විසිඑක් වන සියවසේ මානව සංහතිය මුහුණ පා සිටින විශාලතම අභියෝගය ලෙස, “දේශගුණ විපර්යාස නිසා සිදුවෙමින් පවතින විනාශයන්” තරමක් විවාදාත්මක තත්වයන් මධ්‍යයේ උවත් ලෝක ජනයා අවබෝධ කරගෙන සිටින බවක් දකින්නට තිබේ. දේශගුණ විපර්යාසයන්ගේ වර්තමාන තත්ත්වය සහ විශේෂයෙන්ම එමගින් සිදුවිය හැකි අති විශාල ප්‍රමාණයක් අවධානම් තත්ත්ව අවම කර ගැනීම සහ අනුහුරුවීම පිළිබඳ වැඩපිළිවෙල සහ කතිකාවත සමාජගත කිරීම මුලික අරමුණු කරගනිමින් පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස ඊජිප්තුවේ දී එක්සත් ජාතීන් කොප් 27 සමුළුව පවත්වන ලදී.

දේශගුණ විපර්යාස හේතුවෙන් වඩාත් අනතුරුදායක අඩියකට ඇද වැටී ඇත්තේ ආර්ථික වශයෙන් පහළම මට්ටමක ජීවත්වන ජනතාවයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ලෝක තත්වයට සාපේක්ෂව වඩාත් අයහපත් වන අතර මේ වන විට රටතුළ පවතින ආර්ථික අර්බුදය විසින් එය තීව්‍ර කර ඇත. තත්ත්වයන් එසේ වුවද මෙවර කොප් 27 සමුළුවේදී සම්මත වූ යෝජනා අතර දේශගුණ විපර්යාස නිසා අවදානමකට ලක්වූ රටවල් වෙනුවෙන්, විනාශයට පත්වූ සහ නැතිවී ගිය දේවල් සඳහා අදාර කිරීම සඳහා අරමුදලක් (Loss and Damage funding for vulnerable countries) පිහිටුවීම හැරුණුකොට පසුගියදා පැවති සමුළුවේදී හෙළිවූ පරිදි ඉන් පෙර සමුළුවෙන් යෝජිත කාබන් විමෝචනය සීමා කිරීම වැනි පොරොන්දු ඒ අයුරින් රැකීම තබා බොහෝ සංවර්ධිත රටවල් සිය කාබන් විමෝචනයන් තවදුරටත් වැඩි කර ගනිමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. මෙවැනි පසුබිමක් තුළ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් එළඹෙන අනාගතය ගැන ධනාත්මක බලාපොරොත්තු තබා ගැනීම අසීරු වෙයි.

විශාල වශයෙන් මුදල් වියදම් කර පවත්වනු ලබන කොප් 27 වැනි සමුළු සහ විද්‍යාත්මක සොයාගැනීම් ඵල රහිත බව සමාජයේ එක් පාර්ශවයක් විශ්වාස කරන මට්ටමටම එවැනි සමුළු හේතු වී ඇත. කෙසේ වුවත් ගෝලීය වශයෙන් මානව වර්ගයා ඇතුළු සමස්ත පරිසර පද්ධතියම මුහුණපාන අභියෝග හමුවේ ලෝක ජනයා එක්ව වැඩ කටයුතු කිරීම අත්‍යවශ්‍යවන අතර ලෝක සමුළු, ඒ සඳහා සාධනීය මැදිහත්වීම් සිදු කිරීමට යොදා ගැනීම වෙනුවෙන් වගේම ලෝක නායකයින් ඒ සඳහා පෙළඹවීමටත් වඩාත් යහපත් හෙටක් සාදාගැනීම සඳහා දේශපාලනමය මැදිහත්වීම් සිදු කිරීමට මහජනයා ලෙස අපහට විශාල වගකීමක් ඇත. විද්‍යාත්මක ක්‍රමය සහ විද්‍යාත්මක සොයා ගැනීම් මේ සඳහා උදව් වනු ඇත.

