ඔක්තෝම්බර්-නොවැම්බර් කොළඹට ගංවතුර ද?
පසුගිය සැප්තැම්බර් 03 දින කොළඹ කොටුව ප්‍රදේශයට ලැබුන මි.මී. 90.9ක වැස්සත් සමග දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇතිවූ වැසි හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ බව දකින්න පුළුවන් උනා. The Sunday Times වෙබ් අඩවිය දක්වන ආකාරයට කොළඹ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව මහා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර මේ සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති මුත් අනවසර ඉදිකිරීම්, නොවිසඳුණු නඩු, පටු අපවහන පද්ධති සහ ජල අපවහන පද්ධති වෙත සිදුකරන නිරන්තර කසල දැමීම් හේතු විය හැකි බවත් වරාය නගරය ඉදි කිරීම මගින් කොළඹ නගරය ජලයෙන් යටවීමට යම් බලපෑමක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට කොළඹ මහ නගර සභාව වරාය අධිකාරිය සමග එක්ව කටයුතු කරමින් සිටින බවත් කොළඹ මහනගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසා සිටි බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
සැප්තැම්බර් 03 වර්ෂාව ස්ථානීය වශයෙන් තරමක අඩු අගයක් ගත්තත් දිස්ත්‍රික්කය පුරා බොහෝ ප්‍රදේශවලට වැසි ලැබීම නිසා එකතුවූ ජල ප්‍රමාණය වැඩි බව නිරීක්ෂණය වුනා. කෙසේවෙතත් අදාළ දිනයේදී කොළඹ ජලයෙන් යටවන මට්ටමේ අධික වැස්සක් ලැබුනද? නැතිනම් ගංවතුර ආවද? වෙනත් යම් හේතුවක්ද? මේ පිළිබඳව සවිස්තරාත්මක පර්යේෂණයක් සොයා ගැනීමට නොහැකි උවත් නිරීක්ෂිත තොරතුරු අනුව ගංවතුර තත්ත්වයක් වාර්තාවී නැති අතර කොළඹ බොහෝ ප්‍රදේශවලට එකතුවූ ජලය නිසිපරිදි බැසයාම සිදු නොවීම මත ඇතිවූ ජල-ගැලීම් තත්ත්වයක් බව සිතිය හැකියි.
ඔක්තෝම්බර් සහ නොවැම්බර් යනු දෙවැනි අන්තර් මෝසම් කාලයයි. පර්යේෂණ පත්‍රිකාවන් අනුව ලංකාවේ දෙවන අන්තර් මෝසම කෙරෙහි ගෝලීය එල්-නීනියෝ දක්ෂිණ දෝලනය (El Niño–Southern Oscillation - ENSO) වඩාත් බලපෑම් ඇතිකරන බව සොයාගෙන ඇති අතර ENSOහි එල්-නීනියෝ තත්ත්වය විසින් සමස්ථ වැසි ප්‍රමාණයන් වැඩි කරන බව තවදුරටත් සොයාගෙන ඇත. දීර්ඝ කාලීන ලා-නීනියා තත්වයකට පසුව එළඹෙන මෙවර දෙවන අන්තර්මෝසම් වැසි එල්-නීනියෝ හි බලපෑමට ලක්වීමේ ඉහල හැකියාවක් පවතින බැවින් විශේෂයෙන්ම මෙම තත්ත්වය යටතේ කොළඹ ප්‍රදේශයේ වැස්ස කුමන ආකාරයේ වෙනස්කම්වලට ලක්විය හැකිද යන්න සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.
01.රූපය - 1950-2022 වසරවලදී නිරීක්ෂණය වී ඇති සාමාන්‍ය වර්ෂාපතන(මි.මී.) අගයන්. (a) ඔක්තෝම්බර් මාසය. (b) නොවැම්බර් මාසය.
ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල පවතින සාමාන්‍ය වර්ෂාපතන තත්වයන් විමසා බැලීමේදී වසරේ මුළු වර්ෂාපතනයෙන් 30%ක් පමණ මේ මාස දෙක තුලදී ලැබෙන බව කා.වි.දෙ. පර්යේෂණ පෙන්වා දෙයි. නිරිතදිග මෝසම් කාලයට පසුව එළඹෙන දෙවන අන්තර් මෝසම් කාලයේ ප්‍රධාන වශයෙන් සංවහන වැසි ඇතිවීම වගේම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඇතිවන පීඩන අවපාත සහ සුළිකුණාටු හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට වැසි ව්‍යාප්ත වීමක් දකින්න පුළුවන්. 01.රූපයේ දැක්වෙන පරිදි ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව තරමක වැසි වැඩි වීමක් නොවැම්බර් මාසයේ දකින්න පුළුවන් උනත් වැසි රටාවේ සැලකියයුතු වෙනස්කමක් දැකිය නොහැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව මධ්‍යම කඳුකරයෙන් බටහිර ප්‍රදේශවලට වැඩි වැසි ලැබීම සාමාන්‍ය තත්වය බව පෙනේ.
ගෝලීය එල්-නීනියෝ දක්ෂිණ දෝලනය (ENSO) යනු වසර 2ත් 7ත් අතර ආවර්ත කාලයක් සහිතව නැවත නැවතත් ස්වාභාවිකවම නිර්මාණය වන, ගෝලීය කාලගුණ සහ දේශගුණ රටාවන්ට වඩාත් බලපෑම් සිදුකළහැකි සංසිද්ධියක් බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. ENSO හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවලට විවිධාකාර මට්ටමේ බලපෑම් ඇතිවිය හැකි අතර ලංකාවේ සිදුවියහැකි කාලගුණික/දේශගුණික විචලනයන් පිලිබඳ පසුගිය දත්ත ඇසුරින් සිදුකරන ලද ලිපිය මේ සබැඳියෙන් කියවන්න.
02.රූපය - 1950-2022 වසරවල සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව ENSO හි ආකාර ත්‍රිත්වය පැවති වසරවල ඔක්තෝම්බර් මාසයේ සිදුවී ඇති වර්ෂාපතන(මි.මී.) විචලනයන්. (a) ලා-නීනියා කාලය. (b) ENSO නිෂ්ක්‍රීය කාලය සහ (c) එල්-නීනියෝ කාලය.
02 සහ 03 රූපසටහන් සඳහා 1950 සිට 2022 දක්වා ඔක්තෝම්බර් නොවැම්බර් ENSO දත්ත භාවිතා කරඇති අතර එම විශ්ලේෂණයන් අනුව ලා-නීනියා පැවති ඔක්තෝම්බර් මාස වලදී දිවයිනේ සාමානයෙන් පැවතිය යුතු වර්ෂාවට සාපේක්ෂව වඩාත් අඩු වැසි නිරීක්ෂණය වී ඇති බවක් දකින්න පුළුවන් වගේම ENSO නිෂ්ක්‍රීය අවස්තාවන් වලදී තරමක වැඩි වැසි පවතී ඇති බවත් එල්-නීනියෝ අවස්ථාවලදී සැලකියයුතු මට්ටමේ වැඩි වැසි සහිත බවක් නිරීක්ෂණ මගින් ලැබී ඇති බව 02.රූපය ඇසුරින් දැකිය හැක. 03.රූපය මගින් දැක්වෙන පරිදි නොවැම්බර් මාසයේදීත් ලා-නීනියා කාලප්‍රාන්තර වලදී නොවැම්බර් සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව අඩුවෙන් වැසි ලැබී ඇති බව පෙනේ. මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන් සබරගමුව පළාතේ දැකිය හැකි අතර එල්-නීනියෝ කාල වලදී වර්ෂාපතනයන්ගේ වැඩි වීමක් දකින්න පුළුවන්. ENSO නිෂ්ක්‍රීය අවස්ථාවන්වලදීත් සබරගමුව පළාත්වල වැඩි වැසි ලැබීම් නිරීක්ෂණය වී ඇති බව තව දුරටත් පෙනේ.
