පසුගිය දිනවල දිවයිනේ උපරිම උෂ්ණත්වයන්ගේ විචලනය දෙස බැලීමේදී රත්නපුර කා.වි.දෙ. මධ්‍යස්ථානයේ දත්තයන් සෙසු මධ්‍යස්ථාන දත්ත අතුරින් කැපී පෙනෙන ලෙස වැඩි බව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා රත්නපුර ආශ්‍රිතව පවතින සුවිශේෂී හේතු සොයා බැලීමට මෙම ලිපිය උත්සහ කරයි.


රත්නපුර විශේෂ ද?

රත්නපුර ප්‍රදේශයේ ඊටම සුවිශේෂී භූගෝලීය සහ දේශගුණ ලක්ෂණයන් හඳුනාගත හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටීම හේතුවෙන් නිරිතදිග මෝසම් කාලය ඇතුළු වසරේ වැඩි කාලයක් වර්ෂාව ලැබේ. ජනවාරි සහ පෙබරවාරි යනු වැසි දින අවම මාස වන අතර අනෙකුත් මාස වලදී මාසයෙන් වැඩි දින ගණනක් වැසි ලැබෙන බව දේශගුණ ලක්ෂණ පෙන්වා දෙයි. මෙම ලිපියේ අන්තර්ගතය සකස් වී ඇත්තේ කා.වි.දෙ හි රත්නපුර ප්‍රාදේශීය දත්ත එකතු කිරීමේ මධ්‍යස්ථානයේ දත්ත අනුවයි. 01 රූපයේ දැක්වෙන පරිදි එම නිරීක්ෂණ මධ්‍යස්ථානය නිම්නයක පිහිටා ඇත. මෙම ස්ථානයේ පිහිටුම් දත්ත; අක්ෂාංශ 6.68, දේශාංශ 80.4 සහ උන්නතාංශය මීටර් 86ක් වේ.


01 රූපය : දිවයින පුරා පිහිටි කා.වි.දෙ. නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ උන්නතාංශ අගයන් (කොළ පැහැය-උන්නතාංශය අවම, දුඹුරු-උන්නතාංශය මධ්‍යම, සුදු-උන්නතාංශය උපරිම); දකුණුපසින් රත්නපුර දත්ත මධ්‍යස්ථානය සහිත ප්‍රදේශය තවදුරටත් විශාලනය කර පෙන්වා ඇත.

උපරිම සහ අවම උෂ්ණත්ව කියන්නෙ මොනවද?

කා.වි.දෙ. ඇතුළු ලෝකයේ කාලගුණ සේවා සපයන ආයතන විසින් ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානවල ලබාගන්නා නිරීක්ෂණ පරාමිති දෙකක් ලෙස උපරිම සහ අවම උෂ්ණත්ව අගයන් හඳුන්වන්න පුළුවන්. මේවා මිණීම සඳහා සුවිශේෂී උෂ්ණත්ව මාන දෙකක් භාවිතා කරයි. ඒ අනුව උපරිම උෂ්ණත්වය මැනීම සඳහා රසදිය උෂ්ණත්ව මානයක් සහ අවම උෂ්ණත්වය මැනීම සඳහා මධ්‍යසාර උෂ්ණත්වමානයක් භාවිතා කරයි. එක් දිනකට එක් නිරීක්ෂණයක් පමණක් ලබා ගන්නා අතර සාමාන්‍යයෙන් දහවල් කාලයේ එම දවසේ උපරිම උෂ්ණත්වයත් අළුයම් කාලයේ එම දවසේ අවම උෂ්ණත්වයත් වාර්තා වෙයි.
දිවයින තුළ දිනපතා වාර්තා වන උපරිම සහ අවම උෂ්ණත්ව අගයන් කා.වි.දෙ. ෆේස්බුක් පිටුවෙන් බලාගත හැකි අතර 02 රූපයේ දැක්වෙන්නෙ 2025 පෙබරවාරි 01 සිට 15 දක්වා දිනවලදී වාර්තා වී ඇති උපරිම උෂ්ණත්ව අගයන්ගේ විචලනයයි. මෙහි විශේෂ කරුණ වනුයේ උපරිම උෂ්ණත්වයන්ගේ උපරිම අගය රත්නපුර ප්‍රදේශයෙන් දිනපතා වාර්තා වීමයි.