ඉතිහාසය පිරික්සා බැලීමේදී විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම්ව ලෝක ජනතාව විසින් ගෝලීය අර්බුදයක් සාර්ථකව ජයගත් අවස්ථාවක් ලෙස “ඕසෝන් වියන රැකගැනීම” හඳුන්වා දිය හැක. මෙහිදී වඩාත් කැපී පෙනෙන මැදිහත්වීමක් සහ තීරණ රැසක් එක්සත් ජාතීන්ගේ මොන්ට්‍රියල් ගිවිසුම හරහා ක්‍රියාත්මක වූ අතර රටවල් විශාල ප්‍රමාණයක් මෙම අර්බුදය විසඳා ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරිම කැපී පෙනෙන ලක්ෂණයක් විය.

ඕසෝන් වියන සිදුරුවීම සහ ඒ හේතුවෙන් මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව පාසල් සමයේදී ඉගෙන ගත් බව ඔබට මතක ඇති. ඕසෝන් කියන්නේ මොකක්ද? ඒකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? ඕසෝන්වලට උනේ මොනවද? මිනිස්සු ඒ වෙනුවෙන් මොකක්ද කරේ? ඕසෝන් වියනේ අද තත්ත්වය මොකක්ද?  මෙම ලිපියේ මීළඟ අරමුණ වෙන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමයි.

පෘථිවිය මත වායුගෝලයේ සංයුතිය දෙස අවධානය යොමු කිරීමේදී පොළොවේ සිට සාමාන්‍යයෙන් කිලෝමීටර දහයක් පමණ ඉහලට යන තෙක් පරිවර්තීගෝලය (troposphere) ඇති අතර පසුව ඇති වායු ස්ථරය වනුයේ කිලෝමීටර 50ක් පමණ උසට ඇති අපරිවර්තීගෝලය (stratosphere)යි. ඕසෝන් වායු ස්ථරය පිහිටා ඇත්තේ මෙම අපරිවර්තී ගෝලය තුළයි. එය සාමාන්‍යයෙන් කිලෝමීටර 15 පමණ සිට 30ක් පමණ දක්වා ඉහලට පැතිරී පවතී. 01 රූපයේ දැක්වෙන පරිදි වායුගෝලයේ හරස්කඩ මගින් ඕසෝන් ස්ථරයේ පිහිටුම වඩාත් හොඳින් නිරීක්ෂණය වේ.

 



01 රූපය - පොළොවේ සිට ඉහලට වායුගෝලයේ ඕසෝන් ව්‍යාප්ත වී ඇති ආකාරය.

ඕසෝන් යනු ඔක්සිජන් පරමාණු තුනක් එක් වීමෙන් සෑදුන අණුවක් වන අතර ඔක්සිජන් අණු මත පාරජම්බුල කිරණ පතිත වීමෙන් ඕසෝන් නිෂ්පාදනය වේ. මෙම ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදුවෙමින් පවතින්නක් වනාතර එම අණු වියෝජනය වෙමින් නැවතත් සැදෙමින් පවතී. මිනිසුන් ඕසෝන් නිරීක්ෂණය කිරීම ආරම්භයේදී සිදුකරන ලද මිනුම්වලට අනුව දශක කිහිපයක පවතින සමස්ත වායුගෝලීය ඕසෝන් ප්‍රමාණය සාපේක්ෂ නියතයක්බව සොයාගෙන තිබේ.

 

02 රූපය - ඔක්සිජන් අණු මත පාරජම්බුල කිරණ පතිත වීම මගින් ඕසෝන් අණු නිෂ්පාදනය වීම.

සූර්ය ශක්තිය විකිරණ ලෙස පොළොවට පැමිණීමේදී එම කිරණ වල පවතින, ජීවීන්ට හානිකල හැකි පාරජම්බුල කිරණ ඕසෝන් මඟින් අවශෝෂණය කර ගැනීමක් සිදු කරනවා. ඒ අනුව විශේෂයෙන්ම පොළොව මතුපිට ජීවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕසෝන් ස්ථරය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනව.

03 රූපය - ඕසෝන් වියන මගින් පොළොවට පැමිණෙන ජීවයට අහිතකර පාරජම්බුල කිරණ අතිවිශාල ප්‍රමාණයක් උරා ගනී.

