හොඳම කාලගුණ අනාවැකි ඇප් එක මොකද්ද?
කාලගුණ ඇප් වලින් හොඳම එක මොකද්ද? මේ ඇප් එකේ අනාවැකි හරියටම හරිද? මේ පින්තුරෙන් කියන තරං ඇත්තටම වහිනවද? මේ ඇප් එකේ තියෙන විදියට තව දවස් 5 කිං සුළිකුණාටුවක් එනවද?
"කාලගුණය සහ දේශගුණය" අපේ ෆේස්බුක් පිටුවෙන් අහන ප්‍රශ්න කීපයක් ඔය. ඒ පිටුවට එකතු වෙලා ඉන්න අය වගේම කාලගුණය සහ අනාවැකි ගැන යම් උනන්දුවක් තියෙන අයත් ඔය ප්‍රශ්න නිතරම අහනව. මේ ලිපියෙන් උත්සහ කරන්නෙ ඒවට යම් ආකාරයක පිළිතුරු ලබාදීමක් කරන්න.
ලිපිය කියවල ඒ ගැන අදහස් සහ තව එකතු වෙන්න ඕනි කියල හිතෙන දේවල් කමෙන්ට්ස් විදියට සඳහන් කරන්නත් අමතක කරන්න එපා.
අනාවැකි සහ ජංගම දුරකථන යෙදවුම්(Mobile Phone Applications aka Apps).
මේ වෙනකොට බොහෝමයක් අය අතේ සෑහෙන ඉහළ මට්ටමේ දත්ත ප්‍රමාණයක් වඩාත් වේගවත්ව හැසිරවිය හැකි ස්මාර්ට් ජංගම දුරකථන දකින්න පුළුවන්. අවශ්‍යතාව අනුව කාලගුණ යෙදවුමක් මුදල් ගෙවා හෝ නොමිලේ තමුන්ගේ දුරකතනයට ලබාගන්න පුළුවන් වීම නිසා ඇතැම්විට අනතුරුදායක අවස්ථා කලින් හඳුනා ගනිමින් වැඩ සැලසුම් කරගන්නත් ඒ නිසාම කාලය මුදල් වගේම සමහර අවස්ථාවල ජීවිතය පවා බේරා ගැනීමට පුළුවන්කම ලැබී තියෙනව. 01 රූපයෙ දැක්වෙන්නේ මෙලස අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් යෙදවුම් කිහිපයක්.
2. NCEP GFS - United States of America
3. ICON - German
4. GSM - Japan
5. GRAPES_GFS - China
6. UKMO - United Kingdom
මෙම මොඩල දිනකට දෙවරක් හෝ සිව් වරක් තම අනාවැකි යාවත්කාලීන කරනු ලබන අතර ලොව භාවිතා වන සියලුම කාලගුණ ඇප් වර්ග විසින් මෙම මොඩල දත්ත ඔවුන්ගේ අනාවැකි වල මූලික දත්ත විදියට භාවිතා කරනව.
සාමාන්‍ය අනාවැකියකින් ඇප් එකක් වෙනස් වෙන්නෙ කොතනද?
ඇප්ස් පිළිබඳව කතා කරද්දි ඒවායේ උඩ කියපු දත්ත පමණක් යොදා ගනිමින් අනාවැකි නිකුත් කරන ඇප්ස් දකින්න පුළුවන්. එසේම මෙම අනාවැකි දත්ත සහ නවතම ගෝලීය කාලගුණික නිරීක්ෂණ දත්ත භාවිතා කර කෘතීම බුද්ධිය(Artificial Intelligence - AI) වැනි තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් අනාවැකි සැකසීම සාම්ප්‍රදායික අනාවැකි අභිබවා ගොස් ඇති ජනප්‍රිය ක්‍රමයයි. පැය භාගයක් හෝ පැයක් වැනි ඉතා කෙටි කාල ප්‍රාන්තර වලදී අනාවැකි යාවත්කාලීන කරමින් සිය පරිශීලකයන් හට ලබාදීම මේ ක්‍රියාවලියේ වඩාත් කැපී පෙනෙන කාරණයක්. දිනකට දෙවරක් හෝ සිව් වරක් යාවත්කාලීන වන සාම්ප්‍රදායික අනාවැකි වෙනුවට දිනකට 24 වතාවක් හෝ 48වතාවක් යාවත්කාලීන වන අනාවැකියක වඩාත් නිවරදිබවක් දකින්න පුළුවන්.
