වසර ගණනාවකට පසු පැසිෆික් සාගරයේ දීර්ඝතම කාලයක් පැවති ලා-නීනියා තත්වය තවදුරටත් ඉදිරි මාස කිහිපයක්ම පවතිනු ඇති බව ප්‍රමුඛපෙලේ ගෝලීය කාලගුණ/දේශගුණ අනාවැකි ආයතන පුරෝකථනය කර ඇත. ඒ අනුව ලංකාවේ ඉදිරි මාස කිහිපයේ කාලගුණික තත්ත්වයන් කෙරෙහිද එය යම් ආකාරයක අහිතකර බලපෑම් කරනු ඇති බව පසුගිය වසර ගණනාවක දත්ත අධ්‍යයනයේදී පෙනී යයි.

ඔක්තෝම්බර් සහ නොවැම්බර් යනු දෙවැනි අන්තර් මෝසම් කාලය වන අතර ඊටම විශේෂිතවූ කාලගුණික පරාමිතීන්ගේ සාමාන්‍ය හැසිරීම් ලා-නීනියා හේතුකරගෙන යම් යම් වෙනස්වීම්වලට භාජනය විය හැකියි. කෙසේ වෙතත් දෙවන අන්තර් මෝසම් වැසි කෙරෙහි බලපෑම් ඇති කරනුයේ El-Nino Southern Oscilation (ENSO) පමණක්ම නොව අතර ලා-නීනියා හි යම් ප්‍රමුඛ වීමක් මේ වසරේදී හඳුනාගත හැකියි.

මෙම කුඩා පර්යේෂණ වාර්තාවෙන් උත්සහ කරන්නෙ පසුගිය වසර 41ක(1981-2021) වර්ෂාපතන දත්ත භාවිතා කර ලා-නීනියා කාලවලදී ලංකාවෙ වැසි වාර්තා වීමේ ආන්තික තත්ත්වයන් එනම්, සාමාන්‍ය ඔක්තෝම්බර් නොවැම්බර් වැස්සට සාපේක්ෂව වැසි ලැබී ඇති අවම ප්‍රමාණයන් සහ උපරිම ප්‍රමාණයන් වගේම ඒවා ලැබී ඇති ප්‍රදේශ පිළිබඳව විමසා බැලීමයි.

NOTE: ඔබ පර්යේෂණ ප්‍රතිපල ගැන වඩාත් උනන්දු වන්නේ නම් පහත "පර්යේෂණ දත්ත, ක්‍රමවේදය සහ විශ්ලේෂණ" කොටස මගහැර "නිරීක්ෂණ සහ නිගමන" කොටස කියවන්න.

පර්යේෂණ දත්ත, ක්‍රමවේදය සහ විශ්ලේෂණ.

  • ලා-නීනියා දත්ත : Oceanic Niño Index (ONI) from NCEP, NOAA.
  • වර්ෂාපතන දත්ත : Climate Hazards Group InfraRed Precipitation with Station data ~5kmx5km resolution. From USAID, NASA and NOAA.

පර්යේෂණ කාල පරාසය. 1981 සිට 2021 දක්වා කාලයේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස.

                            01.වගුව: 1981-2021 කාලයතුල වාර්තා වී ඇති ලා-නීනියා අවස්ථා.

ඔක්තෝම්බර් නොවැම්බර්

1983 1984 1988 1995 1998 1999 2000 2007 2010 2011 2016 2017 2020 2021

1983 1984 1988 1995 1998 1999 2000 2005 2007 2008 2010 2011 2016 2017 2020 2021

01. වගුවේ දැක්වෙන පරිදි පර්යේෂණ කාලය තුල ඔක්තෝම්බර් මාසවල ලා-නීනියා කාලයන් 14ක් සහ නොවැම්බර් මාසවල ලා-නීනියා කාල 16ක් වාර්තා වී ඇත. 01.රූපයෙන් මුළු පර්යේෂණ කාලයතුළ Oceanic Niño Index (ONI) දත්ත ප්‍රස්තාරගත කර ඇත. එහි ONI අගය -0.5ට වඩා අඩු අවස්ථා ලා-නීනියා කාණ්ඩයට අයත්වේ.

01. රූපය.

ලා-නීනියා පැවති වසරවල වැසි දත්ත සංසන්දනය සඳහා දේශගුණික දත්ත ලෙස 1991-2020 යන වසර 30ක සාමාන්‍ය අගයන් සලකන ලදී. ඒ අනුව එම වසර 30 තුලදී ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල පැවත ඇති සාමාන්‍ය වර්ෂාපතන සිතියම් 02. රූපයෙන් දැක්වේ.


