කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාව (Accuracy) වැඩි කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහුගිය දවසක ඉතාමත් වැදගත් පියවරක් ගත්ත. ඒ තමයි සිය නිරීක්ෂණ ජාලයේ සුවිශේෂීම කාලගුණ පරාමිතීන් නිරීක්ෂණයක් වන "රේඩියෝ සොන්ඩ්" නිරීක්ෂණය දිනකට දෙවතාවක් උදේ 5.30 සහ හවස 5.30 වෙලාවල්වල දිනපතා සිදුකිරීම ආරම්භ කිරීම. මීට පෙර මෙම සුවිශේෂී නිරීක්ෂණය සතියට දින තුනක් පමණක් සිදු කල අතර දැන් සතියට 14වතාවක් සිදු කරනු ලබයි. මේක අතිශය වැදගත් වෙන්නෙ ඇයි කියල බලමු.

මොකක්ද මේ රේඩියෝ සොන්ඩ්?

රේඩියෝ සොන්ඩ් කියන්නෙ කුඩා ඉලෙක්ට්‍රොනික් උපකරණයක්. මේ උපකරණය 01 රූපයේ පෙනෙන විදියට හයිඩ්‍රජන් පුරවපු බැලුමක එල්ලලා එළිමහනෙ අතහරිනව. ඊට පස්සෙ අර බැලුම රේඩියෝසොන්ඩ් උපකරණය අරගෙන ඉහල අහසට ගමන් කරනව. මෙහෙම ඉහළ යන අතර ඒ උපකරණය විසින් සෑම තත්පර කිහිපෙකටම වරක් එම උපකරණය පසුකරන වායුගෝලයේ උස, එම ස්ථානයේ පීඩනය, ආර්ද්‍රතාව, උෂ්ණත්වය සුළං වැනි කාලගුණික පරාමිතීන් පොළොවේ පිහිටි පරිගණකයට ලබා දෙනවා. මේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් කිලෝමීටර් 15-20ක් වගේ ඉහලට යනකං වෙනවා. ඉහලට යද්දි වායුගෝලීය පීඩනය ගොඩක්ම අඩු උනාම අර බැලුම පිපිරෙන නිසා දත්ත ගන්න වැඩේ අවසන් වෙනව.

රූපය 01: හයිඩ්‍රජන් පිරවූ බැලුමට ගැට ගසන ලද රේඩියෝ සොන්ඩ් උපකරණට නිදහස් කිරීමට සුදානමින්.


ඉතිං රේඩියෝ සොන්ඩ් දත්ත එච්චර වැදගත් ද?

ඔව්!
කා.වි.දෙ. සතුව පොළොව මතුපිට දත්ත දත්ත එකතුකරන මධ්‍යස්ථාන 24ක් තිබුනත්, සාපේක්ෂව වැඩි වියදමක් සහිතවන රේඩියෝ සොන්ඩ් උපකරණ යවන මධ්‍යස්ථාන ඇත්තේ ලංකාවට එකක් පමණයි. ඒ කොළඹ නිරීක්ෂණ මධ්‍යස්ථානයයි. රේඩියෝ සොන්ඩ් උපකරණයකින් ලබා ගන්නා දත්ත ඉතාමත් වැදගත්. අපි දන්නව වායුගෝලය කියන්නෙ ත්‍රිමාන ගතික පද්ධතියක්. ඒ පද්ධතියේ වෙනස්වීම් ගැන අනාවැකි කියන්න, වෙනත් වචනවලින් කියනව නම් කාලගුණ අනාවැකි කියන්න, වායුගෝලයේ නවතම පරාමිතීන්ගේ නිවැරදි ගණනය කිරීමක් අප සතු විය යුතුයි. අනාවැකි ගණනය කිරීම් වඩාත් නිවැරදි වීමට නම් වායුගෝලයේ මූලික නිරීක්ෂණ දත්ත වඩාත් නිවැරදි විය යුතුයි වගේම වැඩි ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒ නිසා කාලගුණික සංසිද්ධි සඳහා දායක වන වායුගෝලයේ සම්පුර්ණ හරස්කඩෙහි (පොළොවේ සිට කිලෝමීටර් 15ක් පමණ ඉහළ වායුගෝලය - Troposphere) ලංකාව ආශ්‍රිත දත්ත ලබාදෙන එකම උපකරණය මෙම රේඩියෝ සොන්ඩ් උපකරණයයි.

මේක අනාවැකිවලට බලපාන්නෙ කොහොමද? 

වර්තමානයේ කාලගුණ අනාවැකි ලබාගනුයේ භෞතික විද්‍යා නියම ඇසුරින් නිර්මිත ගණිත ආකෘති, පරිගණක යොදාගෙන සිදුකරන ගණනය කිරීම් හරහායි. මේවා Numerical Weather Predictions (NWP) ලෙස හඳුන්වයි. මෙම ගණනය කිරීම් සඳහා මුලිකවම යොදා ගන්නේ ලෝකය පුරා ක්‍රියාත්මකවන කාලගුණික මධ්‍යස්ථාන නිරීක්ෂණ දත්තයි. ප්‍රධාන වශයෙන් යම්කිසි කලාපයක නිරීක්ෂණ දත්තවල නිවැරදිතාවය සහ දත්ත ඝනත්වය මත එම කලාපයේ කාලගුණ අනාවැකිවල නිවැරදිතාවය රඳා පවතී.
රූපය 02: ලෝක කාලගුණ සංවිධානය මගින් අතීතයේ සිට ක්‍රියාත්මක වන දත්ත ජාලයෙහි Global Telecommunication System (GTS) සැකැස්ම.


