ඕසෝන් කියූ සැනින් බොහෝ විට සිතට නැගෙනුයේ, හිරුගෙන් නිකුත්වන පාරජම්බුල කිරණ පෘතුවිය මතට පැමිණීම අවහිර කරමින් අපරිවර්තී (Stratosphere) ගෝලයේ ව්‍යාප්තව පවතින, මානව ක්‍රියාකාරකම් මත කලකදී හායනයට ලක්වීම නිසා ලොව ජීවීන් හට අත්වීමට ගිය ඛේදවාචකය මොන්ට්‍රියල් සම්මුතිය හරහා ලෝකය විසින් ජයගත්, ඕසෝන් ස්ථරය පිලිබඳ කතාවයි.

මෙම ලිපියේ අරමුණ ඕසෝන් ගැන සාකච්ඡා කිරීම උවත් අපරිවර්තී ගෝලයේ පවතින හිතකර ඕසෝන් ගැන සාකච්ඡා කිරීම නොවේ. පරිවර්තී ගෝලයේ (Troposphere) පවතින, ජීවින් හට විෂ සහිත ඕසෝන් ගැන කතා කිරීමයි.

ඕසෝන් විෂද ?

ඔව්. අපරිවර්තී ගෝලයේදී ජීවින්ව ආරක්ෂා කරන ඕසෝන් පරිවර්තී ගෝලයේ පවතිනවිට වඩාත් විෂ වායුදූශකයක් වගේම හරිතාගාර ආචරණයටත් දායක වෙනව. පරිවර්තී ගෝලයේ ඕසෝන් පැවතීම හේතුවෙන් මිනිසුන්ට මෙන්ම වගාවන්ටද විශාල හානි සිදුවිය හැකි බව දැනටමත් දන්නා කාරණයක්!

මයික්‍රෝමීටර් 2.5ට අඩු අංශුමය ද්‍රව්‍ය (PM 2.5), වායු දූෂකයන් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2), කාබන් ඩයොක්සයිඩ් (CO2), කාබන් මොනොක්සයිඩ් (CO), වැනි අපි හැමෝම දන්න වායූ දූෂක අතරෙ ඕසෝන් (O3) කියන්නෙත් වායු දූෂකයක්. ඕසෝන් ද්වීතියික දූෂකයක්. එනම් මිනිස් ක්‍රියාකාරකම් මත ඍජුවම ඕසෝන් පරිසරයට මුදා හැරෙන්නෙ නැහැ. ෆොසිල ඉන්දන දහනය හේතුවෙන් මිනිසුන් විසින් පරිසරයට මුදා හරින නයිට්‍රජන් ඔක්සයිඩයන් සහ වාෂ්පශීලී කාබනික ද්‍රව්‍යයන් (VOC-Volatile Organic Compounds) සමග එක්වී හිරුගේ තාපය ලබා ගනිමින් ඕසෝන් නිෂ්පාදනයවෙයි.

01 රූපය: ෆොසිල ඉන්දන දහනය වීම හේතුවෙන් පොළොව ආශ්‍රිත ඕසෝන් නිෂ්පාදනය වීම.

පොළොව ආසන්නයේ පවතින ඉහළ ඕසෝන් මට්ටම් විසින් හුස්ම ගැනීමේ ගැටළු, ඇදුම වැනි රෝගී තත්ත්වයන් උත්සන්න කිරීම්, පෙනහළු ක්‍රියාකාරීත්වය අඩු කිරීම් සහ පෙනහළු රෝග තත්ත්වයන් ඇති කිරීම සිදුකරයි. සංඛ්‍යාලේකන අනුව 2019 දී, යුරෝපයේ රටවල් 23ක ජනතාව 12,253ක් තීව්‍ර ඕසෝන් මට්ටම් කෙරෙහි නිරාවරණය වීම නිසා ශ්වසන රෝග උත්සන්න වීමෙන් රෝහල්ගත වී ඇත. 2020 දී, යුරෝපීය රටවල් 27ක ජනතාව 24000ක් පමණ ඉහල ඕසෝන් මට්ටම් වෙත නිරාවරණය (70 µg/m³ ඉහළ) වීම නිසා අකල් මරණයන්ට (premature deaths) පත්ව ඇති බව සඳහන් වේ.

ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී ශාකපත්‍රවල පුටිකා(Stomata) විසින් පරිසරයෙන් වායූන් (කාබන් ඩයොක්සයිඩ්) උරා ගැනීම සිදුකරයි. කෙසේවෙතත් පරිසරයේ ඕසෝන් සාන්ද්‍රණය වැඩි අවස්ථාවන්වල මෙම ක්‍රියාවලිය විසින් ඕසෝන්ද අවශෝෂණය කරගැනීම හේතුවෙන් ශාක ආහාර නිෂ්පාදනයට දැඩි අහිතකර බලපෑම් ඇතිවන බව සොයාගෙන තිබේ. 2021දී G A D පෙරේරා ඇතුළු කණ්ඩායම ලංකාවේ සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ දූෂක ඕසෝන් හේතුවෙන් මුංඇට පළදාව 21%ක් පමණ අඩු විය හැකි බවයි. පහළවායුගෝලයේ ඕසෝන් හේතුවෙන් ලෝකයේ සිදුවූ ආර්ථික සහ අහාර නිෂ්පාදන බලපෑම් අතරට, 2019 දී යුරෝපයේ තිරිඟු ඵලදායීතාවය 9%කින් පමණ අඩු වීම දක්වන්න පුළුවන්. මෙහිදී ආර්ථිකමය වශයෙන් යුරෝපීය රටවල් 35ක යුරෝ බිලියන 1.4ක් පාඩු වී ඇති බව තවදුරටත් සඳහන් වේ.

ලංකාවෙ තත්ත්වය මොකක්ද? 
ශ්‍රී ලංකාවේ ඕසෝන් සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීම සඳහා ප්‍රමාණවත් පර්යේෂණ සහ වසර ගණනාවක ඕසෝන් නිරීක්ෂණ දත්ත සොයා ගැනීම දුෂ්කරයි. මෙම ලිපියේ දැක්වෙන විශ්ලේෂණ සඳහා යොදාගන්නා ලද්දේ 1940 සිට 2024 දක්වා නිමානිත මාසික ඕසෝන් දත්තයි.
පරිගණක තාක්ෂණයේ දියුණුව මත දීර්ඝ ගණනයන් වඩාත් පහසු වීම හේතුවෙන්, චන්ද්‍රිකා නිරීක්ෂණ, භුමියේ විවිධ රටවල් විසින් ඈත කාලයේ සිට පවත්වාගෙන යන ඕසෝන් නිරීක්ෂණ වැනි දත්ත මුලාශ්‍ර සහ භෞතික විද්‍යා සිද්ධාන්ත භාවිතා කරමින් මුළු ලෝකය සඳහා ඕසෝන් දත්ත නිමානය කරමින් ගණනය කිරීම් සිදුකරන ලද දත්ත ඇත. 
02 රූපය: වසර 85ක කාලය තුළ පළමු අන්තර් මෝසමේදී පොළව ආශ්‍රිත ඕසෝන් ව්‍යාප්තිය. (a) 1940-2024 දක්වා කාලයේ දිවයිනේ ඕසෝන් සහ උෂ්ණත්ව ව්‍යාප්තියේ විචලනය. (b) 1940-1969 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (c) 1970-1999 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (d) 2000-2024 වසර 25 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. 

දිවයිනේ විවිධ ප්‍රදේශවල ඕසෝන් ව්‍යාප්තිය සම්බන්ධව සිදුවී ඇති විචලනයන් හඳුනා ගැනීම සඳහා මෙම දත්ත කාලයන් ත්‍රිත්වයකට (1940-1969, 1970-1999 සහ 2000-2024) බෙදා මාසිකව සිදුවී ඇති වෙනස්කම් 2, 3, 4, 5 රූපවල b, c, සහ d මගින් දක්වා ඇත.

1940 සිට 2024 දක්වා වසර 85ක කාලය තුල දිවයිනේ පලවෙනි අන්තර්මෝසම (මාර්තු-අප්‍රේල්) කාලය ගැන අවධානය යොමු කිරීමේදී, 02 රූපයේ දැක්වෙන පරිදි මුල් වසරවලට සාපේක්ෂ අවසන් අවුරුදු 25දී ඕසෝන් ප්‍රමාණයේ වැඩි වීමක් දකින්න පුළුවන්. භූ ගෝලීය වශයෙන් සලකනවිට උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සාපේක්ෂව වැඩි වර්ධනයන් දකියි හැකියි.