02. රූපය: 2(a) ඔක්තෝම්බර් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය 2(b)නොවැම්බර් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය.

දෙවන අන්තර්මෝසම් කාලය තුල පවතින ලා-නීනියා තත්ත්වයන්හිදී උවද දිවයින ආශ්‍රිතව ඇතිවන විශේෂ කෙටි කාලීන සංසිද්ධි හේතුවෙන් සාමාන්‍ය අන්තර්-මෝසම් වැසි ප්‍රමාණයට වඩා වැඩියෙන් වැසි ලැබීමේ හැකියාවන් පවතී. පර්යේෂණ කාලයේ ලා-නීනියා පැවති වසරවලදී එවැනි ආකාරයට, ලංකාවේ විවිධ ප්‍රදේශවලට සාමාන්‍ය වැස්සට වඩා වැඩියෙන්ම වැසි ලැබීම් 03. රූප සටහනින් දැක්විය හැක.

03.රූපය: ලා-නීනියා කාලයන්හි සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩියෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්ට ලැබී ඇති උපරිම වර්ෂාපතන අගයන් මිලි මීටර් වලින්. 3(a) ඔක්තෝම්බර් මාසය 3(b)නොවැම්බර් මාසය.

04. රූපයෙන් දැක්වෙන්නේ ලා-නීනියා අවස්තාවන් වලදී ලංකාවේ විවිධ ප්‍රදේශවලට වාර්තා වී ඇති අවම වැසි ප්‍රමාණයන් දක්වන සිතියම් ද්විත්වයයි. විශේෂිත කාලගුණික සංසිද්ධීන් නොමැති විටදී සාමාන්‍යයෙන් ඔක්තෝබර් නොවැම්බර් වැසි ලා-නීනියා හේතුවෙන් අඩුවනු දැකිය හැකියි. කෙසේ වෙතත් මෙම සිතියම්වල දක්වනුයේ විවිධ වසරවලදී එසේ අඩු වී ඇති උපරිම ආකාරයයි.

04.රූපය: ලා-නීනියා කාලයන්හි සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්ට ලැබී ඇති අවම වර්ෂාපතන අගයන් මිලි මීටර් වලින්. 4(a) ඔක්තෝම්බර් මාසය 4(b)නොවැම්බර් මාසය.

04. රූපයෙ වර්ෂාපතනයන්, සාමාන්‍ය වැසි ප්‍රමාණයන්ට සාපේක්ෂව අඩුවී ඇති ප්‍රතිශතයන් සැලකීමේදී ඔක්තෝම්බර් මාසයේ එය ලංකාව පුරා 60%කට වඩා අඩුවී ඇති ආකාරයක් දකින්න පුළුවන්. නොවැම්බර් මස මෙම අඩුවීම සාපේක්ෂව අඩු උවත් උතුරු නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල එය වැඩි වශයෙන් සැලකිය යුතු මට්ටමක පවතින බව 05. රූපය අනුව පැහැදිලි වේ.

05.රූපය: ලා-නීනියා කාලයන්හි සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්ට ලැබී ඇති අවම වර්ෂාපතන අගයන්, සාමාන්‍ය වර්ෂාපතන අගයන්ගෙන් අඩු වී ඇති ප්‍රතිශතයන්. 5(a) ඔක්තෝම්බර් මාසය 5(b)නොවැම්බර් මාසය.


නිරීක්ෂණ සහ නිගමන.

ඔක්තෝබර් මාසයේ දිවයිනට ලැබෙන වැස්ස ප්‍රධාන වශයෙන් නිරිතදිග කොටස්වල එකතු වීමක් දකින්න පුළුවන්. නමුත් නොවැම්බර් වැස්ස දිවයින පුරා යම් ඒකාකාරී ස්වභාවයකින් පැතිරී ඇති ආකාරයක් ගන්නව. වෙනත් වචනවලින් පවසන්නේ නම් නොවැම්බර් වැස්ස දිවයිනේ වියලි කලාපයන්ට ලැබෙන ප්‍රධාන වැසි ආකාරයක් ගන්නා බව පැහැදිලියි.

03 රූපය අනුව දෙවන අන්තර් මෝසම් කාලයේ ලා-නීනියා පරිච්ඡේදයන්හිදී රටතුල වාර්තා වී ඇති උපරිම වර්ෂාපතනයන් නිරීක්ෂණ කිරීමේදී ඔක්තෝබර් මස එම අගයන් පවා අවම ස්වභාවයක් ගනී. කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ උතුරු, මධ්‍යම සහ නිරිතදිග කොටස්වලට යම් යම් අවස්ථා වලදී වැඩි වැසි ලැබී ඇති බවක් පෙනේ. ලා-නීනියා අවස්තාවන් වලදී ඔක්තෝබර් මාසයේ වඩාත්ම වැසි අඩු වී ඇති කලාපය ලෙස නිරිතදිග ප්‍රදේශ හඳුනාගත හැකි අතර නොවැම්බර් මසදී එම අවදානම වාර්තා වී ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලිනි.