පර්යේෂණ වාර්තා අනුව පෙන්වා දී ඇති පරිදි AI වැනි තාක්ෂණික ක්‍රම මගින් අනාවැකිවල නිරවද්‍යතාවය වැඩි කළ හැකිවනුයේ Nowcasting(ඉදිරි පැය කිහිපයේ අනාවැකිය) සහ Sub-seasonal(මාසයක සිට මාස එකහමාරක කාලගුණික හැසිරීම) Forecasting යන වර්ගවලට අයත් අනාවැකි බව වැඩිදුරටත් කියවේ. ඒ අනුවම කියවෙන පරිදි කෙටි කාලීන (දින1 සිට දින 3 දක්වා) කාලගුණ අනාවැකි සඳහා AI යෙදවුම් එතරම් සාර්ථක බවක් නොපෙන්වන අතර ඒ සඳහා මේ වනතුරුත් සාම්ප්‍රදායික NWP වඩාත් සුදුසු බව සොයාගෙන ඇත. මෙම කරුණු සංක්ෂිප්ත කළහොත්, AI සහිත අනාවැකි යෙදවුම් ඉදිරි පැය කිහිපය සඳහා වඩාත් සුදුසු බවත් සාම්ප්‍රදායික කාලගුණ මොඩල දත්ත ඉදිරි දින කිහිපයේ අනාවැකි සඳහා වඩාත් සුදුසු බවත් සිතිය හැකියි.
මොඩල විසින් ගණනය කරනලද අනාවැකි, රූපරාමු බවට පරිවර්තනය කිරීමේදී විවිධ සේවා සපයන්නන් විසින් විවිධාකාර වර්ණ සංයෝජනයන් යොදා ගන්නා බව ඕනෑම ඇප් එකක් හෝ අනාවැකි සපයන වෙබ් අඩවියක් නිරීක්ෂණය කිරීමෙන් දකින්න පුළුවන්. මේවා සිත් ඇදගන්නා වර්ණ සහිතව ඉදිරිපත් කළ පමණින් 100%ක් නිවැරදි නොවන බව තරයේ සිහි තබා ගත යුතුයි. මගේ අත්දැකීම් අනුව ලංකාවෙ ආපදා කළමනාකරණ ක්ෂේත්රයේ ඉහළ තනතුරුවල ඉන්න අයත් පාටට රැවටෙන අතර ඔවුන් ලස්සන පාට සහිත පින්තූර/සිතියම් තියෙනව නම් ඒ අනාවැකි 100%ක් නිවැරදියි සිතන්න පෙළඹෙනව. ඒ නිසා සාමාන්‍ය ජනතාව ගැන අපිට අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
App එකක් කියන තරං නිවැරදිද ?
