සාමාන්‍ය වායුගෝලීය තත්ත්වයන් යටතේ නිරිතදිග මෝසම මැයි මස තෙවන සතියේ පමණ ආරම්භවී මාස පහක් පුරා දිවයිනේ දේශගුණය බවට පත්වෙයි. පළමු අන්තර් මෝසම අවසානභාගය සහ නිරිතදිග මෝසම ආරම්භයත් අතර කාලය පෙර මෝසම් තත්ත්වය ලෙසද හඳුන්වනු ලබන අතර මෙම කාලය තුල අන්තර් මෝසම් සහ මෝසම් ලක්ෂණයන්හී මිශ්‍රණයක් මැයි මාසයේ දැකිය හැකියි.

01 රූපය -  1991-2020 දේශගුණ කාල පරාසයේදී මැයි මාසයේ  සාමාන්‍ය වර්ෂාපතනය.(කා.වි.දෙ. දත්ත යොදා ගනිමින් IDW interpolation මගින් සකසා ඇත.)

01 රූපයේ දැක්වෙන පරිදි ලංකාවේ විශේෂයෙන්ම නිරිතදිග කොටස් ඇතුළුව රටේ බොහෝ ප්‍රදේශවල වැඩි වර්ෂාපතනයන් ඇතිවීම සාමාන්‍ය  තත්ත්වයක්. මෙම වර්ෂාපතනයන් බොහෝ විට, 02 රූපයේ දැක්වෙන පරිදි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වන පීඩන අවපාත, සුළිකුණාටු වැනි පද්ධතින්ගෙන් පෝෂණය වෙයි. මේ නිසා ප්‍රධාන වශයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල ඇතිවියහැකි ගංවතුර, නායයෑම් වැනි අනතුරු සහිත අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.
02 රූපය - 1924-2024 කාලය තුල මැයි මාසයේදී නිර්මාණය වූ කාලගුණ පද්ධතීන්ගේ(පීඩන අවපාත-නිල්, සුළිකුණාටු-තැඹිලි, චණ්ඩසුළිකුණාටු-රතු) පිහිටුම්.

පළමු අන්තර් මෝසමේ දිවයින ආශ්‍රිතව දැකිය නොහැකිවූ නිරිත දෙසින් හමන සුළං රටාවක් මැයි මාසයේ ස්ථාපිත වීම ආරම්භ වෙයි. මෙය 03 රූපයේ දැක්වෙන අයුරින් දකුණු අර්ධගෝලයෙන් ආරම්භ වී අප්‍රිකානු මහාද්වීපය ආසන්නයෙන් දක්ෂිණාවර්තව, අරාබි මුහුද හරහා ගමන් කරමින් දිවයින වෙත ඇතුළුවනු දකින්න පුළුවන්. කිලෝමීටර 4000කට වඩා වැඩි දුරක සිට පැමිණෙන අධික ජලවාෂ්ප සහිත මෝසම් සුළං ප්‍රවාහය දිවයිනේ මධ්‍යම කඳුකරයේ වැදී ඉහල ගොස් ඝනීභාවය වීමෙන් වලාකුළු නිර්මාණය වී නිරිතදිග ප්‍රදේශවලට වැසි ලැබීම ආරම්භ වීම සිදු වනුයේ මැයි මාසයේදීයි.

03 රූපය - නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ සාමාන්‍ය රටාව. (Source : www.ncert.nic.in)


මැයි මාසයේ දිවයින ආශ්‍රිතව සාමාන්‍ය සුළං රටාව දක්වන 04 රූපයෙන් දැක්වෙන ආකාරයට නව සුළං රටාව මගින් දිවයිනේ ගිනිකොණදිග සහ වයඹ මුහුදු ප්‍රදේශවල සුළගේ වර්ධනයක් ඇතිකරන බව නිරීක්ෂණය කල හැකියි.

04 රූපය - සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්)

එසේම නිරිත දෙසින් හමන සුළං වේගය ක්ෂණිකව ඉහළයාමේ අවදානම් තත්ත්වයන්ද මැයි මස සිට නිරිතදිග මෝසම පුරාවට දකින්න පුළුවන්. 05 රූපයෙන් දැක්වෙන්නෙ මැයි මාසයේ මෙම ක්ෂණිකව සුළං වේගයන් ඉහළ යා හැකි ආකාරයයි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් බලපානුයේ දිවයිනේ වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු මුහුදු ප්‍රදේශ සහ එම ගොඩබිම් ප්‍රදේශ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලටයි. එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර/නාවුක කටයුතුවල යෙදෙන්නන් සහ එම ගොඩබිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව අදාළ වෙනස්කම් ගැන අවදානයෙන් පසුවීම අවශ්‍ය වේ.

05 රූපය - සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )

06 රූපය – උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )


පරිසර උෂ්ණත්වය සහ සිරුරට දැනෙන උෂ්ණත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මැයි මාසයේ විටින් විට පවතින මෝසම් වැසි ආරම්භය නිසා අප්‍රේල් මාසයට සාපේක්ෂව උෂ්ණත්වයේ සැලකිය යුතු අඩු වීමක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් නිරීක්ෂණය කල හැකියි. විශේෂයෙන්ම අප්‍රේල්හි සාමාන්‍යයෙන් ඉහල අගයන්වල පවතින සිරුරට දැනෙන උෂ්ණත්වයේ අගය වඩාත් අඩු වීමක් බොහෝ ප්‍රදේශවල දකින්න පුළුවන්.

07 රූපය – මැයි මාසයේ උෂ්ණ දර්ශක(Heat Index) අගයන්.(සෙල්සියස් අංශක වලින්).

කෙසේ වෙතත් මැයි මාසයේදී දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල අවම වර්ෂාපතන ස්වභාවයත් උෂ්ණ ස්වභාවයත් තවදුරටත් පැවතීම සාමාන්‍ය ලක්ෂණය බැවින් ඒ පිළිබඳව උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ජීවත්වන ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙයි.

- මලිත් ප්‍රනාන්දු

රූපසටහන් සඳහා යොදාගත් දත්ත.
1991-2020 දේශගුණ කාල පරාසයේ මාසික වර්ෂාපතනය (කා.වි.දෙ.)
1924-2024 කාලය තුල මැයි මාසයේදී නිර්මාණය වූ කාලගුණ පද්ධතීන්ගේ පිහිටුම් (www.imd.gov.in)
ECMWF’s ERA-5 Reanalysis data for years (1979-2019) and (1974-2023) (https://www.ecmwf.int)
Software 
Calculations - CDO                    
Plotting - GrADS, Python, GIS

0 Comments