02 රූපය : කා.වි.දෙ. දත්ත මධ්‍යස්ථානවලින් 2025 පෙබරවාරි 01 දින සිට 15 දින දක්වා වාර්තා වී ඇති උපරිම උෂ්ණත්ව අගයන්.


ඇයි මෙහෙම වෙන්නෙ ?

ලෝකයේ දේශගුණික තත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ ඒ ඒ රටවල පිහිටුම සහ භූගෝලීය ලක්ෂණ මතයි. දිවයිනේ වර්ෂාව, උෂ්ණත්වය සහ සුළං වැනි මූලික කාලගුණික පරාමිතීන්ගේ හැසිරීම තීරණය වීමට ඉහත සුවිශේෂී ලක්ෂණ තීරණාත්මක කාර්යභාරයක් සිදුකරයි. 

නිරිතදිග මෝසම :

  • කාලය - මැයි සිට සැප්තැම්බර් දක්වා
  • වැස්ස සහ සුළං - ප්‍රධාන වශයෙන් නිරිත දෙසින් පැමිණෙන ජලවාෂ්ප සහිත සුළං, මධ්‍යම කඳුකරයේ හැපී ඉහළ නගිමින් සාදන වලාකුළු නිසා නිරිතදිග ප්‍රදේශවල වැසි ඇතිවේ.
  • උෂ්ණත්වය - උන්නතාංශය සමග වෙනස් වීමට අමතරව මධ්‍යම කඳුකරයෙන් නිරිතදිග ප්‍රදේශවල අඩු වන අතර සෙසු ප්‍රදේශවල වැඩි වෙයි.

ඊසානදිග මෝසම :

  • කාලය - දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා
  • වැස්ස සහ සුළං - ප්‍රධාන වශයෙන් ඊසාන දෙසින් පැමිණෙන ජලවාෂ්ප සහිත සුළං මධ්‍යම කඳුකරයේ හැපී ඉහළ නගිමින් සාදන වලාකුළු නිසා ඊසානදිග ප්‍රදේශවල වැසි ඇතිවේ.
  • උෂ්ණත්වය - උන්නතාංශය සමග වෙනස් වීමට අමතරව මධ්‍යම කඳුකරයෙන් නැගෙනහිර සහ ඊසානදිග ප්‍රදේශවල අඩු වන අතර සෙසු ප්‍රදේශවල තරමක් වැඩිවේ.

අන්තර් මෝසම් :

  • කාලය - මාර්තු සිට අප්‍රේල් සහ ඔක්තෝම්බර් සිට නොවැම්බර් කාලයන්.
  • වැස්ස සහ සුළං - ප්‍රධාන වශයෙන් සංවහනය හේතුවෙන් නිර්මාණය වන වලාකුළු නිසා දිවයිනේ තැනින් තැන වැසි/ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
  • උෂ්ණත්වය - උන්නතාංශය සමග වෙනස් වීම පවතී.

රත්නපුර දේශගුණය අනුව උපරිම උෂ්ණත්වයන්ගේ ඉහළ අගයන් වාර්තා වනුයේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් කාලයන්හිදී බව 04 රූපයේ දත්ත අනුව පැහැදිලියි. කෙසේ වෙතත් මාර්තු සහ අප්‍රේල් යනු සමස්තයක් වශයෙන් දිවයිනේම උෂ්ණත්ව අගයන් ඉහළ යන කාලයක්. උෂ්ණත්වය අඩු/වැඩි වීම සහ යාමනය වීම කෙරෙහි සාධක ගණනාවක් පවතින අතර සූර්ය විකිරණය, භූගෝලීය සාධක, වැසි සහ සුළං රටාවන් ඒ අතුරින් ප්‍රධානයි. කෙසේ නමුත් රත්නපුර උෂ්ණත්වය වැඩි වේම කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු තුනක් හඳුනාගන්න පුළුවන්. 