ඔක්තෝම්බර් සහ නොවැම්බර් සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව ලා-නීනියා අවස්තාවන් වලදී දිවයිනේ වැසි වාර්තා වී ඇති උපරිම ආකාර විමසීමේදී පෙනී යන්නේ නිරිතදිග සහ උතුරු ප්‍රදේශවල වර්ෂාපතනයේ වඩාත් විශාල විචලතාවයන් පවතින බවයි. එනම් එම ප්‍රදේශවල වැසි සඳහා ලා-නීනියා නොවන වෙනත් විශේෂ සාධක යම් බලපෑමක් කර ඇති බවයි. දිවයින ආශ්‍රිතව බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවන අඩු පීඩන කලාපයන්ගේ ක්‍රමික වර්ධනය, ලා-නීනියා මධ්‍යයේ උවද  අධික වැසි දිවයිනට ලැබීමට හේතුවීම ඒ අනුව හඳුනා ගත හැකියි.

යම් විශේෂිත කාලගුණික පද්ධතීන්ගේ වර්ධනයක් හැරුණකොට ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල පැවතිය හැකි සාමාන්‍ය වැස්සට වඩා අඩු වැසි ප්‍රමාණයන් ලැබීමේ වැඩි හැකියාවක් පවතී. 04 රූපයෙන් විශ්ලේෂිත ලා-නීනියා කාලයේ අවම වැසි ලැබුන ප්‍රදේශයන් දැක්වෙන සිතියම පරිදි ඔක්තෝබර් මාසයේදී දිවයිනේ නිරිතදිග කොටස්වල වැසි වඩාත් අඩු වීමට ලා-නීනියා බලපෑම් කර ඇති බවක් පෙනේ. නොවැම්බර් මාසයේ සාපේක්ෂව වැසි අවම වීම තරමක අඩුවක් ඇතිමුත් නැගෙනහිර ප්‍රදේශවල අවදානම් ස්වභාවයක් ඇතිවූ අවස්තාවන් සඳහා ලා-නීනියා හේතු විය හැකියි.


යෝජනා.

දෙවන අන්තර් මෝසම යනු දිවයිනේ ජල අවශ්‍යතාවයෙන් ඉහල කොටසකට දායක වන කාලයයි. දිවයින පුරා ඒකාකාරීව වැසි ව්‍යාප්තවීම මගින් විශේෂයෙන්ම වියලි කලාපයන් පෝෂණය වෙයි. එනම් කෘෂිකාර්මික සහ පානීය ජල අවශ්‍යතාවයන් තෘප්ත වීම කෙරෙහි දෙවන අන්තර් මෝසම් වැස්ස අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. 

ගෝලීය දේශගුණ විපර්යාසයන් හමුවේ ආන්තික කාලගුණික සංසිද්ධීන් සුලබ වෙමින් පවතින අවධියක මෙම පර්යේෂණයෙන් උත්සහ දරණු ලැබුවේ ලා-නීනියා වැනි අන්තර්-මෝසම් වැසි අවම කල හැකි ගෝලීය සංසිද්ධීන් නිසා සිදුවිය හැකි අවදානම් සහගතබව සොයා බැලීමයි. විශේෂයෙන්ම පසුගිය වසර 41ක දත්ත අනුව වාර්තා වී ඇති උග්‍රතම වැසි අවමවීම් සහ එම ප්‍රදේශ පිළිබඳව සොයා බැලීමයි. 04 වන රූපයේ වඩාත් පැහැදිලිව මෙම තත්වයන් හඳුනා ගත හැකියි.

දේශගුණික විපර්යාසයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉදිරි දේශගුණික තත්ත්වයන්ගේ විචලනය සහ ආන්තිකබව අවබෝධ කර ගැනීමට වගේම ආපදා සහ ජල කළමනාකරණ ආයතනයන්ගේ පෙර සුදානම් වීම් සඳහා යම් පිටිවහලක් ලබමින් ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට මෙම ලිපිය කුඩා හෝ සහයක් සපයනු ඇති බව විශ්වාස කරමි.

1 Comments

  1. නියමයි... ඉතා වැදගත් තොරතුරු ටිකක්...

    (ෆොන්ට් එක ටිකට් ලොකු කලා නම් මොකද.. අපි දැන් 40 ඇඳිරිය ලබපු උන්.. පේනවා අඩුයි.:) )

    ReplyDelete