සූර්ය ලප, ඍතු සහ අක්ෂාංශ අනුව පෘතුවියේ විවිධ ස්ථානවල ඕසෝන් ඝනත්වයන් වෙනස් වන බව විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට ප්‍රථම හඳුනාගෙන ඇත. ස්වභාවික සංසිද්ධි නිසා ඕසෝන් ස්තරයේ සිදුවන තාවකාලික වෙනස්කම් ගැන කලින් පුරෝකථනය කිරීමට පවා හැකියාවක් ඇත. මෙවැනි ස්වභාවික ඕසෝන් ක්ෂය වීම් සහ වැඩිවීම් නැවතත් ස්වාභාවිකවම යතා තත්වයට පත්වීම සිදුවේ. 

1970 පමණ වනවිට විද්‍යාඥයන් විසින් සොයා ගත් පරිදි ඕසෝන් ස්ථරය ස්වභාවික හේතුවකින් තොරව ක්ෂය වීමට ලක් ව තිබිණි. මේ සඳහා ප්‍රධාන හේතුව ක්ලෝරීන්(chlorine) සහ බ්‍රෝමින්(bromine) පරමාණු මගින් අපරිවර්තී ගෝලයේ ඇති ඕසෝන් අණු ඉතාමත් සීඝ්‍රයෙන් විනාශ කිරීම බව සොයා ගැනුණි. ක්ලෝරීන් අණුවක් මගින් ඕසෝන් අණු ලක්ෂයක් පමණ විනාශ කළ හැකි බව ගණන් බලා තිබේ. සාමාන්‍ය ඕසෝන් අණු නිෂ්පාදන ක්‍රියාවලියට වඩා මෙය ඉතා ඉහල සීඝ්‍රතාවයකින් ඕසෝන් අණු බිඳ වැටෙන තත්ත්වයකි.

 

04 රූපය - ක්ලෝරීන් පරමාණු නිසා ඕසෝන් අණු විනාශවන එක් ආකාරයක්. 

ඕසෝන් අණු බිඳ වැටීම සිදුකල හැකි වායුන්ගෙන්(ක්ලෝරීන්, බ්‍රොමින්) සමන්විත පරිභෝජන භාණ්ඩ (Ozone Depleting Substances - ODS) 1980-90 දශකවල වෙළඳපොලේ සුලබ වූ අතර ඒවා කිහිපයක් ලෙස ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්(chloro flouoro carbons - CFCs) හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්(Hydro chloro flouro carbons HCFCs), කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් (Carbon tetra chloride) සහ මෙතිල් ක්ලෝරෆෝම් (Methyl chlorofoam) වගේම බ්‍රොමින් නිදහස් කාරක ලෙස හෙලොන්ස් (Halons) සහ මෙතිල් බ්‍රෝමයිඩ්(Methyl Bromide) හැඳින්විය හැක. මිනිසුන් පොළොවේදී මේවා භාවිතා කලත් එම වායූන් වසර 2 ත් 5 ත් අතර කාලයක් ඇතුළත පරිවර්තීගෝලය හරහා අපරිවර්තීගෝලය වෙත ළඟා වන බව සොයාගෙන ඇත. 

ලොව පුරා මිනිසුන් “ඕසෝන් සිදුර”ක් (Ozone Hole) පිළිබඳව සාකච්ඡා කලත් මෙය සත්‍ය වශයෙන්ම සිදුරක් නොවිණි. ඕසෝන් ඝනත්වය ඉතාමත් අවම වූ කලාපය හැඳින්වීම සඳහා මෙම යෙදුම භාවිත විය. වඩාත් ඉහල තාක්ෂණික හැඳින්වීම්වලින් තොරව මහජනයා දැනුවත් කිරීමට එවැනි සරල යෙදුමක් භාවිතා කිරීම වඩාත් ප්‍රථිපල දායක වී ඇතිබව නොරහසක්. ඕසෝන් ඝනත්වය මැනීමට යොදාගන්නා ඒකකය ඩොබ්සන් ඒකක(dobson unit) 220 ට වඩා අඩු (05 රූපයේ සුදු පැහැ සමෝච්ච රේඛාව) ප්‍රදේශය අසාමාන්‍ය ලෙස ඕසෝන් ක්ෂය වී ඇති ප්‍රදේශය ලෙස හඳුන්වා දී ඇත. වසර 1979ට පෙර නිරීක්ෂණ අනුව ලෝකයේ ඩොබ්සන් ඒකක 220ට වඩා අඩුවෙන් ඕසෝන් නිරික්ෂණය කර නොමැති වුවත් 2004දීත් ඇන්ටාක්ටිකාවට ඉහළින් ඉතා තුනී ඕසෝන් ඝනත්වය සහිත විශාල ප්‍රදේශයක් නිරීක්ෂණය කරන ලදී. මෙම තත්ත්වය මූලික වශයෙන් ODS මගින් පරිසරයට සහ ඉන් අනතුරුව අපරිවර්තී ගෝලය වෙත නිදහස්වූ  ක්ලෝරීන් සහ බ්‍රෝමින් හේතුවෙන් සිදුවී ඇති බව නිගමනය විය.