03.රූපය - 1950-2022 වසරවල සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව ENSO හි ආකාර ත්‍රිත්වය පැවති වසරවල නොවැම්බර් මාසයේ සිදුවී ඇති වර්ෂාපතන(මි.මී.) විචලනයන්. (a) ලා-නීනියා කාලය. (b) ENSO නිෂ්ක්‍රීය කාලය සහ (c) එල්-නීනියෝ කාලය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් කාල වලදී කොළඹ ජල ගැලීම් 01 වගුවේ දක්වා ඇත. 1928 සිට 2022 දක්වා කොළඹ ගංවතුර තත්ත්වයන් 14ක් වාර්තා වී ඇති අතර 1930 සහ 1947 ඔක්තෝම්බර් සඳහා ENSO දත්ත ගණනය කර නොමැත. කෙසේ වෙතත් 1952 සිට 2022 දක්වා ගංවතුර අවස්තාවන් 12ක් වෙයි. මෙම අවස්තාවන් 12න් 7ක්ම සිදුවී ඇත්තේ ENSO නිෂ්ක්‍රීය අවස්ථාවන්වලදී වීම කැපී පෙනෙයි. ඒ වගේම ඔක්තෝම්බර් මාසයේ ගංවතුර වාර්තාවීම වැඩි අගයක් බව පෙනේ. පසුගිය වසර 92ක කාලය තුල එල්-නීනියෝ අවස්ථාවකදී ගංවතුර තත්ත්වයන් එකක් පමණක් ඇතිවීමත් දත්ත අතර විශේෂිතයි. ඒ අනුව වගුවේ දැක්වෙන පරිදි ගංවතුර තත්ත්වයන්ගේ යම් සුලබ බවක් ENSO හි නිෂ්ක්‍රීය අවස්ථාවන්වල නිරීක්ෂණය වේ.
01. වගුව - 1928-2022 දක්වා කොළඹ පැවති ජලගැලීම් සහ අදාළ ජල මට්ටම්(අඩි)
Year |
Water Level
(ft) |
Category |
Month |
ENSO |
1930 |
9.83 |
Dangerous
Flood |
October |
No Data |
1947 |
6.0 |
Minor Flood |
October |
No Data |
1952 |
6.0 |
Minor Flood |
October |
Neutral |
1955 |
8.0 |
Major Flood |
October |
La-Nina |
1963 |
6.42 |
Minor Flood |
October |
El-Nino |
1966 |
9.0 |
Major Flood |
October |
Neutral |
1967 |
9.17 |
Dangerous
Flood |
October |
Neutral |
1990 |
5.0 |
Minor Flood |
November |
Neutral |
1992 |
5.33 |
Minor Flood |
October |
Neutral |
1993 |
5.0 |
Minor Flood |
October |
Neutral |
1995 |
5.0 |
Minor Flood |
October |
La-Nina |
2005 |
5.65 |
Minor Flood |
November |
La-Nina |
2012 |
5.4 |
Minor Flood |
November |
Neutral |
2022 |
5.35 |
Minor Flood |
October |
La-Nina |
04.රූපය - වර්ෂ 1928-2022 දක්වා කාලය තුළ කැළණි ගඟේ ජල මට්ටම ඉහළයාම නිසා කොළඹ ඇතිවූ විවිධ පරිමාණයේ ගංවතුර අවස්තාවන් ENSO හි ලා-නීනියා, නිෂ්ක්‍රිය සහ එල්-නීනියෝ යන එක් එක් මුහුණුවර සමග.
