පසුගිය ජුනි 02 දින උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුලදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වර්ෂාපතන මධ්‍යස්ථාන දත්ත අනුව දිවයිනේ උපරිම වර්ෂාපතනය ලෙස ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මි.මී. 436.5ක් වාර්තා විය. කා.වි.දෙ. දත්ත අනුව 2017-05-25 කුකුලේගඟ ප්‍රදේශයෙන් වාර්තා වූ මි.මී. 553ට පසුව වාර්තා වූ වැඩිම අගය මෙයයි. මෙහි අනෙක් විශේෂත්වය වනුයේ වැසි ප්‍රමාණය පැය කිහිපයක් තුල ලැබීම(අධික තීව්‍රතාව) නිසා එමගින් සිදුවූ අධික හානියයි.

ජුනි 05 උදෑසන වනවිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් දක්වන ලද වාර්තා අනුව අතිශය කණගාටුදායක අයුරින් ජීවිත හානි 21ක් වාර්තා වී ඇත. දේපළ හානි පිළිබදව සවිස්තරාත්මක ගණනය කිරීමක් මේ වනතෙක් නොමැත.

ඉහත පසුබිම සමගින් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නෙ ඇහැලියගොඩට ලැබුන අධික වැස්ස සම්බන්ධයෙන් ආරම්භයේ සිට කා.වි.දෙ. අනාවැකි අංශය විසින් නිකුත් කරන ලද නිවේදන හා එහිදී අදාළ නිවේදනවල ප්‍රමාණවත් භාවය එහි අඩුපාඩු වගේම මෙම ආපදා තත්ත්වය විසින් නැවත කරලියට පැමිණි ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය වගේම ඉන් පසුව පැමිණි ලිං මැඩි මානසිකත්වය වගේ හන්දියෙ කතා සහ අවසන් වශයෙන් සත්‍ය වශයෙන්ම අඩුපාඩු ඉක්මවා යමින් අනාවැකි වඩාත් නිවැරදි මට්ටමක් කරා ගෙන යාමට අප කුමන මාවතක් ඔස්සෙ ගමන් කළ යුතුද යන්නත් පිළිබඳවයි.

ඇහැලියගොඩ වැස්ස
2024 මැයි අවසන් සතියේ නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමගම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අධික වැසි ස්වභාවයක් දකින්න පුළුවන් වුවත් පසුගිය ජුනි 01 දින බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලින් වාර්තාවූ ආන්තික වැසි හේතුවෙන් නිර්මාණයවූ අපදාවන් අතිශය විශාලයි. 01 රූපයේ දැක්වෙන කා.වි.දෙ. වර්ෂාපතන දත්ත අනුව ජුනි 01 දින(පැය 24ක් තුලදී) වාර්තාවී ඇති උපරිම වර්ෂාපතනය මි.මී 436.5ක්. ජුනි 01 දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුන මෙම අධික වැසි ජුනි 02 දින අලුයම් කාලය තෙක් වාර්තා වී ඇත.


01 රූපය : කා.වි.දෙ. දත්ත අනුව 2024-06-01 දිනයෙදී(ජුනි 1 උදෑසන 8.30 සිට ජුනි 2 උදෑසන 8.30 දක්වා කාලය තුල) වාර්තා වී ඇති වර්ෂාපතන සිතියම. 


