මෙම ලිපිය තරමක් දීර්ඝ බැවින් කියවීම සඳහා මිනිත්තු 10-15 පමණ අවශ්‍ය විය හැකි අතර විශ්ලේෂණ රූප සටහන් වඩාත් හොඳින් බලාගැනීම සඳහා පරිගණකයක ආධාරයෙන් කියවීම වඩාත් සුදුසු වෙයි.
දීර්ඝ කාලගුණික විශ්ලේෂණ මගහැර ලිපිය කියවීම සඳහා ලිපියේ අංක යොදා ඇති 3 වන කොටස වන "භූ ගෝලීය විෂමතාවයන්" සහ 5 වන කොටස වන "වායුගෝලීය සුළං ස්ථර විෂමතා" මඟහැර ලිපිය කියවන්න.
1. පසුබිම
2026 ජුනි 02 දින ලෝක කාලගුණ සංවිධානය විසින් එල්-නීනියෝවට සූදානම් වන ලෙස ලෝකයට දැනුම් දෙනු ලැබුවා. මැයි මාසයේ නිකුත්වී ඇති අනාවැකි අනුව මෙම එල්-නීනියෝ තත්ත්වය "සුපිරි එල්-නීනියෝ" මට්ටමක් දක්වා වර්ධනය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතින බව දකින්න පුළුවන්. ලෝකය පුරා සහ ලංකාවෙත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යවල කතිකාවට ලක්වන ප්‍රධාන මාතෘකාවක් වී ඇති "සුපිරි-එල්නීනියෝව" විසින් ලෝකයේ බොහෝ ප්‍රදේශවල නියං තත්ත්වයන් වගේම උෂ්ණත්ව වැඩිවීම් පැවතිය හැකි බව බොහෝ වාර්තා පෙන්වා දෙනවා.
මෝසම් කාලගුණය දිවයිනේ ස්ථාපිත වී ඇති අවස්ථාවක ගෝලීය එල්නීනියෝ තත්වය විසින් මෝසම් වැසි කෙසේ වෙනස් කරනු ඇත්ද? ඉදිරි මාසවල උෂ්ණත්වයන් කෙසේ වෙනස් විය හැකිද? සහ සුපිරි එල්නීනියෝ එහෙම නැත්නම් වඩාත් ප්‍රබල එල්නීනියෝ තත්වයකදී වායුගෝලයේ හැසිරීම මොනවගේද? යන ගැටළු සඳහා පසුගිය දත්ත භාවිතයෙන් පිළිතුරු සෙවීම මෙම ලිපියේ අරමුණයි. මේ සඳහා පසුගිය ප්‍රබල එල් නීනියෝ අවස්ථා 5ක් යොදා ගන්නා අතර ඒ අවස්ථාවන්හිදී වායුගෝලීය හැසිරීම, දිවයිනේ සාමාන්‍ය මාසික වර්ෂාපතනය සහ මාසික උෂ්ණත්ව වෙනස්වීම් හඳුනා ගැනීමට උත්සහ කරයි.
එල්නීනියෝ යනු පැසිෆික් සාගර කලාපයේ නිර්මාණය වන "එල්-නීනියෝ දක්ෂිණ දෝලනය" (El Niño Southern Oscillation - ENSO) ලෙසින් හඳුන්වන වායුගෝලීය සංසිද්ධියේ එක් මුහුණුවරකි. මෙහි "ලානීනියා" ලෙසින් ප්‍රතිවිරුද්ධ මුහුණුවර දක්වන අතර සාමාන්‍ය දේශගුණික ලක්ෂණ පවතින අවස්ථාවල ENSO නිෂ්ක්‍රීය (Neutral) බව හඳුනා ගනී. ENSO හි එක් එක් මුහුණුවර ඇතිවිට දිවයිනේ වැසි සහ උෂ්ණත්වයන්ගේ හැසිරීම විවිධාකාර වෙයි. මෙම සබැඳියේ ලිපිය මගින් වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැකියි.
01 රූපය: IRI විසින් 2026 මැයි මස නිකුත්කළ ENSO අනාවැකිය.
නවතම ගෝලීය නිරීක්ෂණ මත පදනම් වෙමින් ගණිත ආකෘති හරහා ගණනය කරනලද අනාවැකි යොදා ගනිමින් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දේශගුණ සහ සමාජ පර්යේෂණ ජාත්‍යන්තර ආයතනය (International Research Institute for Climate and Society, Columbia University - IRI) විසින් නිකුත්කරන ලද ගෝලීය සංයුක්ත අනාවැකි (01. රූප සටහන) අනුව පැසිෆික් සාගර කලාපයේ මේවනවිටත් එල්-නීනියෝ තත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එය වසරේ අවසානය දක්වා තවදුරටත් ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ ඉහල හැකියාවක් පවතින බව නිකුත්වී ඇති බොහෝ අනාවැකි මගින් පැහැදිලි වෙයි.
පසුගිය වසර 50ක පමණ කාලය නිරීක්ෂණය කිරීමේදී 1972-1973, 1982-1983, 1997-1998, 2015-2016 සහ 2023-2024 යන අවස්ථා 5කදී වඩාත් ප්‍රබල එල්නීනියෝ වර්ධනය වී ඇතිබව දකින්න පුළුවන්. මෙම කාලයන් ආශ්‍රිත දත්ත භාවිතා කරමින් ගෝලීයව සහ දිවයිනේ මාසික වර්ෂාපතන/උෂ්ණත්ව විෂමතාවයන් (Anomaly) වගේම ඒ අවස්ථාවන්වල වායුගෝලයේ ප්‍රධාන සුළං ප්‍රවාහයන්ගේ හැසිරීම සොයා බලමු.