මීළඟට කොළඹ නගරය ආශ්රිත වර්ෂාපතන වාර්තා මධ්‍යස්ථාන කිහිපයක වාර්තා වී ඇති දත්ත යොදාගෙන එම එක් එක් මධ්‍යස්ථානයේ වර්ෂාපතන දත්තවල හැසිරීම ENSO හි අවස්ථාවන් අනුව පෙළගස්වා බලමු.
(මෙම ඡේදය මගින් සාමාන්‍ය වර්ෂාපතනය, සාමාන්‍යයට අඩු වර්ෂාපතනය සහ සාමාන්‍යයට වැඩි වර්ෂාපතනය ලෙස ගණනය කරන්නේ කුමක්ද යන්න සංඛ්‍යානය අනුව පැහැදිලි කෙරේ. දීර්ඝ කාලයක වැසි දත්ත ඇසුරින්, යම් සලකන ස්ථානයක වර්ෂාපතන අගයන් එම ස්ථානයේ ලැබී ඇති සාමාන්‍ය වර්ෂාපතනයක්, සාමාන්‍යයට වැඩි වර්ෂාපතනයක් සහ සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලෙස කාණ්ඩ තුනකට බෙදා දක්වමු. ඒ අනුව දීර්ඝකාලීන වර්ෂාපතන දත්තයන්ගේ මධ්‍යන්‍ය අගය m සහ එම දත්ත ශ්‍රිතයේ සම්මත අපගමනය d නම් දත්ත ව්‍යාප්තියේ 68%ක් පමණ m - d සහ m + d සීමාවන්/අගයන් අතර පවතීයි. ඒවා සාමාන්‍ය වර්ෂාපතන අගයන්(About Normal/ Normal ) ලෙස හඳුනාගනිමින් පහත රූප සටහන් සකසා ඇති අතර, m - d අගයටත් වඩා අඩු වර්ෂාපතන අගයන් සාමාන්‍යයට වඩා පහල(Below Normal) අගයන් ලෙසත් m + d අගයට වඩා වැඩි වර්ෂාපතන අගයන් සාමාන්‍යයට වඩා වැඩි (Above Normal) අගයන් ලෙසත් 05 සිට 08 දක්වා රූප සටහන්වල දක්වා ඇත.)
අංගොඩ රෝහල, අවිස්සාවේල්ල රෝහල, කොළඹ කොටුව සහ මාවනැල්ල යන ස්ථානයන්හි වැසි දත්ත අනුව ENSO හි නිෂ්ක්‍රීය මුහුණුවර සහිත අවස්ථාවන්වලදී සාමාන්‍ය වර්ෂාවක් ලැබීම වඩාත් ඉහල සම්භාවිතාවක් ගෙන ඇති බව දකින්න පුළුවන්. ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස ද්විත්වයටම මෙය යම් පොදු ස්වභාවයක් ගෙන ඇති අතර ENSO එල්-නීනියෝ සහ ලා-නීනියා වීම අනුව උවත් සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබීමේ තරමක වැඩි ඉඩක් පවතී.

කෙසේ වෙතත් ඔක්තෝම්බර් මාසයේ එල්-නීනියෝ තත්ත්වයන් යටතේ "සාමාන්‍යයට වඩා වැඩි වැසි" ඇතිවීමේ සැලකියයුතු සම්භාවිතාවක් ඇති බව 05.a), 06.a), 07.a) සහ 08.a) ප්‍රස්ථාර දෙස බැලීමේදී නිරීක්ෂණය වේ.