01. මිටියාවතක සිදුවන තාපය සිරවීම.

කඳුවලින් වටවූ ප්‍රදේශයක් ආශ්‍රිත මිටියාවතක් ලෙස රත්නපුර හඳුනා ගත හැකි අතර මේ නිසා දහවල් කාලයේ රත්වන පොලොව සහ සුළං එම ප්‍රදේශයේම සිරවී පවතින ස්වභාවයක් ඇත. 03 රූපය සහ 01 රූපය නිරීක්ෂණයෙන් මෙය වටහා ගන්න පුළුවන්. මේ නිසා පොලොව ආශ්‍රිත පහල වායුගෝලය සාපේක්ෂව වැඩි උෂ්ණත්වයන් පැවතිය හැකියි.

02. ඊසානදිග මෝසම් සුළං මගින් නිරිතදිග ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි වීම.

ඊසාන දෙසින් පැමිණෙන සුළං මධ්‍යම කඳු පද්ධතිය හේතුවෙන් වායුගෝලයේ ඉහළ නැගීම සහ නැවත බටහිර බෑවුම පිස පහළට හමා ඒමේදී වායු තෙරපුම මත ප්‍රාදේශීයව නිර්මාණය වන වැඩි පීඩන කලාපයන් පැවතිය හැකි වේ. මේ නිසා එම කලාප ආශ්‍රිතව උණුසුම් වීම දකින්න පුළුවන්.(See Dry Adeabatic Laps Rate) ඒ වගේම මෙම ඊසානදිග සුළං ජල වාෂ්ප සමගින් පැමිණෙන විට දිවයිනේ නැගෙනහිර, ඊසානදිග ප්‍රදේශවල වැසි ඇතිවීමෙන් සිදුවන ශක්ති වෙනස සමගින් වියළි හුළඟ නිරිතදිගට පැමිණෙයි. මෙවැනි අවස්ථාවල නිරිතදිග ප්‍රදේශ පෙර අවස්ථාවට වඩා උණුසුම් වන අතර රත්නපුර ඒ අතරිනුත් වැඩියෙන් උණුසුම් විය හැකි වන්නේ එහි පිහිටුම අනුවයි. (See: Dry and Wet Adiabatic Laps Rate)

03 රූපය : බරහිර සිට නැගෙනහිර වෙරළ වෙත රත්නපුර හරහා නිරිත-ඊසාන රේඛාවකින් ඡේදනය වන උන්නතාංශ හරස්කඩක්. x අක්ෂයේ ශුන්‍ය ලක්ෂය රත්නපුර පිහිටුම දක්වයි.

03. වායු සංසරණය අවම වීම.

සූර්ය විකිරණය හේතුවෙන් රත්වන වායුන් යම් ප්‍රදේශයක ඇති අවස්ථාවක එම තාපය උරා ගැනීමට හෝ ඉවත් කිරීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී එම ප්‍රදේශය දිගින් දිගටම රත්වීම නොවැලක්විය හැකියි. රත්නපුර යනු මුහුදට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිරින් පවතින ස්ථානයක් උවත් කඳු වලින් වටවීම නිසා මුහුදු සුළං හෝ ගොඩ සුළං රත්නපුර හරහා සංසරණය වීම අවම වෙයි. ඒ වගේම මෝසම් සුළං හෝ විශේෂ කාලගුණික පද්ධතිවල බලපෑම මත ඇතිවන සුළං බලපෑම පවා අවම වනුයේ වටපිටාවට සාපේක්ෂව රත්නපුර වඩාත් පහල උන්නතාංශයක පිහිටීම නිසා.
04 රූපය: 1961-1990 දේශගුණ දත්ත අනුව සාමාන්‍ය වසරක රත්නපුර ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වයේ මාසික විචලනය(රතු පැහැ රේඛාව) සහ මාසික සාමාන්‍ය වැසි දින (ස්ථම්භ) ගණන.(කහ-ඊසානදිග මෝසම, කොළ-නිරිතදිග මෝසම, නිල්- අන්තර් මෝසම් කාල)