නව තාක්ෂණය සමග මුසුවූ ඇප් එකක් සැලකිය යුතු මට්ටමකින් නිවැරදියි. නමුත් ඒවා වඩාත් නිවැරදි බව කියන්න මිනිස්සු පෙළඹීමට ප්‍රධාන හේතුවක් තමයි ඔවුන් ඇප් එක නිරීක්ෂණය කරන මොහොතේ ඔහු සිටින ප්‍රදේශයේ පවතින කාලගුණය ලබාදීම. උදාහරණයක් විදියට ඔබ කාර්යාලයේ වැඩ නිමවී ගෙදර යන්න බලද්දිවර්ෂාව පවතින විට එය නිම වන වෙලාව බලන්න අවශ්‍ය නිසා දුරකතනයේ ඇප් එක පරීක්ෂා කරනව. හරිම පුදුමයි! එකෙත් කියනව "දැන් වැස්ස" කියල. හරිම සතුටුයි. හරියට සාස්තරයක් අහන්න ගිහිං එතන ඉන්න කපු මහත්තෙය ඔයාගෙ වර්තමානෙට අදාළ මොනවහරි දෙයක් කිව්ව වගේ. ඉතින් ඒ මොහොතේ ඉඳන් අනාගතේ ගැන කියන කපු මහත්තෙයව විශ්වාස කරනව වගේ ඇප් එකත් එක්ක අපේ විශ්වාසය ගොඩනැගෙන්නෙ එහෙම. ඇත්තටම මේ විදියට ඔබ ඉන්න තැන කාලගුණය කියන්න චන්ද්‍රිකා සහ තවත් කාලගුණික නිරීක්ෂණ දත්ත විශාල ප්‍රමාණයක් ලබා ගනිමින් නිරතුරුව ඔවුන් තමුන්ගෙ ඇප්ස් යාවත්කාලීන කරනව. මේක ඇත්තටමත් ලොකු වැඩක්. නමුත් ඒ කාරණාව සහ අනාවැකිය කියන්නෙ වෙනස් දේවල් දෙකක්. ඇප් වලට වරදින අනාවැකි බලන්න නම් ඉදිරි දින කිහිපයකට පස්සෙ තියෙන අනාවැකි පරික්ෂා කරන්න පුළුවන්. හරියන අනාවැකි වගේම සැලකිය යුතු ප්‍රමාණයකින් වරදින අනාවැකිත් පවතින බව එවිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේකත් හරිම සාමාන්‍ය තත්ත්වයක්. ඒ අනාවැකිවල හැටි.
කාලගුණ අනාවැකි ගැන තවත් වැදගත් කාරණයක් තමයි ඒව අඩුම තරමින් දිනකට දෙවරක්වත් යාවත්කාලීන වීම. කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් මොකක්ද මේ යාවත්කාලීන වීමේ ස්වභාවය? ඔබගේ වගාවට කෘමි නාශක ඉසීමට කාලගුණ අනාවැකිය සොයා බැලීම උදාහරණයට ගමු. අද දෙසැම්බර් 01 ලෙස ගෙන දෙසැම්බර් 10 වෙනිදා ඔබගේ භෝග වගාවට කෘමි නාශක යෙදීමට බලාපොරොත්තු වන බැවින් අද(දෙසැම්බර් 01) අනාවැකි පරික්ෂා කිරීමේදී දෙසැම්බර් 10 දින වැසි රහිත දිනයක් බව ඔබ දකිනව. ඒ අනුව ඔබ කෘමි නාශක යෙදීමට අවැසි දේ සූදානම් කර තබා ගන්නව. තවත් දින කිහිපයකට පසුව දෙසැම්බර් 4 දින නැවතත් පරික්ෂා කිරීමේදී ඔබ දකිනව 10 දින, වැසි සඳහා කුඩා ඉඩක් තිබෙන බව. දෙසැම්බර් 7 පරික්ෂා කිරීමේදී නැවතත් වැසි රහිත බව දකිනව. දෙසැම්බර් 9 දින පරික්ෂා කිරීමේදී ඔබ දකින්නේ, දෙසැම්බර් 10 දින වැස්ස සඳහා 85%ක ඉඩක් පවතින බව. වැසි සහිත අවස්ථාවක කෘමි නාශක යෙදීමෙන් අපේක්ෂා කරන ප්‍රතිපල නොලැබෙන බැවින් ඒ සඳහා සුදුසු වෙනත් දිනයක් යොදා ගැනීමට ඔබ කල්පනා කරනව. මේ උදාහරණයේ ආකාරයට දින දහයක් තුල එක දිනක අනාවැකිය කිහිප විටක් වෙනස් වන ආකාරය දක්වා තියෙනව. මෙසේ අනාවැකි වෙනස් වනුයේ ඒවා නවතම දත්ත යොදාගෙන යාවත්කාලීන කරන බැවින්. කෙසේ වෙතත් අනාවැකිය අවශ්‍ය දිනයට කිට්ටු වනවිට කාලගුණ ආයතන විසින් ලබා දෙන අනාවැකිවල නිවැරදිබව වැඩියි. ඒ නිසා ඔබ අවදානය යොමු කල යුත්තේ වඩාත්ම යාවත්කාලීන අනාවැකිය වෙතයි.