03 රූපය: වසර 85ක කාලය තුළ නිරිතදිග මෝසමේදී පොළව ආශ්‍රිත ඕසෝන් ව්‍යාප්තිය. (a) 1940-2024 දක්වා කාලයේ දිවයිනේ ඕසෝන් සහ උෂ්ණත්ව ව්‍යාප්තියේ විචලනය. (b) 1940-1969 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (c) 1970-1999 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (d) 2000-2024 වසර 25 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය.

මැයි සිට සැප්තැම්බර් දක්වා දිවෙන නිරිතදිග මෝසම් කාලය සමස්ථ දිවයිනේ උෂ්ණත්වය අඩුවීමත් වැසි සහිතවීමත් හේතුවෙන් ඕසෝන් සංයුතිය වෙනත් කාලයන්ට සාපේක්ෂව අඩු උවත් පෙර කාලයන්ට සාපේක්ෂව ක්‍රමික වර්ධනය වීමක් නිරීක්ෂණය වෙයි. 04 රූපයෙ පෙනෙන පරිදි දෙවැනි අන්තර් මෝසම් (ඔක්තෝම්බර්, නොවැම්බර්) කාලයේදීත් අතීතයට සාපේක්ෂව වඩාත් අවධානය යොමුකල යුතු මට්ටමක් දක්වා ඕසෝන් වර්ධනය වීමක් දකින්න පුළුවන්. මෙම අවස්ථාවේදීත් සාපේක්ෂ වැඩි ප්‍රමාණයන් මධ්‍යම සහ උතුරු පළාත්වල පවතින බව දත්ත පෙන්වයි.

04 රූපය: වසර 85ක කාලය තුළ දෙවන අන්තර් මෝසමේදී පොළව ආශ්‍රිත ඕසෝන් ව්‍යාප්තිය. (a) 1940-2024 දක්වා කාලයේ දිවයිනේ ඕසෝන් සහ උෂ්ණත්ව ව්‍යාප්තියේ විචලනය. (b) 1940-1969 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (c) 1970-1999 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (d) 2000-2024 වසර 25 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය.

දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම් කාලයේදීත් අනෙකුත් ඍතු අකාරයටම පෙර කාලයට සාපේක්ෂව ඕසෝන් සාන්ද්‍රණය වැඩි වී ඇති අතර විශේෂත්වය වන්නේ වසරේ අනෙකුත් කාලයන්ට සාපේක්ෂව වැඩිම ඕසෝන් සංයුතිය ඊසානදිග මෝසම් කාලයේ පැවතීමයි.

05 රූපය: වසර 85ක කාලය තුළ ඊසානදිග මෝසමේදී පොළව ආශ්‍රිත ඕසෝන් ව්‍යාප්තිය. (a) 1940-2024 දක්වා කාලයේ දිවයිනේ ඕසෝන් සහ උෂ්ණත්ව ව්‍යාප්තියේ විචලනය. (b) 1940-1969 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (c) 1970-1999 වසර 30 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය. (d) 2000-2024 වසර 25 කාලයේ භූ ඕසෝන් ව්‍යාප්තිය.

ලංකාවේ භූ ඕසෝන් ව්‍යාප්තියේ මාසිකව සිදුවී ඇති වෙනස්කම් 06 රූපය මගින් දක්වා ඇත. ඒ අනුව අතීතයේ පැවති අගයන් හට සාපේක්ෂව දිවයිනේ භූ ඕසෝන් මට්ටම ඉහලයමින් පවතින බවත් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වඩාත් අවදානමට ආසන්න වෙමින් පවතින බවත් දත්ත අනුව පැහැදිලි වෙයි.

