල 2024 ජුලි මස වර්ෂාපතනය දීර්ඝකාලීන වැසි මට්ටමට ආසන්නව හෝ තරමක් වැඩි වීමේ හැකියාව තවදුරටත් පවතින බව සඳහන් කළ හැකියි. එලෙසම උෂ්ණත්වයේ අඩුවක් පැවතිය හැකියි.

කෙසේ වෙතත් මෝසම පුරාම නිරීක්ෂණය කල හැකි පරිදි ජුලි මාසයේදීත් තාවකාලිකව දින කිහිපයක් බැගින් පැවතිය හැකි "මෝසම් සක්‍රීය" වීම් අනුව ආන්තික වැසි තත්ත්වයන් නිර්මාණය විය හැකි බැවින් ඒ පිළිබඳව අවදානයෙන් පසුවිය යුතු අතර එවැනි පැන නැගීම් ගැන වඩාත් නිවැරදි අනාවැකි කිවහැකි වන්නේ අදාළ අවස්ථාවට දින 5-2 පමණ පෙර බැවින් කෙටිකාලීන අනාවැකි අනුව වැඩ කටයුතු සකස් කරගැනීම සිදු කළ යුතුය.

සටහන:
ලංකාවේ කාලගුණය/දේශගුණය හැසිරවීමේ වඩාත් ප්‍රමුඛ ස්ථානයන් ENSO සහ IOD හිමිකර ගනී. කෙසේ වෙතත් MJO සහ සුළිකුණාටු සංසිද්ධීන්ගේ පැනනැගීම් මත ENSO සහ IOD බලපෑම යටපත්ව දිවයිනේ කාලගුණය වෙනස් වීම් පැවතිය හැකි බැවින් ඉහත අනාවැකි ඉදිරි කාලය පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට භාවිතා කිරීම යෝග්‍ය වේ.

මුලාශ්‍ර:
www.meteo.gov.lk
www.cpc.ncep.noaa.gov
www.bom.gov.au
www.ecmwf.int

0 Comments