කාලගුණ අනාවැකිවල නිවැරදිබව ශ්‍රේණි ගත කළහොත් සමකාසන්න රටවල අනාවැකි නිවැරදි බවෙන් වඩාත් අඩුයි. අනාවැකි පල කිරීමට අපහසුම පරාමිතිය ලෙස වැස්ස/හිම දැක්විය හැකියි. එසේම සංවහනය නිසා ඇතිවන වැසි පුරෝකථනය වඩාත් දුෂ්කර බවක් ගන්නව. 02 රූපය අශ්‍රයෙන් සුළං අනාවැකිය දෙස බැලීමේදී බෙංගාල බොක්ක මුහුදේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ වර්ධනය පිළිබඳව විවිධ මොඩල විසින් විවිධ අනාවැකි දක්වා තිබෙන බව දකින්න පුළුවන්. බෙංගාල බොක්කේ වැඩිම ප්‍රමාණයක් සහ ලංකාව ආශ්රිත කලාපය සමකාසන්න කලාපය වීම මෙයට මුලික හේතුවක්. ලංකාවට අදාලව අනාවැකි වරදින්න ප්‍රධාන හේතු විදියට ප්‍රධාන සාගර කලාප තුනකට මැදිවූ දූපතක් වීම, සංකීර්ණ භූ විෂමතාවය සහ සමකාසන්න පිහිටුමහඳුනා ගන්න පුළුවන්.
හොඳම ඇප් එක මොකද්ද එතකොට?
හොඳම ඇප් එකක් ගැන කතා කරන්න නම් සියලුම ඇප්ස්වල නිශ්චිත එකම සේවාවක් ලබා දීමේදී පවතින වාසි අවාසි සංසන්දනය කරන්න අවශ්‍යයි. ඒක කරල ඉවර කරන්න සෑහෙන කාලයක් අවශ්‍ය වැඩක්. කෙසේ වෙතත් මූලික වශයෙන් ඇප් එකක කාලගුණ අනාවැකිය වඩාත් නිවැරදි වෙන්න අවශ්‍යයි. ලෝකයේ අනාවැකි මොඩලවල නිවැරදිතාවය අතින් වඩාත් ඉහලින් වර්තමානයේ සිටින්නෙ ECMWF මොඩලයයි. ඒ වගේම nowcasting සඳහා Google වඩාත් සාර්ථක AI ක්රමෝපායන් දියත්කර ඇති බව දකින්න පුළුවන්. මේ කාරණා දෙකම සැලකීමේදී nowcasting එනම් දවසේ අනාවැකි අවශ්‍යතාවය සඳහා Google වඩාත් හොඳ සේවාවක් නොමිලේම ලබා දෙන බව මගේ හැඟීමයි. එසේම දිනයක් හෝ දින කිහිපයකට එපිටින් පැවතිය හැකි කාලගුණය පරික්ෂා කිරීමට අවශ්‍යයි නම් ECMWF අනාවැකි දත්ත පිරික්සා බැලීම මගින් වඩා හොඳ අදහසක් ලබාගන්න පුළුවන්. දින කිහිපයක අනාවැකි සහ සෙසු සේවා සම්බන්ධයෙන් අවධානය යොමු කරනවිට වර්තමානයේ windy යෙදවුම වඩාත් යෝග්‍ය බව දකින්න පුළුවන් උනත් මේ ඇප් එක භාවිතා කරන්න කාලගුණය සහ මොඩල ගැන මුලික දැනුමක් අවශ්‍ය වීම මත බොහෝ දෙනෙක් භාවිතා කිරීමට මැලි කමක් දක්වනවා.
