2023 අගෝස්තු වනවිට පැවති දැඩි නියං ස්වභාවය වගේම අගෝස්තු අග ආරම්භ වූ වර්ෂාව මේ වනතෙක්ම අඩු වැඩි වෙමින් මාස තුනකට වඩා වැඩි කාලයක් පැවතුනි. 2023 මැයි මාසයේ ආරම්භවූ එල්නීනියෝ තත්ත්වය සහ 2023 අගෝස්තු සිට ආරම්භ වූ ඉන්දියන් සාගර ද්වී ද්‍රැවයේ (Indian Ocean Dipole - IOD) ධන (Pisitive IOD) ස්වභාවය විසින් මෙය වඩාත් තීව්‍ර කරනු ලැබුවා.
පසුගිය දිනවල දිවයිනේ
විවිධ මාධ්‍ය ආයතන විසින් කා.වි.දෙ. සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපුටා දක්වමින්
"යල කන්නයේ දැඩි නියඟයක්" ඇතිවන බවට පුරෝකථනය කර ඇති බව කියා සිටියා. වැහි පිට තද වැහි වැටෙමින් කිහිප වතාවක් වැපිරීමෙන් සිය වගාවන් විනාශ වී ගිය පසුව නැවතත් සිය වගාවන් ආරම්භ කල වී ගොවියන් ඇතුළු ගොවීන් මෙවැනි පුවත් පිළිබඳව වඩාත් කලබලවීම සාමාන්‍ය තත්ත්වයක්. කෙසේ වෙතත් දැනට පවතින දත්ත දෙස බැලීමේදී එවන් තත්ත්වයක් පිළිබඳව නිශ්චිත වීමට තරම් අවකාශයක් නොමැති බව පෙනී යයි.
මේ ලිපියේ අරමුණ වනුයේ 2023-2024 ඊසානදිග මෝසමට අයත් දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවතිය හැකි දේශගුණ තත්ත්වය කෙරෙහි ගෝලීය පද්ධති විසින් ඇතිකළ හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් ENSO සහ IOD මගින් සිදුවිය හැකි බලපෑම සලකාබලනු ලැබේ.
අනාවැකි මොකද කියන්නෙ ?
ගෝලීය අනාවැකි සපයන ප්‍රධානපෙලේ ආයතන විසින් මේ වනවිට නිකුත් කර ඇති අනාවැකි අනුව 2024 මාර්තු වන විටත් එල්නීනියෝ තත්ත්වය පැවතිය හැකි බව 02 රූපයෙන් දකින්න පුළුවන්. ඒ අනුව එල්නීනියෝ, ඉදිරි මාස හතරේදීත් ගෝලීය දේශගුණය හසුරුවන මූලික සාධකය වනුඇති.
02 රූපය: ගෝලීය අනාවැකි සපයන ආයතන විසින් 2023 දෙසැම්බර් සිට 2024 මාර්තු දක්වා පුරෝකථනය කර ඇති ENSO අනාවැකි. (a) දෙසැම්බර් මාසය. (b) ජනවාරි මාසය. (c) පෙබරවාරි මාසය සහ (d) මාර්තු මාසය.
දෙසැම්බර් මාසය සඳහා ඉන්දියන් සාගරයේ IOD තත්ත්වය ධන(+) වියහැකි බව සියලුම අනාවැකි ආයතන පාහේ පුරෝකථනය කරන අතර ජනවාරි මාසයේ Meteo France ආයතනය පමණක් IOD නිෂ්ක්‍රීය වනු ඇතිබවට අනාවැකි දක්වයි. නමුත් සෙසු ආයතන සියල්ල අනුව IOD ධන අගයේම පවතිනු ඇති බව සඳහන් වේ. පෙබරවාරි සහ මාර්තු මාසවලදීත් එක් ආයතනයක් හැර සෙසු ආයතන සියල්ලේම අනාවැකි අනුව IOD නිෂ්ක්‍රීය වනු ඇති බව සිතන්න පුළුවන්.
03 රූපය: ගෝලීය අනාවැකි සපයන ප්‍රධානපෙළේ ආයතන විසින් 2023 දෙසැම්බර් සිට 2024 මාර්තු දක්වා පුරෝකථනය කර ඇති IOD අනාවැකි. (a) දෙසැම්බර් මාසය. (b) ජනවාරි මාසය. (c) පෙබරවාරි මාසය සහ (d) මාර්තු මාසය.