 



05 රූපය - 2009 සැප්තැම්බර් 17 දින ඕසෝන් නිරීක්ෂණයන්ට අනුව ඇන්ටාක්ටික් කලාපයේ ඕසෝන් ක්ෂය වී ඇති ආකාරය.

දශක කිහිපයකට පෙර ශීතකාරක ලෙස, ගිනි නිවන උපකරණ සඳහා, පරිවාරක ෆෝම් සඳහා වගේම තවත් විශාල පරාසයක නිෂ්පාදන වෙනුවෙන් ODS බහුලව යොදා ගැනිණි. මීට සමාන්තරව ඕසෝන් ස්ථරය ක්ෂය වීම පැහැදිලි කරනු ලැබුවත් එවකට මෙම මතයට එරෙහි මතයන් කිහිපයක් ඉදිරිපත් විය. ඉන් ප්‍රධානතම වූයේ ගිනිකඳු (1991 ප්‍රසිද්ධ Pinatubo ගිනිකන්ද පුපුරායාම) පිපුරුම් මගින් වායුගෝලයට නිදහස්වූ අංශු (aerosols) මගින් අපරිවර්තී ගෝලයේ ඇති ක්ලෝරීන් ක්‍රියාකාරිත්වය අධික කිරීමට දායකත්වයක් ලබා දීමයි. කෙසේ වෙතත් පසුව සොයා ගන්නා ලද පරිදි මෙම සංසිද්ධිය වඩාත් කෙටිකාලීන එකක් බව නිගමනය විණි. තවත් මතයක් වූයේ පිරිසිදුකාරක සහ මූලික ප්‍රභවයන් ලෙස පිහිනුම් තටාක සඳහා ක්ලෝරීන් භාවිතා කිරීම,  කර්මාන්තශාලා සඳහා ක්ලෝරීන් බ්‍රොමින් භාවිතා කිරීම, මුහුදු වතුරේ ක්ලෝරීන් පැවතීම වගේම ගිනි කඳු වලින් පිට කරන ක්ලෝරීන් නිසා අපරිවර්තී ගෝලයේ ඇති ඕසෝන් ක්ෂය වීම සිදුවිය හැකි බවයි. මෙම මතයද පසුකාලීනව වැරදි බවත් එම ක්ලෝරීන් සහ බ්‍රොමින් ප්‍රභව අපරිවර්තී ගෝලය වෙත ලඟා නොවන බව පර්යේෂකයින් විසින් සොයා ගන්නා ලදී. එසේම වායුගෝලයේ ඇති අංශු (aerosols) වැනි ද්‍රව්‍ය වැස්සේ දියවී නැවතත් පොළවට පැමිණීම හේතුවෙන් ඉන් සිදුවන හානිය යම් තරමක් අවම වුවත් ODS එලෙස ස්වභාවික ක්‍රියාවලියක් මගින් අඩු වීමක් සිදු නොවන වඩාත් ස්ථිරව පරිසරයේ රැඳෙන ද්‍රව්‍යයන් බව සොයාගැනීමත් සමග ඒවායේ ඇති අවදානම්සහගත බව තහවුරු විය.