2. ප්‍රබල එල්නීනියෝ අවස්ථා
පසුගිය වසර 50ක පමණ කාලය තුලදී වාර්තා වී ඇති ප්‍රබල එල්නීනියෝ අවස්ථාවන් 02 රූපයේ දැක්වේ. ඒ අනුව වර්ෂ 1972-1973, 1982-1983, 1997-1998, 2015-2016 සහ 2023-2024 වසරවල ප්‍රබල එල්නීනියෝ තත්ත්වයන් ප්‍රස්ථාරගත කර ඇත. සාමාන්‍යයෙන් වසරේ මුල් මාස කිහිපයේ ආරම්භවන එල්නීනියෝ සංසිද්ධීන් දෙසැම්බර් මාසයේ උපරිම ප්‍රබලතාවට පත්වෙයි. මෙම සුවිශේෂී අවස්ථා 5දීත් එම ස්වභාවයම අනුව ENSO දර්ශකය දෙසැම්බර් උච්ච (peak) වීමෙන් අනතුරුව ක්‍රමයෙන් අඩු වී ඇති බව 02 රූපයේ මාසික මධ්‍ය අගය රේඛාවෙන් (කළු) පෙනේ.
02 රූපය: 1972-1973, 1982-1983, 1997-1998, 2015-2016, 2023-2024 ප්‍රබල එල්නීනියෝ අවස්ථාවන්වලදී මැයි සිට අප්‍රේල් දක්වා නිරීක්ෂිත ENSO දර්ශක අගයන්. කළු වර්ණයෙන් අදාළ අවස්ථා 5හි මාසික මධ්‍යන්‍ය අගය දැක්වේ.
3. භූ ගෝලීය විෂමතාවයන්
ප්‍රබල එල්නීනියෝ අවස්ථා 5හි වර්ෂාපතන සහ උෂ්ණත්ව මධ්‍යනය අගය යොදා ගනිමින් ගණනය කරන ලද මාසික විෂමතාවයන්ගේ ලක්ෂණ විමසා බලමු. 03 (a) රූපය අනුව මැයි මාසයේදී ගෝලීය වශයෙන් සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව අග්නිදිග ආසියාවේ සහ දකුණු ඇමෙරිකා ආශ්‍රිත රටවල්වල වඩාත් අඩු වර්ෂාපතනයක් ලැබී ඇත. කෙසේ වෙතත් 04 (a) සිතියමේ දැක්වෙන පරිදි ලංකාවේ බස්නාහිර ප්‍රදේශ හැරුණකොට බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනයේ වැඩි බවක් පෙනෙයි.
03 රූපය: මැයි මාසයේ ගෝලීය (a) වර්ෂාපතන විෂමතාව (Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
උෂ්ණත්ව විෂමතාවයන් අනුව ලෝකයේ ඊසානදිග, අග්නිදිග ආසියාතික රටවල්, දකුණු ඇමෙරිකා රටවල් හැරුනවිට ලංකාවේ සහ ලෝකයේ සෙසු රටවල උෂ්ණත්වය මැයි මාසයේදී සාපේක්ෂව අඩු වී ඇති බවත් දකින්න පුළුවන්.
04 රූපය: මැයි මාසයේ දිවයිනේ (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
ජුනි මාසය යනු සාපේක්ෂව ENSO දර්ශකය තවදුරටත් වර්ධනය වූ සහ දිවයිනට ක්‍රමයෙන් එල්නීනියෝ තත්වය අත්දකින්න ලැබෙන මාසයක්. පසුගිය ප්‍රබල එල්නීනියෝ අවස්ථාවලදී ගෝලීය වශයෙන් ජුනි මාසයේදී බොහෝ රටවල සහ ලංකාවේ වර්ෂාපතනය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති බව නිරීක්ෂණය වෙයි. එසේම උෂ්ණත්ව ව්‍යාප්තියද සාමාන්‍ය ජුනි අගයන්ට සාපේක්ෂව වැඩි බවක් ඇත.
05 රූපය: ජුනි මාසයේ ගෝලීය (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
06 රූපය: ජුනි මාසයේ දිවයිනේ (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
ප්‍රබල එල්නීනියෝ තත්ත්වයන්ට මැදිවූ ජුනි මාසයේදී මෙන්ම ජුලි මාසයේදීත් වර්ෂාපතනය ජුලි සාමාන්‍ය වැස්සට වඩා සැලකියයුතු අඩු වීමක් පැවතී ඇති අතර ගෝලීය සහ දිවයිනේ වැසි වඩාත් අඩු වී ඇති බවත් උෂ්ණත්වයද ගෝලීය තත්වයන් හා සමපාතව ලංකාවේද ඉහල ගොස් ඇති බවත් පෙනේ.
07 රූපය: ජුලි මාසයේ ගෝලීය (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
08 රූපය: ජුලි මාසයේ දිවයිනේ (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
නිරිතදිග මෝසම් කාලයේ පමණක් නොව වසර පුරා වැසි තත්ත්වයන් අනුව සාමාන්‍යයෙන් වැසි අඩු මාසයක් ලෙස අගෝස්තු හඳුනාගන්න පුළුවන්. කෙසේ උවත් වසර මුලදී ප්‍රබල එල්නීනියෝ වර්ධනය වෙමින් පවතින අවස්ථාවක අගෝස්තු වැසි අඩු වීම වඩාත් තිව්‍ර විය හැකි බව 10. (a) සහ (b) සිතියම් අනුව පැහැදිලි වෙනව. ඒ අනුව වැසි වඩාත් අවම වී ඇති අතර උෂ්ණත්වය සැලකියයුතු ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත. මාස කිහිපයක් වැසි අවම වීම සහ අධික උෂ්ණ ස්වභාවයන් හේතුවෙන් අගෝස්තු මාසයේ නියඟයක ලක්ෂණ ඇතිවිය හැකි බව මෙම දත්ත අනුව සිතන්න පුළුවන්.