සොයා බලන්න තෝරා ගන්න.
සාම්ප්‍රදායික NWP සහ ඇප්ස් වල අනාවැකි සංසන්දනය කිරීමේදී ඇප්ස් මගින් ලබාදෙන ඉදිරි පැය කිහිපය සඳහා ලබාදෙන අනාවැකි වඩාත් නිවැරදි බව සත්‍යයක්. නමුත් ඒ අනාවැකි පවා 100%ක් නිවැරදි නොවන බව සිහිපත්කල යුතුමයි. මීට අමතරව ඇප්ස් මගින් අධික උෂ්ණ තත්ත්වයන්, ශ්වසන ආබාධ ඇතිකළ හැකි වායුදුෂක ගැන තොරතුරු, සුළං, අකුණු සහ වලාකුළු වගේම අනතුරු ඇඟවීම් ක්ෂණිකව පරිශීලකයා ජීවත් වන ප්‍රදේශයට අදාලව ඔහු හට ලබාදීම මගින් අනතුරු වලක්වාගැනීමට ඉමහත් සේවයක්ලබා දෙනව. එබැවින් කාලගුණ අනාවැකි යෙදවුමක් භාවිතා කිරීම ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරන සැමගේම අත්‍යවශ්‍ය කාරණාවක් බව මගේ හැඟීමයි.
ඔබගේ අවශ්‍යතාවයන් අනුව නොමිලේ සහ මාසිකව හෝ වාර්ෂිකව මුදල් ගෙවා කාලගුණ යෙදවුම් ලබාගත හැකියි. මෙම බොහෝ ඇප්ස් වලින් වැස්ස පිලිබඳ කාලගුණ අනාවැකියට අමතරව සේවාවන් ගණනාවක්ම ලබා දෙන අතර බොහෝ ඇප්ස් මූලික දත්ත සහ සේවාවන් නොමිලේම ලබා දෙයි.
අවසාන වශයෙන් ඔබ ඕනෑම ඇප් එකක් තෝරා ගැනීමේදී එහි සේවාවන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් තෝරා ගැනීමඅත්යවශ්යයි. විශේෂයෙන්ම එම කාලගුණ යෙදවුමේ අනාවැකි ගැන නිරීක්ෂණය කරන්න. ඉදිරි පැය කිහිපයේ අනාවැකි, දින කිහිපයක අනාවැකි සහ සති, මාස පිලිබඳ අනාවැකි ගැන සොයා බලන්න. මේ සඳහා ඔබගේ නිරීක්ෂණ වගේම කා.වි.දෙ. නිරීක්ෂණ දත්ත යොදා ගන්න පුළුවන්. ඒ අනුව ඔබ ජීවත් වන ප්‍රදේශයට වඩාත් නිවැරදි අනාවැකි ලබාදෙන ඇප් එකක් මුදල් ගෙවා උවද ලබාගැනීම මගින් ඔබගේ වැඩ කටයුතු, විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීම මගින් ඉහල ප්‍රතිලාබ ලබා ගත හැකියි.
2 Comments
නමුත් මේ එල්නිනෝ තත්වයන් වගේ ඇති වල අවස්තාවලදි කාලගුණික app වලින් දෙන තොරතුරු වෙනස් වෙනවා නේද සැබෑ කාලගුණික තත්වයන් එක්ක?.ඒකට අපි මොකද කරන්නෙ?
ReplyDeleteඑල් නීනියෝ කියන්නෙ දීර්ඝ කාලීනව බලපෑම් ඇති කරන සංසිද්ධියක් නිසා කාලගුණික ආකෘති වලින් බොහෝ දුරට අනාවැකි දෙන්න පුළුවන්. ගොඩක්ම අසීරු වෙන්නෙ කෙටි කාලීන සංසිද්ධි පුරෝකථනය. උදාහරණයක් විදියට ගිගුරුම් සහිත වැහි පුරෝකතනයේදී ගොඩක් ආකෘති ෆේල් වෙනව.
Delete