06 රූපය: දිවයිනේ පොළොව ආසන්නව මාසිකව නිරීක්ෂණය වී ඇති ඕසෝන් අගයන්, නිල්: 1940-1969 කාලය;  කළු:1970-1999 කාලය; රතු:2000-2024 කාලය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, දිගුකාලීන ඕසෝන් ප්‍රමාණයන් වර්ගීකරණය කර ඇත. එහිදී "ආරක්‍ෂිත" මට්ටම ඝන මීටරයක් තුළ ඕසෝන් මයික්‍රොග්‍රෑම් 60ක් ද, "වැඩි" මට්ටම ලෙස 70ක් සහ ඝන මීටරයක් තුළ ඕසෝන් මයික්‍රොග්‍රෑම් 100 යනු "වඩාත් ඉහළ" මට්ටම ලෙස හඳුන්වාදී ඇත.
ඉහත විශ්ලේෂණය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සසඳා බැලීමේදී ජනවාරි සහ පෙබරවාරි මාස දැනටමත් වැඩි ඕසෝන් ප්‍රමාණයන් පවතින සෞඛ්‍යට හිතකර නොවන මට්ටමේ ඇති බවත් මාර්තු, අප්‍රේල් සහ නොවැම්බර් මාස, හිතකර නොවන මට්ටමකට ඕසෝන් සාන්ද්‍රණය ලඟා වෙමින් පවතින බවත් නිරීක්ෂණය වෙයි.

නිමානය කරනලද දත්ත සහ සත්‍ය තත්ත්වය අතර වෙනස.
පෙර සඳහන් කළ පරිදි විශ්ලේෂණය සඳහා භුමියේ නිරීක්ෂණ දත්ත අවමවීම මත නිමානිත ආකෘති දත්ත යොදා ගැනීමෙන් එහි ප්‍රතිපලවල සඳහන් තොරතුරු වෙනස් වේද?

ඔව්. 
වෙනස්විය හැකි ආකාර ප්‍රධාන දෙකක් හඳුනගන්න පුළුවන්. 
01. ප්‍රමාණයන්ගේ සුළු අවප්‍රමාණ හෝ අධි ප්‍රමාණ වියහැකියාව.
02. මාසික සාමාන්‍ය ගණනය කිරීම නිසා දෛනිකව දහවල් කාලයේ පැවතිය හැකි අධි ඕසෝන් ප්‍රමාණ සැඟවී යාම.

මෙහිදී සිදුවිය හැකි යහපත් ආකාරය වන්නේ ආකෘති විසින් ඕසෝන් අධි නිමානයවී ඇති බව සිතීමයි. නමුත් ලෝකයේ භුමි නිරීක්ෂණ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ දත්ත හා සංසන්දනය නිරන්තරයෙන් සිදුකරන මෙවැනි දත්ත පද්ධති භාවිතයෙන් දිගුකාලීන විශ්ලේෂණ කිරීමේදී ඇතිවන දෝෂ අවම බැවින්, අධි නිමානය සඳහා වඩාත් අඩු හැකියාවක් පවතී. වඩාත් අවධානය යොමු කළ යුතු තත්ත්වයන් වන්නේ, මෙම විශ්ලේෂණය තුලින් අනාවරණය නොවන එහෙත් සත්‍ය වශයෙන්ම පැවතීමට ඉහළ හැකියාවක් ඇති දෛනික ඕසෝන් අධි ප්‍රමාණයන්ගේ පැනනැගීම් සහ වසර 30-60කට පෙර තත්ත්වය හා සංසන්දනය කිරීමේදී ඕසොන්හි පවතින ක්‍රමානුකුල වර්ධනයයි. ඒ අනුව ලංකාවේ පහළ වායුගෝලය තුළ ඕසෝන් ඇතිවීම කාලයත් සමග වඩාත් වර්ධනය වෙමින්, ජීවින්ගේ පැවැත්ම සඳහා තර්ජනාත්මක ස්වරූපයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව සිතන්න පුළුවන්.

දේශගුණ විපර්යාස සහ ඕසෝන්.
වර්තමානයේ ලෝකය මුහුණපා සිටින දැවැන්තම අභියෝගය දේශගුණ විපර්යාසයි. දේශගුණ විපර්යාස ඒ නමින් ඔබ ඉදිරියට නොපැමිණ බැවින් එය හඳුනාගැනීම දුෂ්කරයි.