ලංකාවේ වැසි රටාවන් අධ්‍යයනය කිරීමේදී ඔක්තෝම්බර් සහ නොවැම්බර් යනු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවන පීඩන අවපාත සහ සුළි කුණාටු නිසා වැසි තත්ත්වයන් නිර්මාණය වන මාස දෙකක් බව දකින්න පුළුවන්. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවන සුළිකුණාටු පද්ධති විසින් ලංකාව ආශ්‍රිතව සුළන් රටාවේ සිදුකරන වෙනස නිසා විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැඩි වැසි ප්‍රමාණයන් ලැබෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙම තත්ත්වයන් ඇති කිරීමට වඩාත් වැඩි හැකියාවක් සහිත වන්නේ මධ්‍යම බෙංගාල බොක්කේ ඇතිවන පද්ධති විසින් බව දැකිය හැකියි.
09.රූපය - උතුරු අක්ෂාංශ 7-15ත් නැගෙනහිර දේශාංශ 80-90ත් අතර 1891-2022 දක්වා වසරේ විවිධ මාසවලදී නිර්මාණය වී ඇති පීඩන අවපාත, සුළිකුණාටු සහ චණ්ඩ සුළිකුණාටු ගණන.
1891 සිට 2022 දක්වා, වසරේ එක් එක් මාසයේදී, මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාප ලෙස ආරම්භ වී ඒ ඒ පද්ධතියේ අවසන් වර්ධන ස්වරූපය ලෙස පැවති පීඩන අවපාත (Depressions), සුළිකුණාටු (Cyclones) සහ චණ්ඩ සුළිකුණාටු (Severe Cyclones) ගණන ප්‍රස්ථාරගත කිරීමෙන් 09.රූපය සකසා ඇත. ඒ අනුව බලනකල ඔක්තෝම්බර් සහ නොවැම්බර් යනු බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන පද්ධති නිසා ලංකාවේ වැස්සට නිරන්තර බලපෑම් සිදුවන කාලයක් බව පැහැදිළි වේ. මෙම පද්ධති 10.රූපය අනුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල පැවති ENSO මුහුණුවරයන්ට අනුරූපව පෙලගැස්වීමේදී දැකිය හැකි වනුයේ එල්-නීනියෝ කාලයන් ඇතුලත යම් ආකාරයට පීඩන අවපාත, සුළිකුණාටු සහ චණ්ඩ සුළිකුණාටු වාර්තා වීම අඩු අගයක් වී ඇති බවයි.
10.රූපය - උතුරු අක්ෂාංශ 7-15ත් නැගෙනහිර දේශාංශ 80-90ත් අතර 1950-2022 දක්වාකාලය තුළ ENSO හි වෙනස් මුහුණුවරයන්හිදී නිරීක්ෂණය වී ඇති පීඩන අවපාත, සුළිකුණාටු සහ චණ්ඩ සුළිකුණාටු ගණන. වම්පස ඔක්තෝම්බර් මාසය සහ දකුණුපස නොවැම්බර් මාසයේ දත්ත අඩංගු වේ.
තවද ENSO නිෂ්ක්‍රීය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී බෙංගාල බොක්කෙ සුළිකුණාටු වඩාත් සක්‍රීය වී ඇති ආකාරයක් දත්ත ඇසුරින් දකින්න පුළුවන්.
නිරීක්ෂණ නිගමන සහ සාකච්ඡා:
ENSO හි එල්-නීනියෝ තත්ත්වය නිසා ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල පැවතිය හැකි සාමාන්‍ය වැස්සට වඩා වැස්ස (Above average rainfalls) වැඩි වීමේ සැලකිය යුතු හැකියාවක් පවතී. කෙසේ වෙතත් ENSO හි එක් එක් මුහුණුවර අනුව ලංකාවේ වැසි ව්‍යාප්තියේ සිදුවිය හැකි වෙනස්කම් නිශ්චිත වශයෙන්ම සිදුවන බව පැවසිය නොහැකි අතර සැලසුම් සකස් කිරීම සහ සුදානම් වීම වෙනුවෙන් මෙම විශ්ලේෂණය මගින් යම් සහයක් ලැබෙන බව සිතමි.