09 රූපය: අගෝස්තු මාසයේ ගෝලීය (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
ප්‍රබල එල්නීනියෝ පවතින අගෝස්තුවකදී, ගෝලීය වශයෙන් කාලගුණය හැසිරවීමේ ප්‍රමුඛතම සාධකය බවට එල්නීනියෝ පත්ව ඇති බව 09. (a) සහ (b) සිතියම්වල දැක්වෙන ගෝලීය වශයෙන් බොහෝ රටවල්වල වර්ෂාපතනය අවම වීම සහ උෂ්ණත්වය ඉහල යාම් අනුව සිතන්න පුළුවන්.
10 රූපය: අගෝස්තු මාසයේ දිවයිනේ (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
සැප්තැම්බර් යනු නිරිතදිග මෝසම් කාලයේ අවසන් මාසයයි. නිරිත දෙසින් දිවයින හරහා ගමන් කරන මෝසම් සුළං ක්‍රමයෙන් දුර්වලවන ආකාරයක් මෙම මාසයේ පවතී. ඒ අනුව මාස 5ක් පමණ දිවයිනේ ප්‍රමුඛව පැවති මෝසම ක්‍රමිකව දුර්වල වීම සහ අන්තර් මෝසම් ආරම්භයට මූලික ලක්ෂණ මතු වෙමින් සැප්තැම්බර් මාසයේ මිශ්‍ර කාලගුණික ලක්ෂණ දකින්න පුළුවන්.
11 රූපය: සැප්තැම්බර් මාසයේ ගෝලීය (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
කෙසේ වෙතත් ගෝලීය වශයෙන් සැප්තැම්බර් මාසයේදීත් බොහෝ රටවල සාමාන්‍ය සැප්තැම්බර් වැස්සට සාපේක්ෂව අඩු වැසි වාර්තා වී ඇතිබව 11 (a) රූපයේ දත්ත අනුව පැහැදිලි වෙයි. උතුරු සහ ඊසානදිග ආසියාතික රටවල් හැරුණකොට ලෝකයේ බොහෝ රටවල උෂ්ණත්වයන්ද ඉහලගොස් ඇත.
12 රූපය: සැප්තැම්බර් මාසයේ දිවයිනේ (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
ප්‍රබල එල්නීනියෝ පැවති අවස්ථාවල දිවයිනේ සැප්තැම්බර් මාසයේ වැසි තරමක මිශ්‍ර ආකාරයක් ගෙන ඇත. ජුනි, ජුලි අගොස්තුවලට සාපේක්ෂව යම් තරමක වැසි වර්ධනය වීමක් සහ උෂ්ණත්වයේ යම් අඩු වීමක් 12 (a) සහ (b) සිතියම් අනුව නිරීක්ෂණය වේ.
13 රූපය: ඔක්තෝම්බර් මාසයේ ගෝලීය (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
ඔක්තෝම්බර් යනු දෙවන අන්තර්මෝසමේ ආරම්භයයි. දිවයින ආශ්‍රිතව වැසි නිර්මාණය වීම මූලිකවම සංවහනය, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන සුළි කුණාටුවල ස්වභාවය සහ ලක්ෂණ අනුව අන්තර් මෝසමේ වැසි දිවයින පුරාම පැතිරී පවතී. විශේෂයෙන්ම කා.වි.දෙ. දත්ත අනුව නිරිතදිග මෝසමේ මාස 5කදී දිවයිනේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් සහ දෙවන අන්තර්මෝසමේ ඔක්තෝම්බර් නොවැම්බර් මාස දෙකේදී 30%ක් බැගින් ලැබෙයි.
14 රූපය: ඔක්තෝම්බර් මාසයේ දිවයිනේ (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
ගෝලීය ENSO දර්ශකය ඔක්තෝම්බර් මාසයේදීත් වර්ධනය වනු දැකිය හැකි උවත් ලංකාවේ ඔක්තෝම්බර් මාසයේ සාමාන්‍ය ඔක්තෝම්බර් මාසයක වැස්සට වඩා වැඩි වැසි ලැබී ඇත. ඒ අනුව ප්‍රබල එල් නීනියෝ පැවති අවස්ථාවල ඔක්තෝම්බර් වැස්ස වැඩි වී ඇති බව 14(a) රූපය අනුව පැහැදිලි වෙයි. ගෝලීය වශයෙන් තවදුරටත් බොහෝ රටවල් වසරේ සාමාන්‍ය ඔක්තෝම්බර් මාසයකට වඩා වැඩි උෂ්ණත්ව අගයන් සහ අඩු වැසි ප්‍රමාණයන් අත්දැක ඇතිමුත් ලංකාවේ ඊට ප්‍රතිවිරුද්ධව, වැඩි වැසි සහ අඩු උෂ්ණත්වයන් නිරීක්ෂණය වී ඇත.
15 රූපය: නොවැම්බර් මාසයේ ගෝලීය (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
නොවැම්බර් මාසයේ දිවයිනේ නැගෙනහිර ප්‍රදේශ හැරුණකොට බොහෝ ප්‍රදේශ සාමාන්‍ය නොවැම්බර් වැස්සට වඩා ප්‍රබල එල්නීනියෝ අවස්ථාවල වැඩි වැසි ඇතිවී තිබේ. කෙසේ වෙතත් උෂ්ණත්වය ඔක්තෝම්බර් මාසයට වඩා යම් ආකාරයක වර්ධනයක් ඇතිබව 16(a) සහ (b) සිතියම් නිරීක්ෂණයෙන් වටහා ගත හැක. නොවැම්බර් මාසයේදීත් ගෝලීය තත්ත්වයේ යම් වෙනස්කම් සමගින් ආසියා සහ අප්‍රිකා මහද්වීපවලත් උතුරු ඇමෙරිකා රටවලත් යම් ආකාරයක වැසි නිර්මාණය වීමක් සහ උෂ්ණත්වයේ පහළයාමක් දකින්න පුළුවන්.

