වසරේ සාමාන්‍ය දේශගුණ තත්වයන් යටතේ මැයි මස සිව්වන සතියේ පමණ සිට දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීම දකින්න පුළුවන්. 2021 වසරේ ජුලි මස සිට වසර තුනක පමණ කාලයක් පැවති ලා-නීනියා(La Niña) කාලය අවසාන වීමත් සමගම පසුගිය මාර්තු මාසයේ පැසිෆික් සාගරයේ සීඝ්‍රයෙන් වර්ධනය වන එල්නීනියෝ(El Niño) තත්වයත් සමගම මෙවර නිරිතදිග මෝසම ජුනි දෙවන සතියේ ආරම්භ වූ අතර එය සාමාන්‍ය තත්වයට සාපේක්ෂව සති දෙකක පමණ පසු ස්ථාපිත වීමක් වේ.


ගෝලීය වශයෙන් සලකනකල මෙවර මෝසම කෙරෙහි ‍ප්‍රධාන වශයෙන් බලපෑම් කළ හැකි යාන්ත්‍රණ දෙකක් දකින්න පුළුවන්. පැසිෆික් සාගරයේ තවදුරටත් වර්ධනය වෙමින් පවතින එල් නීනියෝ(El Niño) තත්ත්වය සහ ඉන්දියන් සාගරයේ වර්ධනය වෙමින් පවතින ධන(+) ඉන්දීය සාගර ඩයිපෝලය(Indian Ocean Dipole - IOD) එම තත්වයන් ද්විත්වයයි


මොනවද මේ එල්නීනියෝ(El Niño) සහ ඉන්දීය සාගර ඩයිපෝලය(IOD)?

මධ්‍යම පැසිෆික් සාගරය සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ අසමතුලිත උණුසුම් වීම හේතුවෙන් El Niño Southern Oscillation (ENSO) සංසිද්ධිය ඇතිවන අතර එහි ප්‍රධාන ආකාර දෙකක් වෙයි. එල්නීනියෝ සහ ලානීනියා ලෙස එම අවස්ථා දෙක හඳුන්වනු ලබන අතර ENSO තත්ත්වයන් ගෝලීය දේශගුණ පද්ධති කෙරෙහි බලපෑම් ඇති කරයි. ලංකාවේ දේශගුණික තත්වයන් කෙරෙහි මෙහි බලපෑම ලෙස, එල්නීනියෝ අවස්ථාවේ දී දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ සුළං රටාව මත නැගෙනහිර දෙසින් සුළං ප්‍රවාහයක් එකතු කරයි. එසේම ලානීනියා තත්ත්වයේදී එහි විරුද්ධ ආකාරයට බටහිර දෙසින් සුළං ප්‍රවාහයක් එකතු කරයි.


ENSO ආකාරයටම ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වන ඉන්දීය සාගර ඩයිපෝලය (Indian Ocean Dipole - IOD) හඳුන්වාදිය හැකියි. මෙම සංසිද්ධියේත් ධන(+) සහ ඍණ(-) ලෙස ආකාර දෙකක් පවතී. ඉන්දීය සාගර කලාපයේ රටවල් වල දේශගුණයට මෙමගින් බලපෑම් ඇති වන බව සොයාගෙන තිබේ. IOD ධන(+) අවස්ථාවේදී ලංකාවේ පහළ වායු ගෝලයට නැගෙනහිර දෙසින් පැමිණෙන සුළං ප්‍රවාහයක් එකතු කරන අතර (-) අවස්ථාවේදී බටහිර දෙසින් එන සුළං ප්‍රවාහයක් එකතු කරයි.


එල්නීනියෝ සහ IOD ධන(+) ආකාරය මෝසම තුළ ක්‍රියාත්මක වීම මෙවර නිරිත දිග මෝසමට කොහොම බලපාවිද?