ජුනි 01 අනාවැකි සහ අනතුරු ඇඟවීම්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය(ජා.ක.ම.) විසින් දිවයින සඳහා, දිවයින වටාවන මුහුදු ප්‍රදේශ වගේම ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකි, අනතුරු ඇඟවීම් වගේම සුනාමි අනතුරු ඇගවීම් කටයුතුද සිදු කරයි. අධ්‍යක්ෂක ජනරාල් තුමා, අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂක යටතේ ක්‍රියාත්මක වන කාලගුණ විද්‍යාඥයින් 08 දෙනෙක්, කාලගුණ විද්‍යා සහයක නිලධාරීන් 20ක්, කාර්යාල සහයක 04කගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් වසරේ සෑම දිනකම පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හා 0112686686 දුරකථනය මගින් මහජනතාවට අවැසි ඕනෑම අවස්ථාවක සම්බන්ධ විය හැකි අතර ඔබගේ නිශ්චිත කාලගුණ අනාවැකි අවශ්‍යතාවයන් පිළිබඳව කාලගුණ විද්‍යාඥයා හා ඍජුවම කතා කළ හැකියි. එක් නිශ්චිත දිනක රාජකාරි කටයුතු සිදු කරන කාලගුණ විද්‍යාඥයින් දෙදෙනා එම අවස්ථාවේ 'කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥයින් ලෙස හඳුන්වයි'
අනාවැකි සම්බන්ධ තීරණ ගැනීමේදී අදාළ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටින කාලගුණ විද්‍යාඥයින් හට අවැසි දේශීය දත්ත සම්පාදනය සිදු කරනුයේ  කාලගුණ විද්‍යා නිරීක්ෂක නිලධාරීන් සහ සහයක මහතුන් විසිනි. ගෝලීය කාලගුණවිද්‍යා ආයතනවල නිරීක්ෂණ දත්ත, මුහුදේ සහ ඉහල වායුගෝලීය නිරීක්ෂණ දත්ත, චන්ද්‍රිකා දත්ත, ගෝලීය සහ දේශීය ගණිත ආකෘති දත්ත යොදා ගනිමින් අවැසි අනාවැකි/අවවාදාත්මක නිවේදන සැකසීම කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥයින් විසින් කරනු ලබන අතර ඒ සඳහා අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරුන්ගේ සහයද ලබා ගනී.

මැයි 31 දින පැවති දත්ත විශ්ලේෂණ අනුව වැසි ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුව ලෙස හඳුනා ගැනීමට හැකි වූයේ පහළ වායු ගෝලීය මට්ටමක (700hPa) පැවති කැළඹිලි ස්වභාවයයි. එම වායුගෝලීය මට්ටමේ සුළගේ ස්වභාවය සහ සාපේක්ෂ ආර්ද්‍රතාව 03 රූපයෙන් දැක්වෙන අතර දිවයිනට ඉහළින් පවතින වාමාවර්තව භ්‍රමණය වන සුළං ප්‍රවාහය එම සිතියමෙන් හඳුනා ගත හැකියි. 

02 රූපය : 2024-05-31 දින උදෑසන 0530 දත්ත භාවිතා කරමින් ECMWF ආයතනය විසින්  නිකුත් කරන ලද සුළං දිශාවන්(ඊතල) සහ සාපේක්ෂ ආර්ද්‍රතාව(වර්ණ සහිත) අනාවැකිය.

කෙසේ වෙතත් එක් කාලගුණ මොඩලයක් මගින් ලබාදෙන තොරතුරු ඒ ආකාරයෙන්ම අනාවැකියට ඇතුළු කිරීමක් සිදු නොවන අතර අනෙකුත් දත්ත ප්‍රභවයන් හා සංසන්දනය කිරීමෙන් අනතුරුව වඩාත් උචිත තීරණ ලබාගැනීම ජා.ක.ම. හි සිදු කරයි.



03 රූපය : ECMWF ensemble වැසි අනාවැකි අනුව ඇහැලියගොඩ ප්‍රදේශය සඳහා නිකුත්වූ අනාවැකි (a) මැයි මස 24 දින නිකුත් කරනලද අනාවැකිය. (b) මැයි මස 25 දින නිකුත් කරනලද අනාවැකිය. අයුරින් (h) මැයි මස 31 දින නිකුත් කරනලද අනාවැකිය. 