07 රූපය: 1985 සිට 2014 දක්වා නිරීක්ෂිත උෂ්ණත්ව අගයන්- නිල්; 2015 සිට 2100 දක්වා SSP 245 සේනාරියෝව අනුව (අඩු කාබන් විමෝචන අගයන් පැවතියහොත්) වෙනස් විය හැකි උෂ්ණත්ව අගයන්-කොළ; 2015 සිට 2100 දක්වා SSP 585 සේනාරියෝව අනුව (වැඩි කාබන් විමෝචන අගයන් පැවතියහොත්) වෙනස් විය හැකි උෂ්ණත්ව අගයන්-රතු. [දත්ත:කා.වි.දෙ. දේශගුණ ප්‍රක්ෂේපන දත්ත.]

පසුගිය දශක කිහිපයෙදී ලෝකයේ ඇතිවූ කාලගුණික සහ දේශගුණික අපදා විශ්ලේෂණය කරඇති විද්‍යාඥයින් එම ආපදාවන්ගේ විනාශකාරී ස්වභාවය සීඝ්‍රයෙන් ඉහලගොස් ඇති බව සොයා ගෙන ඇත. 
වයස අවුරුදු 60-70 වැනි අයෙක්ගෙන් විමසුවහොත් ඔවුන්ගේ ළමා කාලයේ පැවති දේශගුණය සහ වර්තමාන දේශගුණයේ පවතින අවිනිශ්චිත ස්වභාවය ගැන විස්තර කරාවි. 
දේශගුණ විපර්යාස යනු දැනටම පවතින සංසිද්ධීන් තීව්‍ර හෝ නිශේධනය කරන තත්ත්වයක්. ඕසෝන් සම්බන්ධයෙන් ගතකල එය තීව්‍ර කිරීමේ ඉහළ හැකියාවක් දේශගුණ විපර්යාස සතුවෙයි.


08 රූපය: SSP 245 සේනාරියෝව (අඩු කාබන් විමෝචන අගයන් පවත්වා ගතහොත්); (a) වසර 2021-2050 දක්වා දිවයිනේ පැවතිය හැකි උෂ්ණත්ව ව්‍යාප්තිය; (b) වසර 2051-2080 දක්වා දිවයිනේ පැවතිය හැකි උෂ්ණත්ව ව්‍යාප්තිය; (c) වසර 2081-2100 දක්වා දිවයිනේ පැවතිය හැකි උෂ්ණත්ව ව්‍යාප්තිය.
SSP 585 සේනාරියෝව (වැඩි කාබන් විමෝචන අගයන් පවත්වා ගතහොත්); (d) වසර 2021-2050 දක්වා දිවයිනේ පැවතිය හැකි උෂ්ණත්ව ව්‍යාප්තිය; (e) වසර 2051-2080 දක්වා දිවයිනේ පැවතිය හැකි උෂ්ණත්ව ව්‍යාප්තිය; (f) වසර 2081-2100 දක්වා දිවයිනේ පැවතිය හැකි උෂ්ණත්ව ව්‍යාප්තිය.

දේශගුණ විපර්යාසයන් විසින් ඉහළට ඔසවා තබන මූලික පරාමිතියක්වන "උෂ්ණත්වය" යනු ඕසෝන් නිෂ්පාදනයට මුලික වශයෙන් අවශ්‍ය වන සාධකයක් බැවින් ඕසෝන් හා දේශගුණ විපර්යාසයන්ගේ අවියෝජනීය වර්ධනයක් අනාගතයේ පැවතිය හැකි වීම අවිවාදිතයි. අනාගත ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය කෙසේ වෙනස් විය හැකිද යන්න පිළිබඳව සිදුකරන ලද විශ්ලේෂණයන් යොදා ගනිමින් 08 රූපය සකස් කර ඇත. දැනට ලෝකයේ පවතින කාබන් විමෝචනය මිනිසුන් විසින් ඒ අයුරින්ම පවත්වාගෙන ගියහොත් (ssp245 සෙනරියෝව) ඉදිරි වසරවලදී වැඩි වියහැකි උෂ්ණත්වයන්ගේ ව්‍යාප්තීන් 08;(a),(b),(c) මගින් දැක්වෙන අතර 08;(d),(e),(f) රූපවල දැක්වෙන්නේ ලංකාව ඇතුළු ලෝකයේ මිනිසුන් විසින් පරිසරය වෙත විමෝචනය කරන කාබන් ප්‍රමාණයන් වඩාත් වැඩි කළහොත් (ssp585 සෙනරියෝව) දිවයිනේ උෂ්ණත්ව ව්‍යාප්තිය සාමාන්‍ය උෂ්ණත්ව ව්‍යාප්තියට සාපේක්ෂව වෙනස් වියහැකි ආකාරයයි.
 