සමස්තයක් වශයෙන් ගත්කල ලංකාවේ ඊසානදිග මෝසම බලපැවැත්වෙන දෙසැම්බර් සහ ජනවාරි මාස ද්විත්වය කෙරෙහි එල්නීනියෝ සහ ධන IOD තත්ත්වයන් බලපෑම් කරනු ඇති බවත් පෙබරවාරි මාසයේදී IOD නිෂ්ක්‍රීය වීමට වඩාත් ඉහල හැකියාවක් පවතින බැවින් ගෝලීය වශයෙන් එල්නීනියෝහි බලපෑම පමණක් පැවතිය හැකි බවත් සිතන්න පුළුවන්.
පසුගිය වසර 70ක දත්තවලින් කියන කතාව මොකද්ද?
යුරෝපීය ECMWF ආයතනය විසින් සකස් කරනලද 1951 සිට 2022 දක්වා පසුගිය වසරවල වැසි සහ උෂ්ණත්ව දත්ත යොදා ගනිමින් එම කාලය තුල ඊසානදිග මෝසම් කාලයේදී එල්නීනියෝ සහ ධන IOD නිසා ඇතිවී තිබෙන වර්ෂාවේ සහ උෂ්ණත්වයන්ගේ විචලනය පිළිබඳව විශ්ලේෂණය කරන ලදී. කෙසේ වෙතත් මෙම මුල් දත්ත, භුමියේ මනින ලද නිරීක්ෂණ දත්ත හා 100%ක් සමපාත නොවුනත් දේශගුණික රටාවන් හඳුනා ගැනීම සඳහා ඒවා වඩාත් ප්‍රතිපලදායක වේ.
04 රූපය - දෙසැම්බර් මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ධන IOD ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ධන IOD ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
දෙසැම්බර් මාසයේ ලංකාවේ වැසි නිරීක්ෂණ විශ්ලේෂණයේ දැක්වෙන පරිදි 04 රූපයේ (a) සිතියම අනුව එල්නීනියෝ අවස්ථාවන්වල ලංකාවෙ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය වැසි වලට සාපේක්ෂව වැසි වැඩි බවක් පෙනී යයි. මීට ප්‍රතිවිරුද්ධව ධන IOD තත්ත්වය නිසා දිවයිනේ වැසි අඩුවී ඇති බවක් දකින්නත් පුළුවන්. නමුත් විශේෂත්වය වන්නේ බස්නාහිර පළාතේ සහ කෑගල්ල මහනුවර වැනි දිස්ත්‍රික්කවල වැසි වැඩි බවක් නිරීක්ෂණය වී තිබීමයි. වර්තමාන එල්නීනියෝ සහ IOD තත්ත්වයන් ද්විත්වයම විසින් බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැසි වැඩි කිරීමට හේතු වියහැකි බව ඒ අනුව පෙනේ. මෙම සංසිද්ධීන් ද්විත්වයම උෂ්ණත්වය කෙරෙහි සමාන බලපෑම් ඇතිකරමින් එය සාමාන්‍ය අගයට වඩා වැඩි කිරීමට සමත්ව ඇති බව 04.(c) සහ 04.(d) දක්වයි.

05 රූපය - ජනවාරි මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ධන IOD ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ධන IOD ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
එල්නීනියෝ නිසා පැවති වැසි සහිත බව වෙනස් වෙමින් ජනවාරි මාසයේ සාමාන්‍ය වැස්සට සාපේක්ෂව අඩු වැසි ලැබී ඇති බවක් දක්නට ලැබුනත් 05.(b) රූපයට අනුව ධන IOD විසින් වැසි වැඩි වීම් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අනුව බස්නාහිර සබරගමු සහ ඌව වැනි පළාත් හැරුණකොට සෙසු ප්‍රදේශවල සාමාන්‍ය වැසි තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති බව පැහැදිලිවේ. 05.(c) සහ 05.(d) සිතියම්වල දැක්වෙන පරිදි උෂ්ණත්වයන් සාපේක්ෂව වැඩි අගයන්වල පැවතී ඇති බව තවදුරටත් දකින්න පුළුවන්.
06 රූපයේ දැක්වෙන්නේ ඊසානදිග මෝසමේ අවසන් මාසය ලෙස ගැනෙන පෙබරවාරි මාසයේදී එල්නීනියෝ සහ ධන IOD නිරීක්ෂිත අවස්ථාවන්වලදී වැසි සහ උෂ්ණත්වයන්ගේ විචලනයන්ය. එල් නීනියෝ පැවති අවස්ථා වලදී වැසි සාපේක්ෂව අඩුවෙන් වාර්තා වී ඇති අතර නැගෙනහිර පළාත හැරුණකොට සෙසු ප්‍රදේශවල උෂ්ණත්වයන් සාමාන්‍යයට සාපේක්ෂව වැඩි බවක් දකින්න පුළුවන්.