පෙර සඳහන් කල පරිදි දේශීය සහ විදේශීය දත්ත සහ යෙදවුම් විශාල ප්‍රමාණයක් ඇතත් මෙම ලිපිය වඩාත් සරළව ඉදිරිපත් කිරීමේ අරමුණින් ජුනි 01 දින ඇහැලියගොඩ ප්‍රදේශය සඳහා පසුගිය මැයි 24 දින සිට යුරෝපයේ European Centre for Medium-Range Weather Forecasts (ECMWF) ආයතනයේ කාලගුණික මොඩල 50ක් විසින් දිනපතා යාවත්කාලීන කරන  අනාවැකි මෙහි ඉදිරිපත් කරමි. ලෝකයේ අනාවැකි සපයන ආයතන අතුරෙන් මෙම ආයතනයේ අනාවැකි, නිවැරදිතාව අතින් අංක එකේ ලා සැලකෙන අතර කා.වි.දෙ. මෙම ආයතනයේ අනාවැකි දත්ත මිලදී ගනිමින් සිය අනාවැකි/අනතුරු ඇඟවීම් සඳහා යොදා ගනී. 03 රූපයේ දක්වෙන මෙම අනාවැකි අනුව මැයි 24 සිට 26 දක්වා නිකුත්වූ අනාවැකිවලට අනුව ජුනි 01 දිනයේ විශේෂිත තත්ත්වයක් හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත් ඉන් පසු අනාවැකිවල ස්වභාවය විමසීමේදී ජුනි 01 සහ 02 යන දිනයන්වල වැසි තත්ත්වයේ වර්ධනයක් පවතින බව අනාවැකි විසින් දක්වයි. ප්‍රමාණාත්මකව මෙය ආසන්න වශයෙන් මි.මී. 40ක පමණ අගයක් උවත් වටිනා තොරතුරක් බව දැක්විය හැකියි.

04 රූපය : 2024-05-31 දින උදෑසන 0530ට දත්ත පදනම් කර ගනිමින් එදින දහවල් කාලයේදී (a) ECMWF මොඩලයේ අනාවැකිය සහ (b) GFS මොඩලයේ අනාවැකි දත්ත අනුව ජුනි 01 දිනය (පැය 24ක්) තුළ ඇතිවිය හැකි වැසි ප්‍රමාණය පිලිබඳ කාලගුණ අනාවැකි.

ECMWF ආයතනය සහ ඇමෙරිකාවේ Global Forecasting System (GFS) මොඩලය මගින් නිකුත් කරන ලද ජුනි 01 දින සඳහා අනාවැකි 04 රූපයේ දැක්වේ. මෙහිදීත් අනාවැකි දෙකම පාහේ නිරිතදිග ප්‍රදේශවල වැසි සහිතබව හඳුනාගෙන ඇතත් ප්‍රමාණාත්මකව වඩාත් අඩු අගයන් ඉදිරිපත් කර ඇත.

05 රූපය : 2024-06-01 උදෑසන 0530ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය.
 
කෙසේ වෙතත් ජුනි 01 උදෑසන 05.30 ජා.ක.ම. විසින් මහජනතාව සඳහා නිකුත් කරනලද අනාවැකිය සහ 06.00ට නිකුත් කරනලද අවවාදාත්මක නිවේදන (05 රූපය සහ 06 රූපය) අනුව සඳහන් වී ඇත්තේ බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් වන ලෙසයි.


06 රූපය : 2024-06-01 උදෑසන 0600ට නිකුත් කරන ලද අවවාදාත්මක නිවේදනය.

උදෑසන කාලයේ නිකුත් කරනලද අනාවැකිය සහ අවවාදාත්මක නිවේදනයෙන් අනතුරුව රාත්‍රී කාලයේ චන්ද්‍රිකා නිරීක්ෂණ දත්ත මගින් වලාකුළු වර්ධනය පිළිබඳවත්, නවතම වර්ෂාපතන සහ කාලගුණික පරාමිතීන්ගේ වෙනස් වීම් නිරීක්ෂණය කිරීමෙනුත් අනතුරුව අවවාදාත්මක නිවේදනය 'අනතුරු ඇඟවීමේ' නිවේදනයක් දක්වා යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇති බව 07 රූපයේ දැක්වෙන නිවේදනය අනුව පැහැදිලි වෙනව. එම නිවෙදනයේම සඳහන් පරිදි රාත්‍රී 10 පමණ වනවිට විවිධ ප්‍රදේශවල මි.මී. 100 ඉක්මවූ වැසි ලැබී ඇති බව නිරීක්ෂණ කරන්න පුළුවන්.