1987 මොන්ට්‍රියල් ගිවිසුම මගින් එක්සත් ජාතීන් ODS භාවිතය, නිෂ්පාදනය ආනයන/අපනයන සීමා ගැන වඩාත් සෘජු තීන්දු තීරණ ගන්නා ලදී. ඕසෝන් ක්ෂය වීම මගින් ඇතිවන බලපෑම් ලෙස මූලිකව මිනිසුන්ගේ සහ සතුන්ගේ සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකලහැකි පිළිකා ඇති වීම වැනි ගැටලු හඳුනා ගනු ලැබූ අතර පරිසරයේ ශාක ආහාර නිශ්පාදනය බාල විය හැකි බවත් ප්ලවාංග(plankton) වැනි ජලජ පරිසරයේ ආහාර විනාශකාරී පාරජම්බුල කිරණ වෙත නිරාවරණය වීමෙන් විනාශ වී ආහාර දාම වෙත බලපෑම් ඇතිවීම සිදුවිය හැකි බවත් හඳුනා ගැනිණි.

ඕසෝන් ක්ෂය වීම සඳහා බලපාන මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ODS වර්ග සීයකට ආසන්න ප්‍රමාණයක භාවිතය යාමනය කිරීම සඳහා 1987 සැප්තැම්බර් මස 16 දින මොන්ට්‍රියල් සම්මුතිය මගින් ලෝක නායකයින් එකඟ විය. දියුණු වෙමින් පවතින සහ දියුණු රටවල් සම්බන්ධයෙන් තරමක්වෙනස් කාලරාමු යෝජනා වූ අතර සෑම රටක්ම මෙම යෝජනා වෙනුවෙන් වගවිය. වඩාත්ම වැදගත් වූයේ මිනුම් සහිතව වසරාවසාන ප්‍රගති සමාලෝචනයන් සිදුකරමින් මෙම සම්මුතිය රැකගැනිමට තම රටේ දායකත්වය පෙන්වීමයි.

1974දී කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මාරියෝ මොලිනා(Mario Molina)  සහ ශර්වුඩ් රෝලන්ඩ්(Sherwood Rowland) යන රසායන විද්‍යාඥයන් දෙදෙනා Nature ජර්නලයේ ප්‍රරසිද්ධ කරන ලද ලිපිය මගින් ඒ වන විට බහුලව භාවිතා කරන ලද ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC) අඩංගු ODS නිසා ඕසෝන් ස්තරය සීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව කියා සිටියා. මේ සොයාගැනීම වෙනුවෙන් 1995 දී ඔවුන් දෙපලට රසායන විද්‍යාව සම්බන්ධයෙන් වන නොබෙල් ත්‍යාගය හිමි වුණා.

 

06 රූපය - 1970 සිට 2009 දක්වා ඔක්තෝබර් මාසයේ ඇන්ටාක්ටික් කලාපයේ පැවති ඕසෝන් මට්ටම වෙනස් වී ඇති ආකාරය.

 

07 රූපය - 1971 සිට 2009 දක්වා මාර්තු මාසයේ ආක්ටික් කලාපයේ පැවති ඕසෝන් මට්ටම වෙනස් වී ඇති ආකාරය.

2000 වනවිට වඩාත් ක්ෂවී පැවැති, වඩාත් තුනී  ඕසෝන් ස්තරය 1980 දශකයෙදී පැවති මට්ටමට ආසන්නව ප්‍රතිනිර්මාණය වෙමින් පවතින අතර ඉදිරි දශක කිහිපය තුළ ආක්ටික් සහ ඇන්ටාක්ටික් ඕසෝන් කලාපයන් දෙකම 2045 සහ 2066 දී යතා තත්වයට පත්වනු ඇති බව පර්යේෂකයන් අනාවැකි දක්වා සිටිනවා. මොන්ට්‍රියල් ගිවිසුම මගින් යාමනය කරන ලද ODS පිළිබඳ නියමයන් එවකට එක්සත් ජාතීන්ගේ රටවල් 197ක් විසින් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීම සහ සත්‍ය වශයෙන්ම එම ක්‍රියාවලියේ නිරතවීම ද ලෝකය දිනාගත් මෙම ජයග්‍රහණයේ මූලික හේතුවයි.