16 රූපය: නොවැම්බර් මාසයේ දිවයිනේ (a) වර්ෂාපතන විෂමතාව(Anomaly) සහ (b) උෂ්ණත්ව විෂමතාව (Anomaly)
4. දිවයිනේ වැසි සහ උෂ්ණත්ව විෂමතාවන්
17 සහ 18 රූපවල දැක්වෙන ප්‍රස්ථාර මගින් ලිපිය සඳහා තෝරාගන්නා ලද ප්‍රබල එල්නීනියෝ අවස්ථා 5ට අදාලව මැයි සිට පසු වසරේ අප්‍රේල් දක්වා දිවයිනේ වර්ෂාපතනයේ සහ උෂ්ණත්වයේ මාසික විෂමතාව සමග ENSO දර්ශකය ප්‍රස්ථාරගත කර ඇත.
ප්‍රස්ථාර අනුව, ENSO හි සාමාන්‍ය වර්ධනයේ ස්වභාවය ලෙසින්ම, ප්‍රබල එල්නීනියෝ තත්ත්වයන්හිදීද එම දර්ශකයේ උපරිම අගය වසරේ නොවැම්බර්-දෙසැම්බර්-ජනවාරි මාසවලදී වාර්තා වී ඇත. වර්ෂාපතන විෂමතාව සැලකීමේදී මැයි මාසයේ තරමක වැසි වැඩි වීමක්ද, ජුනි, ජුලි, අගෝස්තු මාසවල වැසි අඩුවීමේ ප්‍රවනතාවක්, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, දෙසැම්බර් වැසි වැඩි වීමේ ප්‍රවණතාවයක් සහ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල වැසි විෂමතාව අඩු වීමේ තත්වයකුත් දිවයිනේ පසුගිය නිරීක්ෂණ දත්ත අනුව නිරුපණය පෙනෙයි.

17 රූපය: ප්‍රබල එල්නීනියෝ තත්වයන් පැනනැගි අවස්ථාවල මැයි සිට ඉන්පසු වසරේ අප්‍රේල් දක්වා නිරීක්ෂිත, එක් එක් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව දිවයිනේ මාසික වර්ෂාපතනයේ විෂමතාව (ස්ථම්භ). මාසික, ප්‍රබල එල්නීනියෝ අවස්ථා 5හි සාමාන්‍ය වර්ෂාපතන අගය (කළු වර්ණ රේඛාව) මැයි සිට පසු වසරේ අප්‍රේල් දක්වා මාසික ENSO සාමාන්‍ය අගයන් (රතු වර්ණ රේඛාව) [ප්‍රස්ථාරයේ වම්පස පරිමාණයෙන් වර්ෂාපතනයේ විෂමතාව දැක්වෙන අතර දකුණුපස පරිමාණයෙන් ENSO දර්ශකයේ අගය දැක්වේ]
18 රූපය: ප්‍රබල එල්නීනියෝ තත්වයන් පැනනැගි අවස්ථාවල මැයි සිට ඉන්පසු වසරේ අප්‍රේල් දක්වා නිරීක්ෂිත, එක් එක් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව දිවයිනේ මාසික උෂ්ණත්වයේ විෂමතාව (ස්ථම්භ). මාසික, ප්‍රබල එල්නීනියෝ අවස්ථා 5හි සාමාන්‍ය උෂ්ණත්ව අගය (කළු වර්ණ රේඛාව) මැයි සිට පසු වසරේ අප්‍රේල් දක්වා මාසික ENSO සාමාන්‍ය අගයන් (රතු වර්ණ රේඛාව) [ප්‍රස්ථාරයේ වම්පස පරිමාණයෙන් උෂ්ණත්වයේ විෂමතාව දැක්වෙන අතර දකුණුපස පරිමාණයෙන් ENSO දර්ශකයේ අගය දැක්වේ]
ප්‍රබල එල්නීනියෝ තත්වයන් හමුවේ දිවයිනේ උෂ්ණත්ව ව්‍යාප්තිය මැයි සහ ඔක්තෝම්බර් මාස හැරුනවිට වැඩි වී ඇති බව පෙනෙයි. කෙසේ වෙතත් මෙම වැඩිවීම මෝසම් කාලයේ වැඩි වීමට වඩා ඊසානදිග මෝසමේ සහ පළමු අන්තර් මෝසමේ වඩාත් ඉහල විෂමතාවන් දක්වන බව තවදුරටත් හඳුනා ගත හැකියි.