ජපානය, චීනය ඉන්දියාව සහ යුරෝපය මගින් ලබාදෙන චන්ද්‍රිකා නිරීක්ෂණ දත්ත විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් ජා.ක.ම. වෙත ලැබෙනව. වර්තමානයේ වඩාත්ම වැඩි සීඝ්‍රතාවයකින් යාවත්කාලීන දත්ත ලැබෙනුයේ ජපානයේ හිමවාරි චන්ද්‍රිකාව මගින්. සාමාන්‍යයෙන් විනාඩි 10-15 පමණ කාලයකින් නව දත්ත ඒ අනුව ලැබෙනව. මෙම දත්ත අදාළ අවස්ථාව ආශ්‍රිතව කාලගුණයේ හැසිරීම ගැන අවබෝධ කර ගැනීමට අතිශය ප්‍රයෝජන උවත් අද ලැබෙන චන්ද්‍රිකා දත්ත හෙට අනාවැකිය සැකසීමට ඍජුවම භාවිතා කල නොහැකියි.

07 රූපය : 2024-06-01 රාත්‍රී 10.00ට යාවත්කාලීන කරන ලද අනතුරු ඇඟවීමේ 'රතු' නිවේදනය.

ජුනි 01 දින රාත්‍රී 10 නිවේදනයේ ඇති ආකාරයට මි.මී. 150 ඉක්මවන වැසි පිළිබඳව අනතුරු අඟවා ඇති අතර නැවතත් පසු දින නවතම වර්ෂාපතන අගයන් හා සමගින් උදෑසන 07ට අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර ඇත. 08 රූපයේ දැක්වෙන මෙම නවතම නිවේදනය නිකුත් කරන ජුනි 02 දින උදෑසන 07.00 වනවිට ඇහැලියගොඩ ප්‍රදේශයට මි.මී. 427.5ක් වාර්තා වී ඇති බවත් තවදුරටත් මි.මී. 150 ඉක්මවන වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

08 රූපය : 2024-06-02 උදෑසන 07.00ට යාවත්කාලීන කරන ලද අනතුරු ඇඟවීමේ 'රතු' නිවේදනය.

ඉහත නිරීක්ෂණ, කාලගුණ අනාවැකි සහ අනතුරු ඇඟවීමේ නිවේදන අනුව ජා.ක.ම. මගින් මෙම ආපදා අවස්ථාව ආරම්භයට පෙර සහ එම අවස්ථාව අතරතුර ක්‍රියාත්මක වී ඇති ආකාරය ගැන යම් අදහසක්  ගත හැකි වේ.

මේ නිවේදනවල ඇති ප්‍රයෝජනවත් තොරතුරු සහ අඩුපාඩු මොනවාද?

අඩුපාඩු
    i. ජුනි 01 දින උදෑසන අනාවැකියේ සහ අවවාදාත්මක නිවේදනයේ වැසි ප්‍රමාණයන් මි.මී. 150ට වැඩි විය හැකි බව සඳහන් නොවීම්.
    ii. රාත්‍රී 10 යාවත්කාලීන නිවේදනය අනුව වැස්ස මි.මී. 150කට වඩා වැඩි විය හැකි බව කීවත් මි.මී. 430කටත් වඩා වැඩි වැසි වාර්තා වීම.
    iii. අධික වැසි ගැන පැය 1-2 වැනි ඉතා කුඩා කාලයකදී දැනුම් දීම.


නිවේදන මගින් ගත හැකි තොරතුරු.
    i. ජුනි 01 දින උදෑසන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීම.
    ii. රාත්‍රී 10ට එනම් අධික වැසි ඇතිවීමට පැය 1-2කට පෙර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීම.

මෙම අභියෝග සත්‍ය වශයෙන්ම මගහරවා ගත හැකිද? එසේ නම් ඒ කොහොමද? යන්න ලිපියෙ පසු කොටසින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර බොහෝ දෙනෙක් මතු කරන ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් සහ Artificial Intelligence (AI) වැනි ක්‍රමෝපායන් තිබූ පමණින් මෙවැනි ආපදාවන් දැනට පවතින මට්ටමට වඩා කලින් නිවැරදිව හඳුනා ගත හැකිද යන්නත් සොයා බලමු.


AI මගින්  ආන්තික වැස්ස හඳුනාගෙන තිබුනාද?