08 රූපය - ඕසෝන් ක්ෂය වීම සම්බන්ධව වැදගත් සන්ධිස්තානයන්ගේ ඉතිහාසය

ලෝකයේ සහ මානව වර්ගයාගේ තිරසාර දිවි පැවැත්ම උදෙසා ලෝක සමුළු සහ සම්මුති  ඉතාමත් වැදගත් වනුයේ ගෝලීය වශයෙන් පිළිතුරු සෙවිය යුතු අර්බුධකාරී තත්ත්වයන් ඕනෑම මොහොතක පැනනැගිය හැකි බැවිනි. දේශගුණ විපර්යාස නිසා අද වනවිට ලෝකයේ බොහෝ රටවල් තනිව පිළිතුරු සෙවිය නොහැකි තත්ත්වයන් වෙත ගමන් කරමින් පවතී. දේශගුණ විපර්යාස ඇතිවීම සහ පැවතීම කෙරෙහි දියුණු රාජ්‍යයන් ඍජු දායකත්වයන් දැරුවද ඉන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ වඩාත් අස්ථාවර දරිද්‍රතාවයෙන් පෙලෙන රාජ්‍යයන්හි ජීවත්වන ප්‍රජාවයි. දේශගුණ විපර්යාස වැනි අර්බුධකාරී තත්ත්වයන්ගෙන් ඇතිවිය හැකි විනාශකාරී තත්ත්වයන් අවම කර ගනිමින් වඩාත් සුරක්ෂිත අනාගතයක් අත්පත් කරගැනීම වෙනුවෙන් විද්‍යාත්මක  සොයා ගැනීම් මත පදනම්ව ලෝක රාජ්‍යයන් විසඳුම් වෙත තල්ලු කිරීමට බලපෑම් කිරීම අප විසින් සිදුකලයුතුය. ඒ සඳහා ලෝකයෙ සෑම රටකම සිටින මිනිසුන් දැනුවත් කල යුතුය. ජීවත්වීමේ අයිතිය සහ අවම මූලික පහසුකම් විඳීමේ අයිතිය, සුරක්ෂිත ජීවිතයක් ගෙවීමේ අයිතිය වෙනුවෙන් දෙස් විදෙස් දේශපාලන යාන්ත්‍රණයන් වෙත බලපෑම් කල යුතුය. පමා වන සෑම දිනයක් විසින්ම අනාගත තත්ත්වයන් අයහපත් කරනු ඇති අතර අද ලෝක ප්‍රජාව දැනුවත්ව හෝ නොදැනුවත්ව මුහුණ දෙමින් සිටින දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිපල හෙට දිනයේ ඔබේත් මගේත් බාල පරපුරට වඩාත් අනාරක්ෂිත ලෝකයක් උරුම කර දෙනු ඇත.

සිය අයිතීන් වෙනුවෙන් මුලින්ම පෙනීසිටිය යුතුවෙන්නේ තමුන්ම උවත් තනි පුද්ගලයෙකුට හෝ තනි රටකට ලෝක අර්බුධයක් විසඳීමේ හැකියාව ශුන්‍ය විය හැකියි. එහෙත් එක් දැක්මකට ගොනුවී තනි තනි මිනිසුන් ඉදිරියට ගමන් කරමින් පිළිතුරු සෙවීම ගෝලීය අර්බුධ වලදී වඩාත් ප්‍රතිපලදායක වේ. දේශගුණ විපර්යාසයන් ආපසු හැරවිය නොහැකි උවත් එය අද පවතින මට්ටමේ පවත්වාගැනීමට උත්සහ දැරීම අපගේ ප්‍රධාන වගකීමක් වෙයි. මොන්ට්‍රියල් ගිවිසුම ඒ සඳහා හොඳ ආදර්ශයක් ලබා දෙයි.

මුලාශ්‍ර

01 01.  www.unep.org
02.  www.nationalgeographic.com
03.  www.nature.com
04.  www.britannica.com
05.  www.epa.gov
06.  www.csl.noaa.gov
07.  www.sciencedirect.com
08.  www.unfccc.int

සියලුම රූප සටහන් www.csl.noaa.gov වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදී.


මලිත් ප්‍රනාන්දු.
කාලගුණ විද්‍යාඥ - ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය.
කොළඹ.

මෙම ලිපිය කා.වි.දෙ. 2023 අප්‍රේල් පුවත්ලිපිය සඳහා මා විසින් සකසන ලදී.

0 Comments