5. වායුගෝලීය සුළං ස්ථර විෂමතා
මෙතැන් සිට ඉදිරි විශ්ලේෂණ සඳහා පොළොව මට්ටමේ සිට ඉහළ වායුගෝලීය සුළං රටාව දක්වා ස්ථර 5ක සුළං වේගයන්ගේ විෂමතාව මැයි සිට නොවැම්බර් දක්වා මාස්පතා විශ්ලේෂණ ලෙස සිදුකරන ලදී. [මෙම විශ්ලේෂණ රූප සටහන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා ලිපිය පරිගණකයක ආධාරයෙන් කියවීම යෝජනා කරමි]

19 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල මැයි මාසයේ වාර්තා වී ඇති පොලොව මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) මැයි මාසයේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
20 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල මැයි මාසයේ වාර්තා වී ඇති (a) 850hPa පීඩන මට්ටමේ, (b) 700hPa පීඩන මට්ටමේ, (c) 500hPa පීඩන මට්ටමේ සහ (d) 200hPa පීඩන මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) දැක්වේ. මැයි මාසයේ එක් එක් පීඩන මට්ටමේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
මැයි මාසයේ සුළං රටාවේ විෂමතාව නිරීක්ෂණයේදී පොළොව මට්ටමේ සිට ඉහළ වායුගෝලය දක්වාම සාමාන්‍ය සුළං වේගයන්ට වඩා අඩු සුළං වේගයක් පැවතී ඇති බව දකින්න පුළුවන්. එනම් පෙරමෝසම් තත්වයේ යම් දුර්වල වීමක් ඇතිවී තිබෙන බව දත්ත අනුව පැහැදිලි වෙයි.
21 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල ජුනි මාසයේ වාර්තා වී ඇති පොලොව මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) ජුනි මාසයේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
22 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල ජුනි මාසයේ වාර්තා වී ඇති (a) 850hPa පීඩන මට්ටමේ, (b) 700hPa පීඩන මට්ටමේ, (c) 500hPa පීඩන මට්ටමේ සහ (d) 200hPa පීඩන මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) දැක්වේ. ජුනි මාසයේ එක් එක් පීඩන මට්ටමේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී මෝසම් සුළං වඩාත් දුර්වල වී ඇති බව 22(a), (b) සහ (d) විශ්ලේෂණ සිතියම් මගින් පෙනෙයි. පහළ වායුගෝලීය 850hPa, 700hPa සහ ඉහළ වායුගෝලීය 200hPa සුළං වේගයන් දේශගුණික සුළං වේගයන්ට සාපේක්ෂව අඩු වී ඇති බව දකින්න පුළුවන්. මේ හේතුවෙන් දකුණු ඉන්දියානු සාගරයෙන් දිවයින වෙත මෝසම් සුළං මගින් රැගෙන එන ජලවාෂ්ප ප්‍රමාණයේ අඩු වීමක් සිදුවෙයි.
23 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල ජුලි මාසයේ වාර්තා වී ඇති පොලොව මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව. (වර්ණ සහිත) ජුලි මාසයේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
24 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල ජුලි මාසයේ වාර්තා වී ඇති (a) 850hPa පීඩන මට්ටමේ, (b) 700hPa පීඩන මට්ටමේ, (c) 500hPa පීඩන මට්ටමේ සහ (d) 200hPa පීඩන මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) දැක්වේ. ජුලි මාසයේ එක් එක් පීඩන මට්ටමේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
ජුලි මාසයේ සුළං විෂමතාව දෙස බැලීමේදී 500hPa පීඩන මට්ටමේ දිවයින වෙත පැමිණෙන සුළං වේගයන් සාමාන්‍ය දේශගුණික සුළං වේගයන්ට වඩා වැඩි වී ඇති බව දකින්න පුළුවන්. කෙසේ වෙතත් අනෙක් සුළං ස්ථරයන්හී දිවයින දෙසට පැමිණෙන සුළං ප්‍රවාහය තරමක දුර්වල ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලි වෙයි. මෙය ජුනි මාසයට සාපේක්ෂව තරමක වෙනසක් උවත් මෝසම් දේශගුණික ස්වභාවයට සාපේක්ෂව පහළ වායුගෝලයේ ජලවාෂ්ප තවදුරටත් අඩු වියහැකි සුළං රටාවක් ලෙස මෙය හඳුනාගන්න පුළුවන්.

25 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල අගෝස්තු මාසයේ වාර්තා වී ඇති පොලොව මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව. (වර්ණ සහිත) අගෝස්තු මාසයේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
26 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල අගෝස්තු මාසයේ වාර්තා වී ඇති (a) 850hPa පීඩන මට්ටමේ, (b) 700hPa පීඩන මට්ටමේ, (c) 500hPa පීඩන මට්ටමේ සහ (d) 200hPa පීඩන මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) දැක්වේ. අගෝස්තු මාසයේ එක් එක් පීඩන මට්ටමේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
අගෝස්තු මාසයේදීත් තවදුරටත් අරාබි මුහුදු ප්‍රදේශ සහ දකුණු ඉන්දීය සාගර ප්‍රදේශවල දුර්වල මෝසම් සුළං රටාව නිරීක්ෂණය වෙයි. ඒ අනුව දිවයිනවෙත පැමිණෙන මෝසම් ප්‍රවාහයේ සීඝ්‍රතාව අඩු වීම හේතුවෙන් දිවයිනවෙත ලඟා වන ජලවාෂ්ප ප්‍රමාණයේ අඩු වීමක් පැවතිය හැකි බැවින් ඊට සමගාමීව වැසි ලැබීමේ යම් අඩුවක් බලාපොරොත්තු විය හැකියි.