06 රූපය - පෙබරවාරි මාසයේදී (a) එල්නීනියෝ ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (b) ධන IOD ඇතිවිට වැසි ඇනෝමලි(Anomaly) අගයන් මි.මී. වලින්. (c) එල්නීනියෝ ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින්. (d) ධන IOD ඇතිවිට උෂ්ණත්වයේ ඇනෝමලි(Anomaly) අගයන් සෙල්සියස් අංශක වලින් දක්වා ඇත.
සැ.යු.
පෙබරවාරි මාර්තු මාසවලදී සාමාන්‍යයෙන් ධන IOD අවස්තාවන් පැවතීම ඉතාමත් අවම වන අතර 06.(b) සහ 06.(d) හි දැක්වෙන ධන IOD අවස්ථාවන්ට අදාළ සිතියම්හි පෙනෙන පරිදි විශ්ලේෂණ ලැබී ඇත්තේ 1951-2022 දක්වා ධන IOD එක් අවස්ථාවකින් පමණක් බැවින් එම විශ්ලේෂණ භාවිතයෙන් IOD පෙබරවාරි මාසයේ වැසි/උෂ්ණත්වය කෙරෙහි ඇතිකරනු ලබන බලපෑම නිගමනය කළ නොහැක.
එතකොට නියඟයක් එනවද? නැද්ද?
ඊසානදිග මෝසමේ මාස තුනක පමණ කාලය තුළ දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරන ප්‍රධාන සංසිද්ධි දෙකක් ගැන මෙම ලිපියේ සාකච්ඡා කළ මුත් මෝසම් වැස්ස හෝ මෝසම් කාලයේ උෂ්ණත්වය කෙරෙහි බලපාන සාධක විශාල ප්‍රමාණයක් පවතී. ENSO සහ IOD යනු දිගු කාලීන බලපෑම් ඇතිකරන සාධක වන අතර කෙටි කාලීනව බලපෑම් ඇති කරන සාධක ලෙස සුළි කුණාටු, මැඩන්-ජුලියන් දෝලනය සහ විවිධාකාර නැගෙනහිර තරංග හඳුන්වන්න පුළුවන්. මෙම කෙටි කාලීන සංසිද්ධීන්ගේ පැන නැගීම් ගැන දිගුකාලීන අනාවැකි, එනම් ඒවා ඇතිවීම හෝ නැතිවීම ගැන මාසයකට හෝ මාස කිහිපයකට කලින් පුරෝකථනය කල නොහැක.
කෙසේ නමුත් "නියඟයක් ඒවිද?" කියන පැණය ගැන අවධානය යොමු කළහොත් කියන්න වෙන්නෙ, දැනට පවතින දත්ත භාවිතයෙන් කළ විශ්ලේෂණ අනුව ඊසානදිග මෝසමේ නියඟයක් පැවතීමේ හැකියාව, එනම් යල කන්නයේ නියඟයක් පැවතීමේ හැකියාව අවම බවයි. විශේෂයෙන්ම දෙසැම්බර් සහ ජනවාරි සාමාන්‍ය පරිදි වැසි ලැබීමේ සැලකිය යුතු හැකියාවක් පවතී. පෙබරවාරි මාසයේ වැසි තත්ත්වයෙ අඩුවක් පැවතිය හැකි වුවත් දීර්ඝව පැවති වැසි හේතුවෙන් "නියඟයක්" ලෙස තත්ත්වයන් සකස් වීම වඩාත් අඩු හැකියාවක් සහිතබව පැවසිය හැකියි.
පෙබරවාරි මාසයේ වැස්ස තරමක් අඩු විය හැකි ආකාරයේ අනාවැකි දැනට පවතින බැවින් ඒ සඳහා සුදානම් වීම වෙනුවෙන් දෙසැම්බර් සහ විශේෂයෙන් ජනවාරි මාසයේ ජලය නිසි ලෙස කළමනාකරණය කරගැනීම මගින් පෙබරවාරි මාසයේ පැවතිය හැකි වැසිවල තරමක අඩු ස්වභාවය හේතුවෙන් සිදුවිය හැකි යම් ආකාරයක ජලය හිඟවීම්වලට සාර්ථකව මුහුණ දීමට හැකිවනබව මගේ අදහසයි. තවද පෙරසූදානම් වීම වෙනුවෙන් වඩාත් යාවත්කාලීන අනාවැකි පරිශීලනය කිරීමත් ඉතාමත් වැදගත් වන බවත් සඳහන් කළ යුතු වේ.
මේ පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
මුලාශ්‍ර:
ENSO and IOD forecasts: http://www.bom.gov.au
Rainfall and Temperature Data: ERA5 monthly reanalysis from www.ecmwf.int
ENSO data: https://origin.cpc.ncep.noaa.gov
IOD data: https://psl.noaa/gov
Calculations and Plotting: CDO Python Excel and GrADS
1 Comments
Great job!
ReplyDelete