1983 අප්‍රේල් 10 මිනිස්සුන්ට දැනුන උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක්!

අප්‍රේල් යනු ලංකාවෙ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහලයන කාලයක්. මාසයේ ආරම්භයත් සමගම සුර්යයාගේ මුදුන් වීමෙන් දිවයිනට ලැබෙන සුර්ය විකිරණ ප්‍රමාණය උපරිම වන අතර අන්තර් මෝසම් කාලය බැවින් දිවයින හරහා පවතින හුළඟ අවම වෙයි. ඒ අනුව පහළ වායුගෝලයේ ජලවාෂ්ප ප්‍රමාණය තරමක් වැඩි නිසා දහඩිය සිරුරින් ඉවත්ව යාම අවම මට්ටමක පවතී. ඉහත කරුණු සියල්ලම අනුව සිරුරට දැනෙන උෂ්ණත්වය වාතයේ උෂ්ණත්වයට වඩා වැඩි අගයන් ගනී. 

තරමක් රස්නෙ දවසක උනත් සුළං පවතී නම්, දහඩිය ඉක්මනින් වාෂ්ප වන ආකාරයක් පවතී නම් එතරම් උෂ්ණ බවක් නොදැනෙන අතරම, අඩු උෂ්ණත්වයකදී උවත් සුළං නොමැතිව දහඩිය වාෂ්පවී නොයයි නම් සිරුරට වඩාත් අපහසුවක් දැනෙනව. මෙහෙම වෙන්නෙ, උෂ්ණත්ව මානයකින් ඍජුවම මනිනු ලබන උෂ්ණත්වයට වඩා මිනිසුන් ඇතුළු ජීවී ප්‍රජාවට උෂ්ණත්වය දැනෙන ආකාරයේ යම් වෙනසක් පවතින නිසා.

ජීවී සිරුරට දැනෙන මෙම උෂ්ණ ස්වභාවය ගණනය කිරීම සඳහා විවිධ පරාමිතීන් භාවිතා කරමින් විවිධ ගණනය කිරීම් හරහා දර්ශකයන් සකසා භාවිතා කරන අතර එක්සත් ජනපද National Weather Service විසින් හඳුන්වා දෙන ලද උෂ්ණ දර්ශකය (Heat Index) ලොව බොහෝ ආයතන භාවිතා කරයි. වාතයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව භාවිතා කරමින්  එම දර්ශකය ගණනය කරනු ලබන අතර සිරුරට දැනෙන උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් දැක්විය හැක.

වසර කීපයකට ප්‍රථම කා.වි.දෙ. සහ දේශීය සෞඛ්ය අංශ විසින් ලංකාවට ගැලපෙන පරිදි ඉහත උෂ්ණ දර්ශකයේ අගයන් පහත පරිදි කාණ්ඩ කිහිපයක් ලෙස හඳුන්වා දුන් අතර එම කාණ්ඩයන්ගෙන් අවදානය යොමුකළ යුතු මට්ටම හෝ ඊට ඉහල අගයන් ගන්නා විට එම දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරනු ලබයි


28-37 අතර - සාමාන්‍යයි.

39-45 අතර - අවධානය යොමු කල යුතුවේ.

වැඩි වෙලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් වල නියුතු වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැක.  තවදුරටත් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඬු පෙරළීම(heat cramps) සිදුවිය හැක.

46-52 අතර - වැඩි අවධානයක් යොමු කල යුතුවේ.

විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම(heat cramps) සහ අධික මහන්සිය(heat exhaustion) ඇති විය හැක. තවදුරටත් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ශරීරයේ උෂ්ණත්වය නියාමන ක්‍රියාවලිය අඩපන වීම නිසා ආඝාත තත්ත්වයන්(heat stroke) ඇතිවිය හැක.

52ට වැඩි - අනතුරුදායකයි.

විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම(heat cramps) සහ අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය(heat exhaustion) ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත. තවදුරටත් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ශරීරයේ උෂ්ණත්වය නියාමන ක්‍රියාවලිය අඩපණ වී ආඝාත තත්ත්වයන්(heat stroke) ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. කා.වි.දෙ. විසින් නිකුත් කල නවතම උෂ්ණ දර්ශක අවදාම් නිවේදනය ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇත.

02. රූපය - කා.වි.දෙ. විසින් නිකුත් කරනු ලබන උෂ්ණ දර්ශක අවදාම දක්වන සිතියමක්.


සිරුරට දැනෙන අධික උණුසුම් ස්වභාවයන් නිසා ඇතිවිය හැකි සෞඛ්ය ගැටළු මගහරවා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් දැක්වේ.

  • ප්‍රමාණවත් ලෙස  ජලය පානය කිරීම අවශ්‍ය වන අතර අධික වෙහෙසකාරී එළිමහන් වැඩ කටුයුතු සීමා කිරීම අවශ්‍ය වේ.
  • කුඩා ළමයින්, ගර්භනී කාන්තාවන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින්ගේ සෞක්‍ය තත්ත්වය පිලිබඳව වඩාත් සැලකිලිමත් වීම අවශ්‍ය වේ.
  • කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා තැබීම සුදුසු නොවේ. (පාසැල් ප්‍රවාහන කටයුතු සිදුකරන අය මේ පිළිබඳව අවදානය යොමු කල යුතුවේ)
  • සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතය සුදුසු වේ.

02. රූපය-1983-04-10 දින දිවයිනේ වාර්තා වූ උෂ්ණ දර්ශක අගයන්(Heat Index) සහ වායුගෝලීය උෂ්ණත්ව(temperature) අගයන්.

1983 අප්‍රේල් 10 වෙනිද වවුනියා ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සෙල්සියස් අංශක 40.1, ලංකාවෙ දැනට වාර්තා වී ඇති උපරිම උෂ්ණත්වයයි. මේ දවසෙ පැවති දත්ත පාවිච්චි කරල අප්‍රේල් 10 දවල් 1.30 සිට 3.30 දක්වා කාලයේදී පැවති උෂ්ණත්ව අගයන් සහ එම කාල වලදීම 02 රූපයේ දැක්වේ. ඒ අනුව එම දවසේ දහවල් කාලයේදී සිරුරට දැනෙන උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 50කට පමණ ආසන්න වී ඇති බවක් දකින්න පුළුවන්.


Data - ECMWF’s ERA-5 Reanalysis data on April 10,1983 (https://www.ecmwf.int)

Tool - GrADS

0 Comments