එතකොට රත්නපුර දහවල් උෂ්ණත්වය අඩු වෙන්නෙ නැද්ද?


දහවල් කාලයේ රත්නපුර උෂ්ණත්වය අවම වනුයේ නිරිතදිග මෝසම් කාලයේදී බව 04 රූපය පෙන්වා දෙයි. නිරිත දිග මෝසමේදී මාසයේ වැසි දින ගණන වැඩිවීම මේ සඳහා ප්‍රධාන දායකත්වය ලබා දෙන බව සිතිය හැකියි.

වැසි හැරුනවිට මෙම උෂ්ණත්වය යාමනය කිරීම සඳහා තුරුලතා ව්‍යාප්තිය (Vegitation) සැලකිය යුතු දායකත්වයක් සපයනමුත් මෙම ලිපිය ඒවා ප්‍රමාණාත්මකව අධ්‍යයනය නොකරයි.


අමතර කතාවක්!

මෑත කාලීනව දිවයිනේ වායු දුෂක මට්ටම් වැඩිවීම ගැන කතිකාවක් නිර්මාණය වී තියෙනව. වායු දූෂක මට්ටම ඉහළ යාම කෙරෙහි, කාර්මීකකරණය සහ ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන්  ප්‍රාදේශීයව නිෂ්පාදනය වන දූෂක සහ වෙනත් රටවල් වලන් පැමිණෙන දූෂක මූලිකව හේතු වෙනව. 

රත්නපුර දේශගුණික සහ භූගෝලීය පසුබිම පිළිබඳව අවධානය යොමු කිරීමේදී, යම්කිසි ආකාරයකට රත්නපුර වායු දූෂක මට්ටම වැඩි උවහොත්, පිටතින් පැමිණෙන සුළං රටාවන් රත්නපුර හරහා හමා යාම අවම වීම හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂක ඉවත් වීමක් සිදුවිය නොහැකියි. එනම් වැස්ස මගින් පමණක් වායු පිරිසිදු වන බව සිතන්න පුළුවන්. මෙම කරුණු නිසා රත්නපුර ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමට එම ප්‍රදේශයේ වායු දුෂක මට්ටම අවම ප්‍රමාණයක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන බව මගේ අදහසයි. මෙය සම්බන්ධයෙන් විශේෂඥ අදහසක් දැක්වීමට තරම් දැනුමක් මට නොමැති උවත් මෙය පර්යේෂණයක් සඳහා සුදුසු බව සිතමි. එවැනි පර්යේෂණයක් අනාගතයේ රත්නපුර පාරිසරික සංවේදීතාවය හඳුනා ගැනීමට වගේම සුදුසු සැලසුම් සැකසීමට උදව් වේවි.


ස්තූතිය:
ලිපිය සැකසීමේදී විශේෂඥ අදහස් ලබාදුන් විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් සහ ආචාර්ය ශිරෝමණි ජයවර්ධන වෙත, 
දේශගුණ සහ උෂ්ණත්ව දත්ත සඳහා කා.වි.දෙ. වෙත,
මෙම ගැටලුව පිළිබඳව විමසූ ඔබ වෙත ස්තුතිය පුද කරමි.

මලිත් ප්‍රනාන්දු
කාලගුණ විද්‍යාඥ
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය

Guidance: DeepSeek, ChatGPT, Google, Youtube
Plotting tools: MS Excel, Python, Arc GIS 

0 Comments