භෞතික විද්‍යා නියමයන් භාවිතා කරමින් අති විශාල ගණිත සමීකරණ ප්‍රමාණයක් විසඳීමෙන් අනතුරුව වායුගෝලය ආකෘතිගත කරන සම්ප්‍රදායික මොඩලවලට අමතරව Artificial Intelligence හි ක්ෂේත්‍රයක් වන Machine Learning භාවිතා කරමින් කාලගුණ/දේශගුණ අනාවැකි සැපයීම පිළිබඳව ලෝකයේ ප්‍රමුඛ ආයතන පර්යේෂණ කරමින් සිටින අතර එම දත්ත/අනාවැකි ගැන බොහෝ පිරිසක් ප්‍රශංශාත්මකව කතා කරයි. ජා.ක.ම. සතුව ඇති Machine Learning මොඩල කිහිපය අතුරින්, නිවැරදිතාවයෙන් ඉහල Google සහ ECMWF ආයතන වල අනාවැකි භාවිතා කර ප්‍රස්තුත සිද්ධියට අදාලව Machine Learning මොඩලයන්ගේ නිවැරදිතාව සොයා බලමු.


09 රූපය : 2024-05-31 දින පැය 05.30 දත්ත යොදා ගනිමින් 2024-06-01 දිනයේ පැය හයෙන් හයට[ (a), (b), (c), (d) යන රූප වල එක් එක් පැය 6ක ඇතිවන වැසි ප්‍රමාණය අනුපිළිවෙලට දක්වයි.] ඇතිවිය හැකි වර්ෂාපතන ප්‍රමාණය දක්වන Google ආයතනය විසින් නිකුත් කරන ලද Machine Learningඅනාවැකිය.  AKA GraphCast (Google Deepmind) Machine Learning model


09 රූපයේ දැක්වෙන Google සමාගම විසින් සකස් කරන Machine Learning අනාවැකිය මගින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයක් පෙන්නුවත් එය ප්‍රමාණාත්මකව අඩු අගයක් වන අතර අධික වැසි තත්ත්වයන් ගැන සැලකිය යුතු මට්ටමේ තොරතුරක් නොවෙයි.


10 රූපය : 2024-05-31 දින පැය 05.30 දත්ත යොදා ගනිමින් 2024-06-01 දිනයේ පැය හයෙන් හයට[ (a), (b), (c), (d) යන රූප වල එක් එක් පැය 6ක ඇතිවන වැසි ප්‍රමාණය අනුපිළිවෙලට දක්වයි.] ඇතිවිය හැකි වර්ෂාපතන ප්‍රමාණය දක්වන ECMWF ආයතනය විසින් නිකුත් කරන ලද Machine Learning අනාවැකිය. AKA, AIFS (ECMWF) Machine Learning model

Google අනාවැකිය මෙන්ම 10 රූපයේ දැක්වෙන ECMWF අනාවැකියත් වැසි ප්‍රමාණයන් වඩාත් අඩු අගයන් ලෙස දක්වා ඇත. ECMWF අනාවැකියේ සඳහන් පරිදිත් නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්වයන් ඇතිවන බවට අමතරව (b) සහ (d) රූප සටහන් දෙකෙහි තරමක වැඩි වැසි තත්ත්වයන් පිලිබඳ සඳහනක් වීම අතිශය වැදගත් තොරතුරක් වේ.

කෙසේ වෙතත් AI තාක්ෂණය කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් තවදුරටත් අතිශය ආරම්භක අවස්ථාවක පවතින බව අප සිහිතබා ගත යුතුය. Machine Learning යනු අනාවැකි කරණයේදී වැඩි වාසි සහිත ක්‍රමවේදයක් වන අතර ඊටම ආවේනික සීමාවන් පවතී. අනාගතයේදී වඩාත් දියුණු මට්ටමක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පැවතියත් වර්තමානයේ "AI යනු සියල්ලට වඩා නිවැරදි එක" ලෙස හැඳින්වීම සාධක රහිත කතාවක් පමණක් බව ඉහත උදාහරණනද පැහැදිලි වේ.

"ඩොප්ලර් රේඩාර්" විසඳුම(?)