නිරිත දිග මෝසම යනු ප්‍රධාන වශයෙන්ම මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 18000ක් පමණ වායුගෝලයේ ඉහලට විහිදුනු සුළං රටාව මගින් දකුණු ඉන්දීය සාගරයේ සහ අරාබි මුහුදේ ජල වාෂ්ප අතිවිශාල ප්‍රමාණයක් රැගෙන මෝසම් කලාපය හරහා ගමන් කිරීමයි. මෙම මෝසම් සුළං දිවයින හරහා ආසන්න වශයෙන් නිරිත/බටහිර දෙසින් එන ආකාරයට ගමන් කරයි. මෝසම් වැහි අපට ලැබෙන්නේ මෙසේ අති විශාල දුරක සිට පැමිණෙන ජලවාෂ්ප මගින් නිර්මාණය වන වලාකුළු මගිනි.  එසේ නම් මෝසම් වැසි නිසි පරිදි ලැබීමට නම් මෝසම් සුළං සක්‍රියව පැවතීම අත්‍යවශ්‍ය කාරණයක්.


ඉහත පැහැදිලි කිරීම අනුව එල්නීනියෝ සහ (+) IOD තත්ත්වයන් ද්විත්වයම හේතුවෙන් නිර්මාණය වන නැගෙනහිරින් හමන සුළං නිසා නිරිත/බටහිර දෙසින් හමා එන මෝසම් සුළං ප්‍රවාහය දුර්වල වීමක් සිදුවේ. එනම් එවැනි අවස්ථාවලදී සාමාන්‍ය මෝසම් වැසි අඩු වීම් නිරීක්ෂණ වේ.


2009 සහ 2023 එල්නීනියෝ 

වසරේ විවිධ කාලවල එල්නීනියෝ සහ (+) IOD තත්ත්වයන් ඇතිවිය හැකි අතර එම  සංසිද්ධීන්ගේ ආරම්භක කාලය සහ එහි තීව්‍රතාව අනුව ලෝකයේ විවිධ රටවල්වල ඇතිවන දේශගුණ තත්වයන් එකිනෙකින් වෙනස්  වේ. අතීත තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී, 2023 මාර්තු මස ආරම්භ වූ මෙවර එල්නීනියෝ අවස්ථාවට සමලක්ෂණ සහිත තත්වයක් 2009 වසරේදී පැවතී ඇත. (කෙසේ වෙතත් එම වසරේ දී මෙවර මෝසම් කාලයේදී මෙන් (+) IOD තත්වයක් නිරීක්ෂණය වී නොමැත.) එබැවින් 2009 වසරේ ලංකාව තුළ පැවති දේශගුණ තත්ත්වය සොයා බැලීම මගින් මෙම වසරේ(2023) නිරිත දිග මෝසම් දේශගුණයේ හැසිරීම පිළිබඳව යම් අදහසක් ලබාගත හැකියි.


1 රූපය - 2009 වසරේ සහ 2023 වසරේ එල්නීනියෝ ආරම්භය සහ වර්ධනය වීම. source : www.bom.gov.au


විශ්ලේෂණ

පහත විශ්ලේෂණ සියල්ල සඳහා European Centre for Medium-Range Weather Forecasts (ECMWF) දත්ත භාවිතා කර ඇත. ගණනය කිරීම සඳහා දේශගුණ මධ්‍යන අගය ලෙස 1990-2020 වසර 30 සලකා ඇත. සිතියම් සැකසීමේදී 2009 නිරීක්ෂණය වී ඇති කාලගුණික පරාමිතීන්ගෙන් දේශගුණ මධ්‍යන්‍ය අගයන් අඩුකර එම වසරේ නිරිතදිග මෝසමේ එක් එක් මාසවල නිරීක්ෂණය වූ අදාළ පරාමිතීන්ගේ අඩු හෝ වැඩි වීම ගණනය කර ඇත.


උෂ්ණත්වය

අගෝස්තු මාසය හැර 2009 මෝසමේ සෙසු මාස වල උෂ්ණත්ව අගයන් සැලකිය යුතු මට්ටමකින්, විශේෂයෙන්ම ඌව නැගෙනහිර ප්‍රදේශවල වැඩි වී ඇත. බස්නාහිර ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා අඩු අගයක් ගෙන ඇති අතර අගෝස්තු මාසය සමස්තයක් වශයෙන් සාපේක්ෂව අඩු උෂ්ණත්ව ස්වභාවයක් දක්වයි.


