ඝර්ම කලාපීය මෝසම් දේශගුණයක් සහිත රටක් ලෙස වර්ගීකරණය කල හැකි ලංකාවේ, පිහිටුම අනුව එයටම සුවිශේෂී වූ දේශගුණික ලක්ෂණ ගණනාවක් දකින්න පුළුවන්. සමකාසන්නව වගේම මෝසම් කලාපයේ පිහිටුමත්, මුහුදෙන් වටවූ දූපතක් වීමත්, ප්‍රමාණයෙන් කුඩා වීම සහ මධ්‍යම කඳුකරයත් නිසා ලංකාවේ වැසි සුලබ වන අතර විවිධ ප්‍රදේශයන්වල එකම කාලය තුලදී වුව විවිධ දේශගුණික ලක්ෂණ පවතී. මධ්‍යම කඳුකරය මගින් නිරිතදිග මෝසම් සුළං කෙරෙහි ඇතිකරන එසවුම (Orographic Lifting) හේතුවෙන් රටේ නිරිතදිග කොටස් වලටත් ඊසානදිග මෝසම් කාලයේදී දිවයිනේ ඊසානදිග කොටස්වලටත් වැසි ලැබෙන අතර අන්තර් මෝසම් කාලයන් තුළ රටපුරා ව්‍යාප්ත වූ තැනින් තැන ඇතිවන ගිගුරුම් සහිත වැසි දකින්න පුළුවන්.

01 රූපය: නිරිතදිගින් හමන මෝසම් සුළං දිවයින හරහා ගමන් කිරීම සහ මධ්‍යම කඳුකරය හේතුවෙන් ඇතිවන එසවුම (Orographic Lifting).

මෙම ලිපියේ අරමුණ වනුයේ වසරේ වැඩිම කාලයක් දිවයිනේ බලපවත්නා  මෝසම වන නිරිතදිග මෝසමේ පවතින දේශගුණික පරාමිතීන් කිහිපයක සාමාන්‍ය ස්වභාවය පිළිබඳව සොයා බැලීමයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් වැස්ස, උෂ්ණත්වය සහ සුළඟ  පිළිබඳව සොයා බලමු.

නිරිතදිග මෝසම යනු එහි නමින් කියවෙන පරිදිම නිරිතදිග සුළං මගින් ඇතිකරන දේශගුණික තත්ත්වයකි. 01 රූපයේ දැක්වෙන ආකාරයට බස්නාහිරට බරව නිරිත දෙසින් හමන ජලවාෂ්පවලින් පොහොසත් මෝසම් සුළං ප්‍රවාහය දිවයින හරහා, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය හරහා ගමන් කිරීම නිසා ඇතිවන වර්ෂාව වගේම එම සුවිශේෂී සුළං හේතුවෙන් වෙනස්වීම්වලට භාජනය වන දිවයින ආශ්‍රිත සුළං, උෂ්ණත්ව රටාවන් දැකිය හැකියි.

02 රූපය: නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ සාමාන්‍ය රටාව. (Source: www.ncert.nic.in)

දිවයින වෙත පැමිණෙන මෝසම් සුළං ඉන්දියානු සාගරයේ දකුණු අක්ෂාංශ 30-40ක පමණ දකුණු ප්‍රදේශවල ආරම්භ වීම දකින්න පුළුවන්. එම සුළං අප්‍රිකානු මහාද්වීපය ආසන්නයෙන් දකුණු දෙසට හැරී අරාබි මුහුදේ ඉහලට ගොස් දිවයින හරහා ගමන් කිරීම, ආසන්නව කිලෝමීටර් 6000-7000ක් පමණ වන අතිශය දිගු ගමනක් වේ. 02 රූපයේ පෙනෙන පරිදි මෙම දීර්ඝ ගමන නිසාම මෝසම් සුළං සාමාන්‍යයෙන් ඉහළ ජලවාෂ්ප ප්‍රමාණයක් දිවයින වෙත රැගෙන එයි.

මෝසමේ සාමාන්‍ය ස්වභාවය අනුව වැසි තත්ත්වය නිරිත කොටසට එනම් මධ්‍යම කඳු පන්තියෙන් නිරිත දෙසට එකතු වීමක් හැම මාසයකම දකින්න හැකි වුවත් මැයි සහ ජුනි මාසවලදී මෙය වඩාත් වැඩි අතර අගෝස්තු මාසයේදී අඩුවීමක් දකින්න පුළුවන්. මැයි සහ සැප්තැම්බර් වැසි ව්‍යප්තීන් අනුව නිරිතදිග ප්‍රදේශ හැරුණකොට දිවයින පුරා ව්‍යාප්ත වීමක් දකින්නට හැකි අතර මෙය අන්තර් මෝසම් ලක්ෂණ සමග මුසුවූ පෙර මෝසම් සහ පසු මෝසම් තත්වයක් ලෙස හඳුනාගත හැකියි.