අධික වැසි හේතුවෙන් සිදුවන ආපදා තත්ත්වයන් හමුවේ වරින් වර කතාබහට ලක්වෙන මාතෘකාවකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ "ඩොප්ලර් රේඩාර්" යන්ත්‍රය. බොහෝ දෙනා වර නගන පරිදි මෙම ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය යනු කාලගුණ අනාවැකි අතිශය ඉහල මට්ටමකින් එසේත් නැතිනම් හරියටම හරි යන විදියට කාලගුණ අනාවැකි කියන්න පුළුවන් මැෂිමක්.

වසර 15කට පමණ පෙර කා.වි.දෙ. විසින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මගපෙන්වීම මත ගොන්ගල කන්දේ සවි කිරීමට උත්සහ කරන ලද ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය විවිධ වූ හේතු රාශියක් මත අසාර්ථක ව්‍යාපෘතියක් වූ බව ඒ පිලිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් දැන ගත හැකියි. කෙසේ වෙතත් එම රේඩාර් යන්ත්‍රය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන අතර ජපානයේ ජයිකා (JICA) ආධාර මත 2026දී පුත්තලම ප්‍රදේශයේ රේඩාර් යන්ත්‍රයක් සවි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බව සඳහන් කළ යුතුය.

ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් යනු ඩොප්ලර් ආචරණ සංසිද්ධිය භාවිතා කරමින් ප්‍රධාන වශයෙන් වායුගෝලය වෙත තරංග මුදා හැර (Microwave energy) වායුගෝලයේ ජල අංශු මතින් පරාවර්තනය වී නැවත රේඩාර් යන්ත්‍රය වෙත පැමිණෙන තරංග ග්‍රහණය කර ගනිමින් අදාළ ජල අංශුවල ස්වභාවය හඳුනා ගන්නා උපකරණයකි. එම නැවත පැමිණෙන තරංගවල ලක්ෂණ අනුව, යන්ත්‍රය ක්‍රියාත්මක වපසරියේ පවතින වලාකුළුවල පවතින ජල ප්‍රමාණය සහ වලාකුළ ඇති ප්‍රදේශය පිළිබඳව නිමානය කළ හැකි වීම මෙහි විශේෂත්වයයි. මෙම යන්ත්‍රයේ ඇති ප්‍රධාන වාසි වනුයේ ඉතාමත් කෙටි කාලයකින් විශාල වපසරියක් වැඩි විභේදනයකින්(High Resolution) දත්ත ලබා ගැනීමට හැකිවීම සහ නිශ්චිත මොහොතක වලාකුළක පවතින ජල අංශු ප්‍රමාණය ගැන නිමානය කර ගත හැකි වීමයි.

රේඩාර් දත්ත යෙදවුම් අතර Nowcasting (ඉදිරි පැය කිහිපයේ අනාවැකිකරණය) වඩාත් වැදගත් තැනක් ගනී. මෙහිදී සිදු වනුයේ රේඩාර් දත්තයන්හි ඉදිරි පැය කිහිපයේ ප්‍රක්ෂේපනය ගණනය කිරීම එම කාලයේදී (උපරිම පැය 6ක් පමණ දක්වා) වැසි අනාවැකි සැකසීමයි. ඒ අනුව නිරීක්ෂණය සිදු කරන මොහොතේ සිට ඉදිරි පැය කිහිපයේ කාලගුණයේ හැසිරීම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි නිමානයක් ලබා ගත හැකි වෙයි. කෙසේ වෙතත් රේඩාර් යන්ත්‍රයක් මගින් කෙටි කාලීන අනාවැකිවල (පැය 6ක පමණ සිට දින 02ක් දක්වා දිවෙන අනාවැකි) නිරවද්‍යතාවය ඍජුවම වැඩි කර ගත නොහැකි බව සඳහන් කළ යුතුය. ඒ සඳහා ගණිත ආකෘති සහ රේඩාර් දත්ත යොදා ගනිමින් පර්යේෂණ සිදු කර අනාවැකි දියුණු කළ යුතුවේ.