2 රූපය - 1990-2020 සාමාන්‍ය දේශගුණයට සාපේක්ෂව 2009 වසරේ වාර්තා වී ඇති උෂ්ණත්වයන්ගේ අඩු වැඩි අගයන්(සෙල්සියස් අංශක).


සුළං

මැයි සහ ජුනි මාසවල නිරිත/බස්නාහිර දෙසින් හමන කුඩා සුළං වැඩි වීමක් පවතින අතර විශේෂයෙන් අගෝස්තු මාසයේ සුළං දිශාව සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අතට එනම් නැගෙනහිර දෙසින් පැමිණෙන ආකාරයක් ගෙන ඇත. සැප්තැම්බර් මාසය සැලකීමේදී සාමාන්‍ය මට්ටමට සාපේක්ෂව සැලකිය යුතු වැඩි අගයකින් සුළං වේගයන් ඉහළ ගොස් ඇති බව දිස්වේ.


3 රූපය - 1990-2020 සාමාන්‍ය දේශගුණයට සාපේක්ෂව 2009 වසරේ වාර්තා වී ඇති සුළං වේගය සහ දිශාවන්ගේ අඩු වැඩි අගයන්(පැයට කිලෝමීටර්).

වර්ෂාව

මැයි මාසයේ වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර පළාතේ සැලකිය යුතු වැඩිවීමක් සහ සෙසු ප්‍රදේශවල අඩුවීමක් පැවතී ඇත. ජුනි වන විට වර්ෂාව වඩාත් වෙරළ බඩ ප්‍රදේශ වලට සීමා වී ඇති බවක් දිස්වේ. ජූලි මාසයේදී දිවයින පුරා වැසි මට්ටමේ විශාල අඩුවක් දැකිය හැකියි. අගෝස්තු සාමාන්‍යයෙන් වියලි මාසයක් වුවත් 2009 වසරේ අගෝස්තු මාසයේ දිවයින පුරා සාමාන්‍ය වැසි තත්ත්වයට වඩා වැඩි වැසි ප්‍රමාණයක් ලැබී ඇත. සැප්තැම්බර් මාසයේදී බස්නාහිර සහ සබරගමු පළාත්වල වැඩියෙන් වැසි ලැබී ඇති අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි තත්වය අවම වී ඇත.


4 රූපය - 1990-2020 සාමාන්‍ය දේශගුණයට සාපේක්ෂව 2009 වසරේ වාර්තා වී ඇති වර්ෂාවේ අඩු වැඩි වීම (දවසකට මිලි මීටර් ප්‍රමාණය).

සමස්ත වශයෙන් සලකන කළ 2009 නිරිතදිග මෝසම විශ්ලේෂණය කිරීමේදී අගෝස්තු මාසයේ වෙනස් ආකාරයක් ගත්තත් සෙසු මාස හතර පුරා වැසි තත්වය යම් ආකාරයකට අඩුවී ඇති අතර උෂ්ණත්වය වැඩි වී ඇත.


5 රූපය - El Nino Southern Oscillation හි එල්නීනියෝ වර්ධනය වන ආකාරය පිලිබඳ ගෝලීය අනාවැකි. www.bom.gov.au


6 රූපය - Indian Ocean Dipole හි  වර්ධනය වන (+) ආකාරය පිලිබඳ ගෝලීය අනාවැකි. www.bom.gov.au

ගෝලීය අනාවැකි අනුව පැසිෆික් සාගරයේ එල්නීනියෝ තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවත් ඉන්දීය සාගර ඩයිපෝලය මෙවර මෝසම් කාලය පුරාවට ‘ධන’ අගයක් ගන්නා බවත් දැක්වේ. ඒ අනුව බලනකල මෙවර මෝසම කෙරෙහි ගෝලීය තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් මෝසම් වැසි අඩු වනු ඇති බව සිතිය හැකි වේ. දිවයින ආශ්‍රිතව කෙටි කාලීනව වර්ධනය විය හැකි අඩු පීඩන කලාප/පීඩන අවපාත වැනි තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි වැසි නොමැති වුවහොත් මෙවර මෝසම සාමාන්‍ය තත්වයට සාපේක්ෂව වඩාත් අඩු වැසි ස්වභාවයක් ගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතී.



0 Comments