මේකාලෙ ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් නැති තරං. බොහෝවිට ෆෝන් එකත් එක්ක කාලගුණ යෙදවුමක් (App එකක්) පැමිණෙන අවස්ථා දකින්න පුළුවන්. සෑම ක්ෂේත්‍රයකම පාහේ කාලගුණික අනාවැකි සඳහා පවතින ඉහල ඉල්ලුම හේතුවෙන් මුදල් ගෙවා ලබාගන්නා ජංගම යෙදවුම් භාවිතා කරන්නන් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. එසේම වඩාත් ආශ්වාදජනක කාරණේ තමයි කාලගුණයට විෂයක් විදියට කැමති විශාල ප්‍රමාණයකුත් ඉන්නව දකින එක. පහුගිය දවසක ලියපු මේ ලිපියෙන් බලන්න පුළුවන් කාලගුණික යෙදවුමක් තෝර ගන්න පුළුවන් විදිය සහ ඒව ක්‍රියාත්මක වෙන විදිය ගැන.
අද බලන්න යන්නෙ කාලෙන් කාලෙට විමසීම් කරන, ස්මාර්ට් ෆෝන් වල අපි දකින වලාකුළු පින්තූර ප්‍රශ්නෙකට උත්තරයක්.
පහල 01: රූපයෙ තියෙන්නෙ 2025-01-26 හවස 6.00ට ලබාගත් අධෝරක්ත (Infrared) කිරණ චන්ද්‍රිකා ඡායාරූපයක්. මේක windy.com වෙබ් අඩවියෙන් ගත්තෙ. ඔය අවස්තාව වෙනකොට බැලූ බැල්මට ලංකාවෙ දකුණු අර්ධයම වසාගත් විශාල වලාකුළු පද්ධතියක් දකින්න පුළුවන් උනත් ඇත්තටම භුමියේ වර්ෂාපතනය වාර්තා වීම අවමයි. තැනින් තැන ස්ථාන හැරුණකොට බොහෝ ප්‍රදේශවල වැසි අවම මට්ටමක තමයි තිබුනෙ. 02 රූපයේ දැක්වෙන පරිදි මෙම දිනයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැසි නිරීක්ෂණ දත්ත අනුව වැසි වාර්තා වීම අවම මට්ටමක පැවත ඇති බවත් වලාකුළින් බරව පැවති ප්‍රදේශවල පවා වැසි ඇතිවී නොමැති බවත් දකින්න පුළුවන්.
ඇයි මෙහෙම වෙන්නෙ? රූපයේ විදියට වඩා හොඳින් වර්ධනය වෙච්ච වලාකුළු පද්ධතියකින් වහින්නෙ නැත්තෙ ඇයි?
01 රූපය : 2025-01-26 සවස 06ට අධෝරක්ත කිරණ මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපය. මුලාශ්‍රය www.windy.com
මුලින්ම 01:රූපය පැහැදිලි කරගමු. මෙම පින්තුරෙ වර්ණ මගින් කියවෙන්නෙ චන්ද්‍රිකාවෙ සවිකොට ඇති සංවේදක විසින් නිරීක්ෂණය කරන වලාකුළුවල උෂ්ණත්වයේ අගයන්. රූපයේ දැක්වෙන පරිමාණයට අනුව එම අගයන් සෙල්සියස් අංශක 0 පමණ සිට සෙල්සියස් අංශක ඍණ 80 පමණ අගයන් දක්වා දිවෙනව. ඒ කියන්නෙ තද දුඹුරු පැහැ ප්‍රදේශවල අතිශය අඩු උෂ්ණත්ව අගයන් සහ නිල් පැහැ ප්‍රදේශවල සාපේක්ෂව වැඩි උෂ්ණත්ව අගයන් නිරීක්ෂණය වෙනව කියන එක.
02 රූපය: 2025-01-26 උදෑසන 8.30 සිට 2025-01-27 උදෑසන 8.30 දක්වා පැය 24ක කාලය තුල වාර්තා වී ඇති වර්ෂාපතන අගයන් මි.මී. වලින්. මුලාශ්‍ර: කා.වි.දෙ.
ෆේස්බුක් පෝස්ට් කළ ඉහත 01 රූපයේ දත්ත සම්බන්ධව සහ පිළිතුරු දියයුතු යයි හැඟෙන දේවල් කීපයක් තියෙනව.
1. මේ පින්තූරේ මුලික පරාමිතිය වශයෙන් තියෙන්නෙ වලාකුළු මතුපිට උෂ්ණත්ව (Cloud top temperature) දත්ත වන අතර ජලවාෂ්ප/ ආර්ද්‍රතාව/ වැස්ස/අයිස් හෝ වෙනයම් පරාමිතියක් නොවේ.