27 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල සැප්තැම්බර් මාසයේ වාර්තා වී ඇති පොලොව මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව. (වර්ණ සහිත) සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
28 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල සැප්තැම්බර් මාසයේ වාර්තා වී ඇති (a) 850hPa පීඩන මට්ටමේ, (b) 700hPa පීඩන මට්ටමේ, (c) 500hPa පීඩන මට්ටමේ සහ (d) 200hPa පීඩන මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) දැක්වේ. සැප්තැම්බර් මාසයේ එක් එක් පීඩන මට්ටමේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
සැප්තැම්බර් මාසය යනු නිරිතදිග මෝසම් කාලයේ අවසන් මාසය වන අතර මෝසම් සුළං ප්‍රවාහය දුර්වල වෙමින් දෙවන අන්තර්මෝසම වෙත දිවයිනේ සුළං රටාව වෙනස්වීම හේතුවෙන් කාලගුණය වෙනස්වන මාසයයි. ප්‍රබල එල්නීනියෝ අවස්ථාවක මෙම පරිවර්තනීය මාසයේ සුළං විෂමතාවයන් අධ්‍යයනයේදී සුළං වේගයන්ගේ අඩුව තවදුරටත් පෙනෙයි. කෙසේ වෙතත් මාස 5ක් පුරාවට දිවයිනේ වැසි සඳහා ප්‍රමුඛ වූ මෝසම් ප්‍රවාහය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත් වෙමින් දිවයිනේ සුළං රටාව නිශ්චිත රටාවකින්/දිශාවකින් තොරව පැවතීම සැප්තැම්බර් අග සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්වෙයි. එනම් දිවයින ආශ්‍රිතව වඩාත් දුර්වල සුළඟක් පැවතීම මගින් සැප්තැම්බර් මාසයේ සංවහන වැසි වර්ධනයට සහයක් වෙයි.
29 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල ඔක්තෝම්බර් මාසයේ වාර්තා වී ඇති පොලොව මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව. (වර්ණ සහිත) ඔක්තෝම්බර් මාසයේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
ඔක්තෝම්බර් යනු දෙවන අන්තර් මෝසමේ ආරම්භක මාසයයි. දිවයිනේ වැඩිම වැසි ලැබෙන මාසයක් ලෙස ඔක්තෝම්බර් හඳුනාගත හැකි අතර සංවහනය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන පද්ධති දිවයිනේ වර්ෂාව කෙරෙහි වඩාත් බලපෑම් කරයි.
30 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල ඔක්තෝම්බර් මාසයේ වාර්තා වී ඇති (a) 850hPa පීඩන මට්ටමේ, (b) 700hPa පීඩන මට්ටමේ, (c) 500hPa පීඩන මට්ටමේ සහ (d) 200hPa පීඩන මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) දැක්වේ. ඔක්තෝම්බර් මාසයේ එක් එක් පීඩන මට්ටමේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
ප්‍රබල එල්නීනියෝ බලපෑම් මත පහළ වායුගෝලයේ සුළං වේගයන් වඩාත් දුර්වල වීමක් මෙම මාසයේ දත්ත අනුව නිරීක්ෂණය වී ඇති අතර මෙය අන්තර්මෝසම් කාලය බැවින් සංවහන වැසි සඳහා වඩාත් හිතකර තත්ත්වයක් වෙයි. එනම් සංවහන වැසි වර්ධනය වැඩි වනු ඇතැයි සිතන්න පුළුවන්. එසේම මෙම සුළං දුර්වල වීම විසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපවල වර්ධනය වීම සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කරන බව වැඩිදුරටත් සිතිය හැකියි.
30(c) රූපය අනුව මෙතෙක් නිරිත/බස්නාහිර දෙසින් පැමිණි සාමාන්‍ය සුළං රටාව සිය දිශාව වෙනස් කරමින් ක්‍රමයෙන් නැගෙනහිරින් හැමීම ආරම්භ කිරීමත් මෙම මාසයේ සුවිශේෂී ලක්ෂණයක් වෙයි. ප්‍රබල එල්නීනියෝ බලපෑමට යටත්ව එහි විෂමතාව වැඩි වීමෙන් පෙනෙන්නේ සාමාන්‍ය 500hPa සුළං වේගයන්ට වඩා මෙම බලපෑම විසින් යම් ආකාරයකට සුළං වේගය වැඩිකර ඇති බවකි.
31 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල නොවැම්බර් මාසයේ වාර්තා වී ඇති පොලොව මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව. (වර්ණ සහිත) නොවැම්බර් මාසයේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
32 රූපය: ප්‍රබල එල් නීනියෝ අවස්ථාවල නොවැම්බර් මාසයේ වාර්තා වී ඇති (a) 850hPa පීඩන මට්ටමේ, (b) 700hPa පීඩන මට්ටමේ, (c) 500hPa පීඩන මට්ටමේ සහ (d) 200hPa පීඩන මට්ටමේ සුළං වේගයන්ගේ විෂමතාව (වර්ණ සහිත) දැක්වේ. නොවැම්බර් මාසයේ එක් එක් පීඩන මට්ටමේ සාමාන්‍ය සුළං දිශාවන් රේඛීය මාර්ග ලෙසින් දැක්වේ.
දෙවන අන්තර්මෝසමේ අවසන් මාසය වන නොවැම්බර් මාසයේදී තවදුරටත් දිවයින ආශ්‍රිතව නිශ්චිත සුළං රටාවක් නොපවතින අතර ප්‍රබල එල්නීනියෝ තත්ත්වය විසින් එය තවදුරටත් දුර්වල කර ඇති බවක් පෙනෙයි. දේශගුණික සාධක අනුව පහළ මට්ටමේ සුළං රටාව ප්‍රධාන වශයෙන් නැගෙනහිර/ඊසාන දෙසින් පැමිණෙන ආකාරයක් ගන්නා අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේග විෂමතාව වැඩි වීමක් දකින්න පුළුවන්. එසේම පහළ වායුගෝලීය 700hPa ස්ථරයේ දේශගුණික ලක්ෂණයක් වන නැගෙනහිර-බටහිර trough අක්ෂය ශක්තිමත් වීමක් නිරීක්ෂණය වෙයි. මෙම තත්වයන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ජලවාෂ්ප දිවයින වෙතට රැගෙන ඒම සඳහා සහය වෙයි.