03 රූපය: එක් එක් මාසය තුළ ලැබී ඇති වර්ෂාපතනයේ සාමාන්‍ය අගයන් මි.මී. වලින් 

සමස්තයක් වශයෙන් සම්පුර්ණ මෝසම් කාලය තුළ වර්ෂාවේ එකතුකළ (Cumulative) අගයන් දැක්වෙන 04 රූපයට අනුව මෝසම් වැසිවල වඩාත් ඉහල ප්‍රමාණයන් මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම් වෙත ලැබී ඇති බවත් මන්නාරම්, යාපනය වැනි උතුරු පළාතේ දිස්ත්‍රික්කවල සාපේක්ෂව අවම වැසි වාර්තා වී ඇති බවත් 1991-2020 වර්ෂාපතන දත්ත අනුව පැහැදිලි වේ.

04 රූපය: 1991-2020 කාලයේ වාර්තා වී ඇති නිරිතදිග මෝසම් සාමාන්‍ය වර්ෂාපතනය (මි.මී.)

පොළොව ආසන්නයේ සුළං රටාව සහ ප්‍රහාරක සුළං (Wind Gust) සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් බස්නාහිරට බරව නිරිත දෙසින් හමන සුළං දැකගත හැකි අතර සැලකිය යුතු මට්ටමේ වේගයක් පවතී. පැ.කි.මී. 50ට වැඩි ප්‍රහාරක සුළං දිවයිනේ ගිනිකොණ සහ වයඹ/උතුරු ගොඩබිම් සහ විශේෂයෙන් මුහුදු ප්‍රදේශවලට මෝසම් කාලය පුරා දකින්න පුළුවන්. මෙම තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් ජුනි සහ ජුලි මස සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ නිරීක්ෂණය කල හැකි බවක් පෙනේ.

දිවයිනේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට ඇති උසත් (උන්නතාංශය) සමග විචලනය වීම දකින්න හැකි වුවත් මෝසම් කාලයේදී එයට තවත් සාධකයක් ලෙස ඉන්දියන් සාගරයෙන් රැගෙන එන වඩාත් ඉහල ජලවාෂ්ප ප්‍රමාණයක් සහිත මෝසම් සුළන් ප්‍රවාහය බලපෑම් කර ඇති බවක් පෙනී යයි.

නිරිත ප්‍රදේශවල උෂ්ණත්වයේ සාපේක්ෂ අඩුවීමක් මැයි  සිට සැප්තැම්බර් දක්වා කාලය පවතින බව 06රූපයේ දැක්වෙන දේශගුණික දත්ත අනුව දකින්න පුළුවන්. කෙසේ වෙතත් මෝසම් සුළං තීව්‍ර වීමත් සමගම වේගවත් වන සුළං, දිවයිනේ නිරිත දෙසට වැඩි වැසි ප්‍රමාණයක් ලබා දීමෙන් අනතුරුව මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් හරහා පහත් බිම් වෙත ගමන් කිරීම හේතුවෙන් උෂ්ණත්වය වැඩි වීම නිරීක්ෂණය කරන්න පුළුවන් (කච්චාන් සුළං). මේ නිසා සක්‍රීය මෝසම් කාලයේදී දිවයිනේ දිවයිනේ නැගෙනහිර කොටස්වල උෂ්ණත්වය වඩාත් වැඩි වැඩිවීමක්, විශේෂයෙන්ම ජුනි ජුලි මාසවල නිරීක්ෂණය කල හැකියි.

දේශගුණික පරාමිතීන්ගේ හැසිරීම අනුව නිරිතදිග මෝසමේ සාමාන්‍ය තත්ත්වය විමසා බැලීමේදී මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල මාසික වශයෙන් සිදුවන යම් යම් වෙනස්කම් හඳුනාගත හැකි අතර ඒවා මුලික වශයෙන් මෝසම් සුළං ප්‍රවාහයේ විචලනය වීම් අනුව සිදුවන බව දකින්න පුළුවන්. 

විශේෂයෙන්ම එල් නිනෝ දක්ෂිණ දෝලනය (El-Nino Southern Oscillation), ඉන්දීය සාගර ඩයිපෝලය (Indian Ocean Dipole) සහ මැඩන් ජුලියන් දෝලනය (Madden Julian Oscillation) වැනි මෝසම් සුළං ප්‍රවාහයට ගෝලීයව බලපෑම් කල හැකි තත්ත්වයන් විසින් වසරේ සාමාන්‍යයෙන් පැවතිය හැකි, මෙම ලිපිය මගින් දක්වන ලද පරාමිතීන්ගේ හැසිරීම/ස්වභාවය වෙනස්වීම් වලට භාජනය විය හැකි අතර එවිට ආන්තික කාලගුණික තත්ත්වයන් වුවද සක්‍රීය වීමේ හැකියාවන් පවතී.

දත්ත :
 ECMWF’s Reanalysis (ERA5 1979-2019) 
1991-2020 වර්ෂාපතන දත්ත - කා.වි.දෙ.

0 Comments