2. වලාකුළු පින්තුරක් පමණක් යොදා ගනිමින් ඒ අවස්ථාවේ වැසි ගැන නිශ්චිත නිගමනයන්ට එළඹෙන්න බැහැ. ඒක අසම්පුර්ණ ක්‍රමවේදයක්.
3. වලාකුළු නිරීක්ෂණ දත්ත, තිරස් අවකාශය වගේම කාල ප්‍රාන්තර වලත් අන්තර්නිවේශනය (spatial and time interpolation) කර ඇතත් ඒවා නිරීක්ෂණ දත්ත වේ. නමුත් කාලගුණ අනාවැකි යනු මොඩල දත්තයි.
4. ChatGPT පිළිතුරු කිහිපයක් තිබුන. ඒ අර්ථ නිරුපණයන් (interpretations) හොඳයි. නමුත් ගොඩක් අසංපුර්ණ සහ ප්‍රථමික ස්වභාවයක් තියෙනව. ChatGPT තවම ලංකාවෙ කාලගුණේ අඳුනන්නෙ නැහැ කියල තමයි පෙනෙන්නෙ.
ඇයි සමහර වලාකුළු -80 වගේ උෂ්ණත්ව පෙන්නන්නෙ?
ඇත්තටම වලාකුළු එච්චර සීතලද?
සමකාසන්න වායුගෝලයේ සාමාන්‍යයෙන් වලාකුලක් වර්ධනය විය හැකි උපරිම උස කිලෝමීටර් 15කට වඩා වැඩියි. ඔබ දන්නව පොළොවේ සිට ඉහලට යනවිට 03 රූපයේ අයුරින්, tropopause දක්වා උෂ්ණත්වය අඩු වෙමින් යන ආකාරය. (රූපයේ දැක්වෙනුයේ ගෝලීය සාමාන්‍ය අගයන් වන අතර සමකාසන්නව එම අගයන් තරමක් වෙනස්) ඒ කියන්නෙ කිලෝමීටර් 15කට ඉහළ වායුගෝලයේ උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක -80ක් හෝ -90ක් පමණ විය හැකියි. ඒ නිසා එවැනි උසක පවතින වලකුළක උෂ්ණත්වය නිරීක්ෂණය වන්නේ ඉහත සඳහන් කළ උෂ්ණත්වයන් ලෙසයි.
03 රූපය : පොළොවේ සිට ඉහලට ගමන් කරනවිට පවත්නා උසට සාපේක්ෂ උෂ්ණත්ව විචලනය. මුලාශ්‍රය: www.noaa.gov
අකුණු ඇතිකරන කැටි වැහි වළාකුලක් (Cumulonimbus Cloud) පොළොවේ සිට කිලෝ මීටරයක පමණ උසක සිට කිලෝමීටර් 15ක පමණ උසක් දක්වා වර්ධනය වේ. එවැනි අවස්ථාවලදීත් චන්ද්‍රිකා නිරීක්ෂණවල සටහන් වනුයේ අතිශය අවම උෂ්ණත්ව අගයන්. කෙසේ වෙතත් එවැනි අවස්ථා වලදී බොහෝ විට තද වැසි නිරීක්ෂණය කරන්න පුළුවන්.
සත්‍ය වශයෙන්ම 01 රූපයේ දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපය පමණක් භාවිතයෙන් එම වළාකුලේ සැබෑ වර්ධනය පිළිබඳව ලබා ගත හැකි තොරතුරු අල්ප වෙයි. එනම් එම වලාකුළ පොළොවේ සිට කිලෝමීටර් ගණනාවක් ඉහල අහසේ පමණක් ව්‍යාප්තව ඇති, ලේයරයක ආකාරයක් ගන්නා වලාකුළක් වීමේ වැඩි හැකියාවක් පවතින අතර එය නිශ්චිතවම පැවසීමට එක් අධෝරක්ත වලාකුළු පින්තුරක් පමණක් ප්‍රමාණවත් නොවේ.
ඇයි එහෙම වෙන්නෙ ?
චන්ද්‍රිකා නිරීක්ෂණවල Active Scanning සහ Passive Scanning ලෙස ප්‍රධාන ආකාර දෙකක් වෙයි. 04 රූපයේ දැක්වෙන පරිදි Active Scanning වලදී සිදු වනුයේ චන්ද්‍රිකාව විසින් නිකුත් කරන microwaves පරාසයේ තරංග, වලාකුළු/වායුගෝලය වෙත මුදා හරිමින් එම තරංගවල පරාවර්තනය/වර්තනය මිණීමෙන් අදාළ වලාකුළු සහ වායුගෝලීය ස්වභාවය හඳුනා ගැනීමයි. නමුත් Passive Scanning වලදී සිදුවනුයේ වලාකුළු විසින් නිකුත් කරනු ලබන තාප තරංග (බොහෝ විට අධෝරක්ත කිරණ) සංවේදනය කරමින් අදාළ උෂ්ණත්වය මැනීමයි.
