2025 නිරිතදිග මෝසම් නිල අනාවැකිය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෝසම් අනාවැකිය ජනගත කිරීම වෙනුවෙන් සෑම වසරකටම දෙවතාවක් මෝසම් කතිකාවත පවත්වනු ලබන අතර මෝසම් අනාවැකිය සැකසීමට දේශීය මෙන්ම ජාත්‍යන්තර සහයද ලබා ගනී. පසුගිය මැයි 02 දින 32 වන මෝසම් කතිකාවත පැවැත්විණ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනුයේ එහිදී එළිදක්වන ලද 2025 නිරිතදිග මෝසම් අනාවැකියේ සඳහන් වූ තත්ත්වයන් සාකච්ඡා කිරීමයි.
මෝසම් දේශගුණික කලාපීයේ රටවල් වීම හේතුවෙන් දකුණු ආසියානු රටවල් බොහොමයක දේශගුණ විචලනයන්ගේ සමානකම් දකින්න පුළුවන්. මේ හේතුව නිසා ඉන්දියාව, බංගලාදේශය, මියන්මාරය, ඇෆ්ගනිස්තානය, පකිස්තානය, මාලදිවයින, භූතානය සහ නේපාලය සමගින් ශ්‍රී ලංකාව "South Asian Climate Outlook Forum (SASCOF) and Climate Services User Forum (CSUF)" වැඩසටහනට සම්බන්ධ වෙයි. මෙවර 31 වන SASCOF වැඩසටහන පසුගිය අප්‍රේල් 28-30 දිනවල ඉන්දියාවේ පූනේහිදී පැවැත්වුනා. මේ සඳහා සහය ලබාදෙන ජාත්‍යන්තර සංවිධාන ලෙස ලෝක කාලගුණ සංවිධානය (WMO), WMO Regional Climate Centre(RCC) Pune, Indian Institute of Tropical Meteorology (IITM), එක්සත් රාජධානියේ Met Office (UKMO), ඇමෙරිකාවේ National Center for Environmental Prediction (NCEP), International Research Institute for Climate and Society (IRI), Regional Integrated Multi-hazard Early-warning System (RIMES), Japan Meteorological Agency (JMA), WMO Lead Centre of Seasonal Prediction, Korean Meteorological Agency යන ආයතන දක්වන්න පුළුවන්.
කාලගුණික සහ දේශගුණික විශේෂඥයින්ගේ විශ්ලේෂණ අනුව ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ පැවතිය හැකි මෝසම් ඍතු පුරෝකථනය සැකසී ඇත. 01 රූපයේ දැක්වෙන එම SASCOF අනාවැකිය අනුව දකුණු ආසියාවේ බොහෝ ප්‍රදේශවලට මෙවර සාමාන්‍ය දේශගුණික වර්ෂාපතනයට සාපේක්ෂව වැඩි වැසි අපේක්ෂා කර ඇති බව දැකිය හැකියි.
මාසික හෝ ඍතු අනාවැකි සැකසීම සඳහා, ගෝලීය වශයෙන් දේශගුණික ලක්ෂණ විචලනයන් කෙරෙහි පලපෑම් සිදුකරන ප්‍රධාන සංසිද්ධීන් කීපයක හැසිරීම අධ්‍යයනය කරයි. ඒ අතරින් එල් නීනියෝ දක්ෂිණ දෝලනය (El-Nino Southern Oscillation - ENSO), ඉන්දියානු සාගර ඩයිපෝලය (Indian Ocean Dipole - IOD), උත්තර ද්‍රැවයේ අයිස්/හිම ස්ථර වැස්ම වැනි සංසිද්ධි වගේම පසුගිය වර්ෂාපතන රටාවන් විශ්ලේෂණය කරමින් නිරිතදිග මෝසම් අනාවැකිය සකස් කිරීම විශේෂයි. වර්තමාන දත්ත අනුව ENSO සහ IOD නිෂ්ක්‍රීය මට්ටක පවතින අතර පුරෝකතන අනුව මෝසම් කාලය පුරා නිෂ්ක්‍රීය ස්වභාවයක් ගනු ඇති බව දකින්න පුළුවන්.