එසේම බෙංගාල බොක්ක මුහුදේ සමකාසන්න කලාපයේ සුළං විෂමතාව වැඩිවීම විසින් යම් ආකාරයකට අඩුපීඩන කලාප නිර්මාණය වීම සඳහා උත්තේජනයක් සපයන බව සිතන්න පුළුවන්.
6. සාකච්ඡා
- වසරේ මුල් කාර්තුවේ ආරම්භ වන එල්නීනියෝ තත්වයන් දෙසැම්බර් වනවිට උච්චතම අවස්ථාවට ලංවීම සාමාන්‍ය ස්වභාවය වන අතර ප්‍රබල එල්නීනියෝ අවස්ථාවලදීත් මෙම තත්වය එලෙසින්ම දකින්න පුළුවන්.
- 2026 ජුනි වනවිට පැසිෆික් සාගරයේ එල්නීනියෝ තත්වයක් ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර දැනට පවතින අනාවැකි අනුව මෙම තත්වය ප්‍රබල එල්නීනියෝවක් දක්වා වර්ධනය වීමේ ඉහල හැකියාවක් පවතින බවට අනාවැකි නිකුත්වී ඇත.
- එල්නීනියෝ යනු පැසිෆික් සාගර කලාපයේ ඇතිවන සන්සිද්ධියක් උවත් ගෝලීයව බැඳුනු සුළං රටාවන් එමගින් වෙනස් කිරීමකට ලක්කරන බැවින් ලෝකයේ බොහෝ රටවල දේශගුණික ලක්ෂණ වෙනස් කිරීමේ හැකියාව ENSO සංසිද්ධියට ඇත. ඒ අනුව එල්නීනියෝ විසින් වායුගෝලයේ සුළං ස්තරවල ඇතිකරන වෙනස්කම් හඳුනාගැනීමෙන් එහි බලපෑම යම් අකාරයකට හඳුනා ගත හැක.
- වර්ෂ 1972-1973, 1982-1983, 1997-1998, 2015-2016 සහ 2023-2024 යන අවස්ථාවන්වල පැනනැගි ප්‍රබල එල්නීනියෝ තත්වයන් විසින් ගෝලීය පානීය ජල අවශ්‍යතා, අහාර නිෂ්පාදනය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව වැනි අංශයන් කෙරෙහි දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ලංකාවේද ඇතැම් අවස්ථාවන්වලදී දැඩි බලපෑම් ඇතිවී තිබේ.
- ගෝලීය වශයෙන් එල්නීනියෝ තත්වය බොහෝ රටවල්වල නියඟ තත්වයන් සහ උෂ්ණත්වය වැඩි කිරීම සඳහා දායක උවත්, ලංකාව සමකාසන්න දූපතක් ලෙස ඉන්දියන් සාගර මධ්‍යයේ පිහිටීම විසින් දිවයිනට අනන්‍ය ආකාරයකින් එල්නීනියෝ බලපෑම සිදුවේ. ඒ අනුව සාමාන්‍ය ඍතු කාලගුණය කෙරෙහි ඇතිවන බලපෑම ප්‍රධාන වශයෙන් ඒ ඒ කාලයේදී දිවයිනේ ප්‍රමුඛවන කාලගුණික සංසිද්ධියේ සහ එල්නීනියෝ බලපෑම වගේම කලාපීය සංසිද්ධීන්ගේ හැසිරීම් අනුව තීරණය වෙයි. එනම් එල්නීනියෝ ඇතිවන සෑම අවස්ථාවකම දිවයිනේ නියඟයක් එනබව හෝ ගංවතුර එනබව පැවසිය නොහැකි අතර විවිධ ඍතුවල විවිද බලපෑම් සහිත වෙයි.
- ප්‍රබල එල්නීනියෝ තත්වයන්ගේ සාමාන්‍ය ලක්ෂණ අනුව විවිධ මාසවලදී දිවයිනේ කාලගුණය කෙරෙහි විවිධ අයුරින් බලපෑම් කරන බව දකින්න පුළුවන්. ඒ අනුව මැයි මාසයේ වැසිවල තරමක වර්ධනය වීමක්, ජුනි, ජුනි, අගෝස්තු මාසවල වැසි අඩුවීමක්, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් දෙසැම්බර් නැවත වැසි වැඩි වීමක් සහ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වැසි අඩු වීමක් ලෙස පැවතී ඇතිබව නිරීක්ෂණය වෙයි.
- මැයි මාසයේ සහ ඔක්තෝම්බර් මාසවල දිවයිනේ සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව ප්‍රබල එල්නීනියෝ අවස්ථාවල උෂ්ණත්වය අඩු වී ඇති බවත් ජුනි සිට අප්‍රේල් දක්වා සෙසු මාසවල එය වැඩිවී ඇති බවත් දකින්න පුළුවන්. මෙහි වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ පළමු අන්තර්මෝසම් කාලයේදී උෂ්ණත්වය වඩාත් ඉහළ යාමයි. අප්‍රේල් හිරු මුදුන් වීමත් සමග දිවයිනේ පවතින උෂ්ණ ස්වභාවය පසුගිය වසරවල වඩාත් අහිතකර ආකාරයක වාර්තා වූ පසුබිමක එය තවදුරටත් වැඩි වීම එතරම් හිතකර නොවිය හැකි බැවින් වඩාත් අවදානය යොමු කල යුතු වෙයි.