Passive Scanning යනු උසස්පෙළ භෞතික විද්‍යා විෂයේ එන කෘෂ්ණ වස්තු විකිරණයේ ප්‍රායෝගික යෙදවීමක්. (Blackbody Radiation) ශරීරය ස්පර්ශ නොකරමින් උණ මනින්න පුළුවන් උෂ්ණත්වමාන නිර්මාණය කරල තියෙන්නෙත් මේ සංසිද්දිය භාවිතා කරමින්.
Active Scanning වලදි වලාකුළු ඇතුලත යම් ආකාරයකට නිරීක්ෂණ කල හැකි උවත් Passive Scanning වලදී සිදු වනුයේ "වලාකුළු මතුපිට" උෂ්ණත්ව (Cloud top temperature) අගයන් නිරීක්ෂණයයි. එය වළාකුලේ සිරස් වර්ධනය (Vertical Development) ගැන දත්ත ලබා නොදෙයි.
04 රූපය : චන්ද්‍රිකාවක් මගින් සිදු කරන Active scanning සහ Passive Scanning. මුලාශ්‍රය:www.grindgis.com/
එතකොට අධෝරක්ත කිරණ පින්තූර වැඩක් නැද්ද?
අධෝරක්ත කිරණ පින්තූර ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ නිරීක්ෂණ සඳහා. නමුත් එම දත්තවලින් වඩාත් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පොළොවේ නිරීක්ෂණ ජාලයක් පවතින අවස්ථාවලදී. එක් චන්ද්‍රිකාවක නිරීක්ෂණ සංවේදක උපකරණ (channels) ගණනාවක් ඇති අතර visible light (දෘශ්‍ය ආලෝකය) මගින් දහවල් කාලයේ ලබා ගන්නා පින්තූරවල, දෘශ්‍ය ආලෝකය නිසා ඇතිවන සෙවනැළි සහ දීප්තිමත් ආලෝක ලප වැනි දේ අඩංගු වන නිසා වැඩි තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත වෙනව.
පහත 05 රූපයේ දැක්වෙනුයේ 01 රූපය ලබාගත් අවස්ථාවේදීම ලබාගන්නා ලද දෘශ්‍ය ආලෝක පින්තුරක්.
05 රූපය : දෘශ්‍ය ආලෝකය මගින් 2025-01-26 සවස 06ට ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපය. මුලාශ්‍රය www.windy.com
මෙම රූපය හොඳින් නිරීක්ෂණය කළහොත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින, තරමක් ඉහලට එසවී ඇති ආකාරයේ සෙවනැළි පෙනෙන ස්ථාන දෙකක් දකින්න පුළුවන්. ඒවා නිසැකයෙන්ම කැටි වැහි වලාකුළු (Cumulonimbus Clouds) බව නිගමනය කරන්න පුළුවන්. නමුත් දිවයින පුරා වසාගත් වලාකුළු පද්ධතියේ එවන් ස්වභාවයක් නොපවතින අතර ඒකාකාරී ලේයරයක ආකාරයක් ගනී. මෙවැනි ආකාරයේ Visible image එකක් භාවිතයෙන් මෙම වලාකුල විශාල වශයෙන් අකුණු ඇති කරන වලාකුලක් නොවන බව සිතන්න පුළුවන්. ඉහත වෙබ් අඩවිය විසින්ම අකුණු නිමානයන් ලබාදෙන බැවින් මෙය තහවුරු කරගන්නට පුළුවන්.
වැසි නිරීක්ෂණය නොවීම, අකුණු නිරීක්ෂණය නොවීම, දෘශ්‍ය ආලෝක පින්තුරයේ විශේෂ ලක්ෂණ නොපැවතීම සහ ලේයරයක් අයුරින් දිස්වීම, වගේම අධෝරක්ත පින්තුරයේ ලේයරයක් ආකාරයෙන් පැතිරුණ වඩාත් 'ඍණ' උෂ්ණත්වයන්ගේ ව්‍යාප්තිය යන මේ සියලු කරණා අනුව දිවයින පුරා පැතිර පැවති වලාකුළු පද්ධතිය බොහෝ ස්ථානවලදී ඉහළ වායු ගෝලයේ පමණක් පැවති, වැසි ඇති කිරීමේ අවම හැකියාවකින් යුත් ලේයරයක් වැනි වලාකුළු පද්ධතියක් බව සිතන්න පුළුවන්. මෙවැනි වලාකුලකින් වැසි ඇතිවීම අවම උවත් හිරු එලිය පොලොව වෙත පැමිණීම අඩු කිරීම නිසා දවස පුරා අඳුරු ස්වභාවය නිරීක්ෂණය කල හැකියි.
ලිපිය පිළිබඳව ඔබගේ අදහස් යෝජනා සහ වෙනස් වියයුතු යයි ඔබ සිතන දේ පහලින් කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිනව.
0 Comments