එබැවින් ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයකින් ලබාගන්නා ප්‍රයෝජන රාශියක් සමගින් ඉදිරි පැය කිහිපය සම්බන්ධව වැඩි නිවරදිතාවයකින් අනාවැකි සැකසිය හැකි උවත් රේඩාර් යන්ත්‍රයක් පමණක් භාවිතා කර සෑම කාලගුණ අනාවැකියක්ම (උදා: කෙටි කාලීන, මාධ්‍ය කාලීන සහ මාසික, ඍතු අනාවැකි සහ දිගු කාලීන අනාවැකි) අතිශය නිවැරදි අයුරින් පලකළ හැකි යයි විශ්වාස කරන රටේ ජනතාව මෙන්ම ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු කරන නිලධාරීන්ද සිය විශ්වාසයේ සීමාවන් පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වනුයේ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් යනු සියලු අනාවැකි නිවැරදිව සැකසීමට හැකි මැජික් උපකරණයක් නොවන බැවිනි.

ලිං මැඩියෝ
පසුගිය ජුනි 01 ආපදා තත්ත්වයේ පැන නැගීම පිළිබඳව විවිධ පාර්ශව සිය අදහස් උදහස් ඉදිරිපත් කරමින් පසුගිය දින කිහිපය ගෙවී ගිය අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය රාජකාරියෙහි අසමත්ව ඇතිබව පවසමින් ඇතැමෙක් චෝදනා කළහ. 

මාධ්‍ය විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටියේ දෙපාර්තමේන්තුවේ පවතින්නේ ඉතා පැරණි තාක්ෂණයක් බවත් ලිං මැඩියන් සේ නොසිට නව තාක්ෂණය සමග කාලගුණ දෙපාර්තමේන්තුව ඉදිරියට යා යුතු බවත්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යනු තවත් එක් රාජ්‍ය ආයතනයක් බැවින් මෙම ලිං මැඩි මානසිකත්වය ගැන කතාවෙ යම් සත්‍යතාවයක් පවතින බව අවිවාදාත්මකයි. කෙසේ වෙතත් අනාවැකිකරණය පැත්තෙන් ගත්කල දෙපාර්තමේන්තුව දකුණු ආසියානු රටවල් හා සංසන්දනය කිරීමේදී වඩාත් හොඳ ස්ථානයක පවතින බව, කලාපීය කාලගුණ විද්‍යා ආයතන කිහිපයක් වෙත සංචාරය කළ මගේ අත්දැකීමයි. 

ඩොප්ලර් රේඩාර් ඇතුළු නව තාක්ෂණික උපකරණ සහ ආයෝජන මගින් දකුණු ආසියානු කලාපයේ දැනට පවතින අපේ ස්ථානය වඩාත් ඉහළ යනු ඇති බව නොඅනුමානයි. මේ සඳහා වඩාත් කාර්යක්ෂම සහ ප්‍රයෝගික වැඩ පිළිවෙලක් ලෙස පහත පියවර යෝජනා කළ හැකියි.

    i. දෙපාර්තමේන්තු සේවක සංඛ්‍යාව වැඩි කරමින් ලබා දෙන සේවාවන් පුළුල් කිරීම.
    ii. පර්යේෂණ සහ දියුණු කිරීම් වෙනුවෙන් ආයෝජනය කිරීම.
    iii. දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථාන ගණන වැඩි කිරීම සහ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම.
    iv. කාලගුණ විද්‍යා විෂය ලංකාවේ ප්‍රචලිත කරමින් පාසැල් ළමුන් හට වඩා හොඳ අවබෝධයක් ලබාදීම. මෙමගින් අනාවැකි තේරුම් ගැනීමට හැකියාව සැදීම.

අවසානය.
ජුනි 01 අධික වැසි හේතුවෙන් අවාසනාවන්ත අයුරින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයින්ට සහ ආපදාවන්ට ලක්වූවන්ට වගේම සමස්ත රටටම සිදුවූ හානිය අතිවිශාලයි. එවැනි තත්ත්වයන් කලින් හඳුනා ගනිමින් ආපදාවන් අවම කරගැනීමට වෙහෙසීම අත්‍යවශ්‍ය කරුණක්. 

මෙවැනි ආන්තික වැසි පිළිබඳව පුරෝකථනය කරමින් අනාවැකි සහ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන ලද කා.වි.දෙ. අනාවැකි සැලකිය යුතු සේවයක් සිදු කලත් "ආපදාවේ මට්ටම පිළිබඳව අවදානය යොමු කරන විට එය ප්‍රමාණවත් සේවයක්දයි" අයෙක් අසන පැණයේ සාධාරණත්වයක් පවතින බව අමතක නොකළ යුතුයි.

ලිපියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද ආන්තික වැසි තත්ත්වය පිලිබඳ අනාවැකිය ඉදිරිපත් කිරීම සඳහා AI මගින් ලබාගන්නා ලද අනාවැකි අදාළ දිනයේද භාවිතා කර ඇති අතර එමගින් යම් දළ අදහසක් පමණක් අනාවැකිය වෙත ලැබුන බව සිතිය හැකියි. කෙසේ වෙතත් ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයකින් ලබාගන්නා දත්ත ජුනි 01 රාත්‍රියේ තුබුණේ නම් වැසි ඇතිවිය හැකි ප්‍රදේශය ගැන පැයක දෙකක වැනි කාලයකට කලින් වැඩි නිවරදිතාවයකින් හඳුනා ගැනීමට හැකියාවක් තිබූ බව සත්‍යයකි. එය අනාවැකියට වැඩි අගයක් එකතු කරනු නොඅනුමානයි. නමුත් එමගින් 100%ක නිවරදිතාවයක් නොලැබෙන බව තවදුරටත් සිහි තබා ගත යුතු වෙයි.

මෙම ලිපියේ සඳහන් වන පරිදි අදාළ අනාවැකි සහ අනතුරු ඇඟවීම් කිරීමට යොදා ගන්නා ලද, අධික වැසි ප්‍රමාණය පිලිබඳ අඩු තක්සේරුවක පැවති දත්ත සහ කාලගුණ විද්‍යාඥයින්ගේ අත්දැකීම් භාවිතා කරමින් නිකුත් කරනලද නිවේදන සාධනීය බවක් ගනී. කෙසේ වෙතත් එම නිවේදනවල නිශ්චිතභාවය සහ හැකි උපරිම කාලයකට කලින් දැනුම් දීම වැනි ගුණාංග තවදුරටත් වර්ධනය වීම අත්‍යවශ්‍ය වේ.

රටේ සංවර්ධනයට සහය විය හැකි, ජන ජීවිතයට සහය වියහැකි වඩාත් දියුණු කාලගුණ/දේශගුණ අනාවැකිකරණයක් සඳහා කා.වි.දෙ.හි සේවක සංඛ්‍යාව, පර්යේෂණ, විවධ ප්‍රභවයන්ගෙන් ලබා ගත හැකි දත්ත, සහ සමාජ දැනුවත්භාවය වැඩි කිරීම සුදුසු වේ. ආපදා කාලයට උවත් උඩට එන  ඩොප්ලර් රේඩාර් කතිකාව වැදගත් වනුයේ එය දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය උපකරණයක් බැවිනි. එසේම Artificial Intelligence වැනි නව ප්‍රවණතා යොදා ගනිමින් අනාවැකි නව මානයකට රැගෙන යාම සඳහා පර්යේෂණ අවශ්‍ය බව අමතක නොකළ යුතුයි.

අවසන් වශයෙන් ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් සහ AI තාක්ෂණය භාවිතයෙන් එක රැයකින් කාලගුණ අනාවැකි 100%ක් නිවැරදිව පැවසිය නොහැකි බව සමාජ ගත වීම අත්‍යවශ්‍ය වන්නේ එම උපකරණ සහ ක්‍රමවේද අප රටට ගැලපෙන අයුරින් සැකසීම පර්යේෂණ ගණනාවක සහ වසර ගණනාවක ව්‍යායාමයක් වන බැවිනි.

දත්ත :
කා.වි.දෙ. www.meteo.gov.lk
www.ecmwf.int
News sources - Sri Lanka

-----
වඩා සුරක්ෂිත හෙටක් වෙනුවෙන්, වර්තමානයේ පවතින ගැටළු සාධනීය අයුරින් සාකච්ඡා කර පිළිතුරු සෙවීම අත්‍යවශ්‍ය කාරණයක් බැවින් ලිපිය පිලිබඳ ඔබේ අදහස් දැක්වීමට අමතක කරන්න එපා. 
-----
මලිත් ප්‍රනාන්දු.(rmpfernando@gmail.com)
කාලගුණ විද්‍යාඥ 
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.







0 Comments