පසුගිය වසර 92ක දත්ත දෙස බැලීමේදී එල්-නීනියෝ සහිත අවස්තාවක එක් වරක් පමණක් 1963දී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති අතර සෙසු ගංවතුර අවස්ථාවන් ENSO නිෂ්ක්‍රීය සහ ලා-නීනියා අවස්ථාවන්වල ඇතිවී තිබේ. ඒ අනුව මෙවර 2023දී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාත්මක අගය අඩු වුවත් එසේ සිදු නොවන බව පැවසිය නොහැක.
කොළඹ නගරසභා බල ප්‍රදේශයේ ජල අපවහන පද්ධතියේ පවතින දෝෂ සහිතබව නිසා ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් තොරවම තරමක තද වැසි (මි.මී. 50-100) සහිත අවස්ථාවන් වලදී උවත් නගරය ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බව සැප්තැම්බර් 03 දින සිදුවීමෙන් නිරීක්ෂණය වේ.
ලංකාවේ වර්ෂාව කෙරෙහි කෙටිකාලීන සහ දිගුකාලීන බලපෑම් ඇතිකලහැකි සංසිද්ධීන් අතර ඉන්දීය සාගර ද්වී ද්රැවය ( Indian Ocean Dipole - IOD ) සහ මැඩන් ජුලියන් දෝලනය (Madden Julian Oscillation - MJO) ප්‍රධානයි. කෙසේවෙතත් ඉහත වාර්තාවෙන් IOD සහ MJO හි බලපෑම සාකච්ඡා නොකරන අතර මේ වනවිට ඉන්දියන් සාගරයේ පවතින ධන (+) IOD තත්ත්වය විසින් ENSO හි ක්‍රියාකාරිත්වය තවදුරටත් වැඩි කිරීමේ හැකියාවක් පවතී. නමුත් ENSO සහ IOD ක්‍රියාකාරිත්වය කෙටිකාලීනව අඩු හෝ වැඩි කිරීමේ හැකියාව MJO සතුවෙයි. දෙවැනි අන්තර් මෝසම් වර්ෂාව කෙරෙහි ENSO, IOD සහ MJO යන ත්‍රිත්වයේම ක්‍රියාකාරිත්වය ගැන සිදුකරන ලද අධ්‍යයනයක් මෙම සබැඳියෙන් කියවන්න.
දැනට පවතින ගෝලීය තත්ත්වයන් යටතේ විශේෂයෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල සාමාන්‍ය වැස්සට සාපේක්ෂව වැඩි වැසි ලැබීමේ සැලකියයුතු සම්භාවිතාවක් පවතින බැවින් ඒ සඳහා පෙර සුදානමක් සහිතව වැඩකටයුතු සැලසුම් කිරීම අවශ්‍ය වේ. ඒ අනුව අපජලය බැසයාමේ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම වඩාත් අවශ්‍ය විය හැකියි.
මෙම ලිපිය සැකසීම සඳහා දත්ත ලබාදුන් දේශීය සහ විදෙස් ආයතන ස්තූතිපූර්වකව සිහිපත් කරන අතර ලිපියේ අන්තර්ගතය පිළිබඳව හෝ දත්ත සහ ක්‍රමවේද සම්බන්ධයෙන් යම් වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් email පණිවුඩයක් මගින් විමසන්න.
Malith Fernando
rmpfernando@gmail.com
01. ERA5 Land Monthly data from www.ecmwf.int
02. ENSO data from www.weather.gov/ncep
03. කොළඹ ජලගැලීම් මට්ටම් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව.
04. කොළඹ වර්ෂාපතන දත්ත - කා.වි.දෙ.
05. සුළිකුණාටු දත්ත - ඉන්දීය කාලගුණවිද්‍යා ආයතනය.
Plotting and Manipulation tools:
GrADS, CDO, Python, Excel
1 Comments
1989,2016 ගංවතුර තත්වයන් හා ගගේ මට්ටම් දාලා නෑ නේද?
ReplyDelete