ඒ අනුව ලංකාවේ වායුගෝලයේ තත්ත්වයන් වඩාත් ඉහල දත්ත ඝනත්වයක් සහිතව ඔවුන් හට ලබා දීම මගින් අනාවැකි වඩාත් නිවැරදි වීම සිදුවේ.

කා.වි.දෙ. ඇතුළු ලෝක කාලගුණ සංගමයේ (WMO) සාමාජිකත්වය දරන සෑම රටක්ම සෑම පැය තුනකට වතාවක්ම සිය කාලගුණික නිරීක්ෂණ දත්ත WMO හි ප්‍රධාන දත්ත මධ්‍යස්ථානය වෙත යැවිය යුතුවෙයි. මෙම දත්ත ජාලය Global Telecommunication System (GTS) ලෙස හඳුන්වයි. එම සෑම පැය තුනකම නිරීක්ෂණ දත්ත ලබාගැනීමෙන් අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකර WMO විසින් මුළු ලෝකයේම නිරීක්ෂණ දත්ත නැවත සියලුම පාර්ශවකරුවන් වෙත නොමිලයේ බෙදා හරිනු ලබයි.

 

රූපය 03: එක් නිශ්චිත මොහොතක ලංකාව ඇතුළු ලෝකයේ කාලගුණික මධ්‍යස්ථාන විසින් ප්‍රධාන මධ්‍යස්ථානය වෙත යවනලද දත්ත WMO විසින් නැවත ලෝකය වෙත නිකුත් කිරීම.


ගෝලීය වශයෙන් WMO නිරීක්ෂණ දත්ත භාවිතා කරමින් අනාවැකි ගණනය කිරීම් සිදුකරන ආයතන කිහිපයක් (එම ආයතන ගැන දැනගන්න මේ සබැඳියෙන් ලිපිය බලන්න) ඇති අතර ඒ සඳහා අධික මුදල් වැයවීම හේතුවෙන් බොහෝ රටවල් සිදුකරනුයේ පෙර සඳහන් කල ගණනය කිරීම් සිදුකරන මධ්‍යස්ථානවලින් දත්ත ලබා ගැනීමයි.


රූපය 04: Windy වෙබ් අඩවිය විසින් නොමිලයේ නිකුත් කරනු ලබන කා.වි.දෙ. රේඩියෝ සොන්ඩ් දත්ත.


ඔබ දැන සිටියාද?

මොබයිල් ඇප් සඳහා භාවිතා වන මූලික දත්ත ප්‍රභවය වනුයේ ගෝලීයව ගණනය කරනු ලබන NWP දත්ත බව? එම දත්ත ගණනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ලෝකයේ කාලගුණ විද්‍යා ආයතනවල නිරීක්ෂණ දත්ත භාවිතා කරනබව? යම් කලාපයක නිරීක්ෂණ දත්ත අඩු වීම එම ප්‍රදේශයේ අනාවැකි නිවැරදිතාවයෙන් වඩාත් අඩුවීමට හේතුවක් බව? සෑම පැය තුනකටම වතාවක් කා.වි.දෙ. විසින් ලංකාවෙ දත්ත ගෝලීය දත්ත පද්ධතියට යවන බව?

එතකොට ලංකාවෙ අනාවැකි දියුණු වෙන්නෙ කොහොමද?

ලංකාවෙ කා.වි.දෙ. සිය අනාවැකි සඳහා ගෝලීය වශයෙන් ප්‍රමුඛපෙලේ ආයතන කිහිපයකින් දත්ත ලබා ගන්නා බැවින් එම අනාවැකිවල නිවැරදිතාවය පෙරට සාපේක්ෂව වැඩිවීමක් පැවතිය යුතුය.

මොබයිල් ඇප් සඳහා ගෝලීය NWP දත්ත විශාල වශයෙන් යොදා ගනී. මේ හේතුව නිසා නුදුරේදීම ඔබ භාවිතා කරන සියලුම මොබයිල් ඇප් වල ලංකාව සම්බන්ධ කාලගුණ අනාවැකි වඩාත් නිවැරදි විය යුතුවෙයි.

සමකාසන්නව පිහිටි කුඩා දිවයිනක් වීමත් අභ්‍යන්තරයේ සංකීර්ණ භූ විෂමතාවයත් හේතුවෙන් ලංකාවෙ කාලගුණ අනාවැකි කීම ඉතාමත් අභියෝගාත්මක කාර්යයක්. කෙසේ නමුත් එය පවතින මට්ටමට වඩා ඔසවා තැබිය හැකි බව අවිවාදාත්මකයි. ඒ සඳහා වෙහෙසෙන සියලු දෙනා හට ස්තූතියි!





0 Comments