7. යෝජනා
- 2026 ජුනි වන විට නිකුත්වී ඇති අනාවැකි අනුව වසරේ ඉතිරි කාලය සහ 2027 මුල් කාර්තුව ප්‍රබල එල්නීනියෝ බලපෑමකට ලෝකය නතුවන බව දක්වයි. ඒ අනුව පසුගිය ප්‍රබල එල්නීනියෝ විශ්ලේෂණයේදී පෙනී යන්නේ රටේ දැනට පවතින ජලය කළමනාකරණය කරගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
- පුද්ගලයින් වශයෙන් මේ සම්බන්ධයෙන් නිවැරදි මුලාශ්‍ර සහිත තොරතුරු පරිශීලනය කරමින් අවදානම ගැන දැනුවත් වීම අවශ්‍ය වන අතර අනවශ්‍ය බියගන්වන සුළු වැරදි තොරතුරු සමාජගත කිරීමෙන් වැලකීම.
- කෘෂි කර්මාන්තය යනු මෙමගින් සැලකියයුතු බලපෑමක් ඇතිවිය හැකි ක්ෂේත්‍රයක් බැවින් ක්ෂේත්‍රයේ වගකිවයුතු ආයතන මගින් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙයි.
- දිවයිනේ උෂ්ණත්වය අඩු වැඩිවීම් මෝසම් කාලයේ සැලකිය යුතු බලපෑමක් ඇති නොකරනමුත් ප්‍රබල එල්නීනියෝ තත්වයන්ගේ බලපෑම ඊළඟ වසර දක්වා පැවතීමේ හැකියාවක් ඇති බැවින් විශේෂයෙන්ම මාර්තු, අප්‍රේල් උෂ්ණත්වය ඉහල යාම සඳහා සැලකියයුතු අවස්ථාවක් පවතී. එබැවින් එම තත්වයන් ක්‍රමානුකූලව නිරීක්ෂණ කරමින් තීරණ ගැනීම වැදගත් වෙයි.
8. සීමාවන්
මෙම ලිපිය අවදානය යොමු කරනු ලබන්නේ ENSO ආශ්‍රිත ක්‍රියාකාරකම් ගැන පමණයි. නමුත් කාලගුණය සම්බන්ධයෙන් නිශ්චිත එක් අවස්ථාවක එල්නීනියෝ පමණක් ක්‍රියාත්මක නොවන අතර එල්නීනියෝ ප්‍රමුඛතම සාධකය විය හැකියි. ඇතැම් අවස්ථාවක එම ප්‍රමුඛතම සාධකය, මැඩන් ජුලියන් දෝලනය, ඉන්දියානු සාගර ද්වීද්‍රැව අවස්ථාව, සුළිකුණාටු හෝ විය හැකියි.
දිවයිනේ වර්ෂාව කෙරෙහි දෛනිකව බලපෑම් කරනුයේ එක් එක් දිනවල ප්‍රමුඛවන කාලගුණික සංසිද්ධීන්, එනම් ඇතැම් අවස්ථාවක නිර්මාණය වන එක් සුළිකුණාටුවක් මගින් සම්පුර්ණ ඍතුවේ වර්ෂාපතනය ලැබීමට උවත් පුළුවන්. එහෙත් එවැනි තත්වයන් සති කිහිපයකට පෙර උව හඳුනා ගැනීමට නොහැකි හෙයින් ඍතු සැලසුම්කරණය සඳහා භාවිතා කල නොහැක. ඒ අනුව වඩා සුදුසු වන්නේ, ඍතු අනාවැකි මගින් සැලසුම් කරමින් සතිපතා අනාවැකි සහ දිනපතා අනාවැකි අනුව සැලසුම් ක්‍රමයෙන් සැබෑ තත්වය සමග ගලපා ගනිමින් ක්‍රියා කිරීමයි. ඒ සඳහා යාවත්කාලීන අනාවැකි සහ තොරතුරු පරිශීලනය අවශ්‍ය වෙයි.
ලිපියේ අරමුණ වඩාත් ප්‍රබල එල්නීනියෝ සම්බන්ධව සොයා බැලීම බැවින් ඒ සඳහා දත්ත සහිත අවස්ථාවන් ලෙස සොයාගත හැකි වූයේ පසුගිය අවස්ථා 5ක දත්ත වන අතර එමගින් ප්‍රබල එල්නීනියෝවක සාමාන්‍ය හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා උත්සහ දරා ඇත. මෙය වඩාත් ඉහල මට්ටමක නිගමනවලට එළඹීමට තරම් ප්‍රමාණවත් නොවේ.
ලෝකයේ නිර්මාණය වූ සෑම එල්නීනියෝවකටම ඊටම අවේනික ලක්ෂණ පවතින අතර එක් එක් එල්නීනියෝ අතර ඇතැම් අවස්ථාවල සුළු වශයෙන් සහ ඇතැම් අවස්ථාවල විශාල වශයෙන් වෙනස්වීම් පැවතිය හැක. මෙවැනි අවස්ථාවල නවතම යාවත්කාලීන තොරතුරු භාවිතය වඩාත් හොඳ තීරණ ගැනීමට උදව් වෙයි.
දත්ත
ලිපිය සම්පාදනය සඳහා නොමිලේ දත්ත ලබාගත් පහත දක්වන ආයතන ස්තුතිපුර්වකව සිහිකරමි.
ENSO Forecasts - International Research Institute for Climate and Society Columbia Climate School, Columbia University (IRI)
ENSO Index Values - National Oceanic and Atmospheric Administration - United States
Global Precipitation and Wind - European Centre for Medium-Range Weather Forecasts (ECMWF)
සැ.යු.
මෙම ලිපිය මා විසින් නොමිලයේ ලබාගත් දත්ත යොදාගනිමින් සිදුකරන ලද විශ්ලේෂණ මත සකසන ලද්දක් වන අතර එය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල නිවේදනයක් හෝ වාර්තාවක් නොවෙයි. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් සහ යෝජනා ඇත්නම් පහලින් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මලිත් ප්‍රනාන්දු
0 Comments