අවසානය
පිරිසිදු වාතය හුස්ම ගැනීම මානව අයිතියක් ! මානව ක්‍රියාකාරකම් මත සිදුවී ඇති දරාගත නොහැකි වායු දුෂණය හේතුවෙන් දිනෙන් දින මානව ප්‍රජාව ඇතුළු මුළු පරිසර පද්ධතිය ගෙවන මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ගෝලීය සංවිධාන සහ විවිධ රටවල් මේ සඳහා මැදිහත් වෙමින් පිළිතුරු සොයමින් පවතින කාලයක, දිවයිනේ මෙතෙක් ප්‍රමාණවත් අවධානයකට ලක් නොවූ වායූ දුෂකයක් වන පහළ වායුගෝලීය ඕසෝන් (Tropospheric Ozone) පිළිබඳව මෙම ලිපිය මගින් සොයා බැලීමට උත්සහ කරන ලදී.

මූලික වශයෙන් මෙය ලංකාව තුල පවතින නාගරීකරණය සහ දේශගුණික පරාමිතීන්ගේ විචලනය වීම් අනුව සීග්‍ර වර්ධනයක් පෙන්වන වඩාත් විෂ සහිත වායු දුෂකයක් වන අතර පවතින නිමානිත  දත්ත විශ්ලේෂණ අනුව ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යෝජිත සීමාවන් ඉක්මවා යමින් පවතින බව පැහැදිළිව පෙනෙයි.

දේශගුණ විපර්යාස අනුව අනාගතයේ වැඩිවීමට නියමිත උෂ්ණත්වයන් සහ දුර්වල මෝසම් ක්‍රියාකාරිත්වය වගේම වියළි කාල පරිච්චේදයන්ගේ පැනනැගීම් අනුව ඕසෝන් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ තත්ත්වය හඳුනාගත හැකියි.

දැනටමත් යම් ආකාරයක පමාවක් ඇතත්, ජනතාව මෙම අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම, දිවයිනපුරා අඛණ්ඩ භුමි ඕසෝන් නිරීක්ෂණය, ෆොසිල ඉන්දන දහනයේදී පනවා ඇති සීමා ශක්තිමත් කිරීම සහ අවශ්‍ය අයුරින් සංශෝදනය කිරීම, ප්‍රතිපත්ති/නීති සම්පාදනය වගේම නව පර්යේෂණ දිරිමත් කිරීම වැනි දේවල් විසින් පොළොව ආසන්නයේ නිර්මාණය වන ඕසෝන් මගින් ඇතිවියහැකි විනාශකාරී තත්ත්වයන් යම් ප්‍රමාණයකට අඩු කල හැකිබව සිතන්න පුළුවන්.

මලිත් ප්‍රනාන්දු
කාලගුණ විද්‍යාඥ
-
විශේෂ ස්තූතිය:
සරත් ප්‍රේමලාල් - සභාපති Association of Disaster Risk Management Professionals (ADRiMP) හිටපු අධ්‍යක්ෂ ජනරාල් කා.වි.දෙ.
චන්න රොද්‍රිගු - ජ්‍යෙෂ්ට කාලගුණ විද්‍යාඥ Numerical Weather Prediction Division, කා.වි.දෙ.
--
දත්ත:
දේශගුණ ප්‍රක්ෂේපණ  දත්ත (Dynamically Downscaled Climate Projection Data): කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
භූ ඕසෝන් දත්ත (Tropospheric Ozone Data): www.ecmwf.int

සෞඛ්‍ය මාර්ගෝපදේශ: ලෝක සෞඛ්‍ය සංවිධානය 

පර්යේෂණ මුලාශ්‍ර : 
European Environment Agency
United States Environmental Protection Agency
UCAR center for science education USA






0 Comments