02 රූපය: 2025 මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා කා.වි.දෙ. මගින් නිකුත්කරන ලද වර්ෂාපතනය පිලිබඳ අනාවැකිය
SASCOF අනාවැකිය සහ නවතම නිරීක්ෂණ දත්ත අනුවත් දිවයිනෙ නිරිතදිග ප්‍රදේශවල මෝසම් කාලයේ සමස්ත වර්ෂාපතනය, සාමාන්‍ය මෝසම් වර්ෂාපතනයට වඩා අඩු වීමේ යම් හැකියාවක්ද, ගිණිකොනදිග ප්‍රදේශ සහ නැගෙනහිර ප්‍රදේශ සාමාන්‍යය මෝසම් වර්ෂාවක් සහ සෙසු ප්‍රදේශවල මෝසම් කාලයේ වර්ෂාපතනයට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් ලැබීමේ යම් හැකියාවක් පවතින බවත් කා.වි.දෙ. විසින් නිකුත් කරනලද, 02 රූපයේ දැක්වෙන, මෝසම් අනාවැකියේ දක්වා ඇත.
03 රූපය: 2025 මැයි, ජුනි සහ ජුලි මාස සඳහා කා.වි.දෙ. මගින් නිකුත්කරන ලද මාසික වර්ෂාපතනය පිලිබඳ අනාවැකි.
03 රූපයේ වර්ෂාපතන අනාවැකි සිතියම්වලින් පෙනෙන ආකාරයට මැයි මාසයේ නිරිතදිග ප්‍රදේශවල සාමාන්‍ය මාසික වර්ෂාවට සාපේක්ෂව වැඩි වැසි සහ සෙසු ප්‍රදේශවල සාමාන්‍ය වැසි ප්‍රමාණයක් පැවතීමේ හැකියාවක් ඇති බවත්, ජුනි මාසයේදී උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පලාත්වල සාපේක්ෂව වැඩි වැසි සහ සෙසු ප්‍රදේශවල අඩු වැසි පැවතීමේ හැකියාවක් පවතින බවත්, ජුලි මාසයේදී උතුරු පළාතෙත්, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැඩි වැසි ප්‍රමාණයන් සහ කොළඹ, කළුතර සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල සාපේක්ෂව අඩු වැසි ප්‍රමාණයන් වගේම සෙසු ප්‍රදේශවල අනාවැකිය වඩාත් අවිනිශ්චිත බවත් සඳහන් වේ.
මෝසම ආරම්භ වීම වෙනත් වසරවල පවතින සාමාන්‍ය අයුරින් මැයි අග සතියේ සිදුවීමේ වැඩි හැකියාවක් පවතින බව මෝසම් කතිකාවේදී සඳහන් වූ අතර අවසන් වීම ඔක්තෝම්බර් මුල සිදුවිය හැකි බව තවදුරටත් සඳහන් විය.
04 සහ 05 රූපවල දැක්වෙන SASCOF උෂ්ණත්ව අනාවැකි අනුව මෙවර, අළුයම් කාලයේ අවම උෂ්ණත්වයත්, දහවල් කාලයේ උපරිම උෂ්ණත්වයත් වසරේ සාමාන්‍යයෙන් පවතින උපරිම සහ අවම උෂ්ණත්ව අගයන්ට සාපේක්ෂව තරමක වැඩි ස්වභාවයක් ගනුඇති බව දක්වා ඇත.
සමස්තයක් ලෙස 2025 නිරිතදිග මෝසම සඳහා දුර්වල මෝසම් ලක්ෂණ, අඩු සම්භාවිතාවක් යටතේ පුරෝකථනය වී ඇති අතර මැයි අග සහ ජුලි මුල බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල අඩු පීඩන කලාප/ පීඩන අවපාත/සුළිකුණාටු තත්ත්වයන්ගේ ඇතිවීමක ඉඟියක්ද ලබා දෙයි.
මෙම අනාවැකි ඉදිරිපත් කරමින් කා.වි.දෙ. විසින් තවදුරටත් සිය සේවා ලාභීන්ගෙන් ඉල්ලා සිටිනුයේ, විවිධාකාර කෙටිකාලීන කාලගුණික සංසිද්ධීන්ගේ පැනනැගීම හේතුවෙන් ඍතු අනාවැකිවල අවිනිශ්චිතතාවයන් අධික විය හැකි බැවින් ආන්තික කාලගුණික තත්ත්වයන් වගේම අනෙකුත් විචලනයන් පිළිබඳවත් වඩා නිවැරදි අනාවැකි දැනගැනීමට දිනපතා, සතිපතා සහ මාස්පතා යාවත්කාලීනවන අනාවැකි පරිශීලනය කරන ලෙසයි.
මලිත් ප්‍රනාන්දු
කාලගුණ විද්‍යාඥ
ජාතික කාලගුණ මධ්‍යස්ථානය
කොළඹ.
0 Comments